විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නොපැවැත්වුණොත් | සිළුමිණ

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නොපැවැත්වුණොත්

-පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එෂාන් මානි

මේ වසර අගදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට යම් බාධාවක් සිදුවුවහොත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන බොහෝ රටවල් බරපතල මූල්‍යමය අර්බුදයකට යනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එෂාන් මානි පවසයි. පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල වෙබ් අඩවිය ඔස්සේ විකාශය කෙරුණු වැඩසටහනකදී එෂාන් මානි මේ බව පවසා තිබේ.

කොවිඩ් 19, වෙනත් ක්‍රීඩා මෙන්ම ලොව පුරා රටවල වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවද නවතා දමා තිබේ. විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 18 වනදා මෙල්බර්න් හි ආරම්භ කිරීමට නියමිතය. එය ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගයකි.

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට බාධා ඇතිවුවහොත් වුවහොත් එයින් සිදුවන මූල්‍යමය හානිය ඉතා විශාලයි. ඔවුන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සියලුම සාමාජිකයින්ට දෙන මූල්‍යමය ආධාර වලට එයින් විශාල බලපෑමක් ඇති වේවි

අප ඇතුළු බොහෝ ක්‍රිකට් පාලක මණ්ඩලවලට ‘කොනිත්තන ආකාරයේ’ හැඟීමක් එයින් දැනේවි” යයි එෂාන් මානි පවසයි.

සාමාජික රටවල් අතරේ ලාභය බෙදා හරින ආකාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව මේ වන විටත් අවිනිශ්චිත සැලසුම් සකස් කරමින් සිටින නමුත් ලෝක කුසලාන තරගාවලිය නියමිත පරිදි ඉදිරියට යනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවෙයි.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූල්‍ය හා වාණිජ කටයුතු කමිටුවේ මුලසුන හොබවන මානි කියා සිටියේ පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය නරකම දේ සඳහා සූදානම් වන බවයි.

මූල්‍ය පාලනයන් ඉතා දැඩිව ක්‍රියාත්මක කරන්න වෙනවා. අප උපයන දෙයට වඩා වියදම් නොකරන්නේ නම්, අපි කෙටිකාලයක් ඇතුළතදී සියල්ල නිවැරදි කරගන්න පුළුවන්” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු සභාපතිවරයකුද වන එෂාන් මානි පැවසීය.

විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන වසරට කල් ගියොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් මූල්‍යාධාර ලැබෙන්නේ නැතිනම්... පැහැදිලිවම අපි සැලසුම් සකස් කරගත යුතුයි.

පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය මේ වසරේදී නව රූපවාහිනී අයිතිවාසිකම් ගිවිසුමක් අත්සන් කිරීමටද සූදානමින් සිටීයි

අසල්වැසියන් අතර ඇති දේශපාලන සබඳතා නිසා ඉන්දියාවට එරෙහිව ද්විපාර්ශ්වික තරගමාලාවක් නොපැවතීම පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැරිය නොහැකි පාඩුවකි. මක්නිසාද යත් රූපවාහිනී අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුමකදී ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලියකට ඉතා විශාල මුදලක් හිමිවන බැවිනි. එහෙත් මානි පැවසුවේ පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයට ඒ පිළිබඳව කළ හැකි දෙයක් නොමැති බවයි.

Comments