වැසුණු බාර් නිසා ඇරුණු හොර මත්පැන්වලට වැඩ වරදී | සිළුමිණ

වැසුණු බාර් නිසා ඇරුණු හොර මත්පැන්වලට වැඩ වරදී

නොසිතූ මොහොතක දින නියමයක් නොමැතිව රටටම ඇඳිරිනීතිය පැනවීමත් සමඟම මෙරට සියලුම බලපත්‍ර ලත් සුරාසල්ද වසා දැමිණි. ඒ අනුව රටබීම සිල්ලරට විකිණීමේ ස්ථාන හෙවත් වයින් ස්ටෝර්ස්, ආපනශාලා, හෝටල්, රා තැබෑරුම් ඇතුළු විවිධාකාරයේ මත්පැන් අලෙවි කිරීමේ ස්ථානවලින් සමන්විත සුරාබදු දෙපාර්තමේන්තුවේ බලපත්‍රලත් රටපුරාම විසිරී තිබෙන ස්ථාන 4092ක් මේ වනතුරුත් වසා දමා තිබේ.

එලෙස දින නියමයක් නොමැතිව ඇඳිරිනීතිය පැනවීමත් සමඟ මත්පැන් අලෙවිසල් වසා දැමීම පිරිසකට රජ මඟුල් මෙන් විය. ඒ නීතිවිරෝධි හොර මත්පැන් ජාවාරම්කරුවන්ටය. ඔවුනගේ මෙහෙයවීමෙන් මේ වන විට රටපුරා මහා පරිමාණ මෙන්ම කුඩා පරිමාණ නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ස්කාගාර බොහෝ සේ බිහි වී ඇති බවක් දිස් වේ.

එහෙත් ඒ එකදු ස්ථානයකටවත් සුරාබදු නිලධාරින්ගෙන්, පොලිස් නිලධාරීන්ගෙන්, නාවික නිලධාරීන්ගෙන් හෝ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් නම් ගැලවීමක් නැති වග පෙනී යන්නේ දිනෙන් දින වැටලීම් මඟින් අත්අඩංගුවට පත්වන සැකකරුවන්, මත්පැන් ප්‍රමාණයන් සහ ඒවා නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ තොග පිටින් අත්අඩංගුවට පත්වන ආකාරය දිස්වන විටයි.

සුරාබදු දෙපාර්තමේන්තු දත්ත අනුව පසුගිය 01 වැනිදා සිට 25 වැනිදා දක්වා කාලය තුළ රටපුරා වැටලීම් 1037ක් සිදුකර තිබිණි. එහිදී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කළ ස්ථාන 231ක්ද, නීති විරෝධි ස්ප්‍රිතු සන්තකයේ තබා ගැනීම් 493ක්ද, නීති විරෝධි ලෙස මත්පැන් වෙළෙඳාම් කිරීම් 31ක්ද, නීති විරෝධි ගෝඩා ළඟ තබා ගැනීම් 54ක්ද රා ළඟ තබා ගැනීම, විකිණීම සහ ප්‍රවාහනය කිරීම් 123ක් මෙන්ම රජයේ අනුමත මත්පැන් විකිණීම, ළඟ තබා ගැනීමේ වැටලීම් 46ක්ද සිදුකර තිබිණි.

මේ සියලු වැටලීම්වලදී සැකකරුවන් 1025 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද සමත් විණි. සුරාබදු දෙපාර්තමේන්තුව සිය 1200ක් පමණ වන සමස්ත කණ්ඩායමෙන් ඇඳිරිනීති සමයේ රාජකාරියේ නිරත 750ක වැනි අඩු නිලධාරි සංඛ්‍යාවක් යොදවමින් රටපුරා මෙකී වැටලීම් සිදුකිරීම විශේෂත්වයකි. මෙකී වැටලීම්වලින් වැඩිම ප්‍රමාණයක් සිදුව ඇත්තේ සබරගමුව පළාතෙනි. ඊට අමතරව මධ්‍යම, උතුරුමැද සහ දකුණු පළාත්වලින්ද වැටලීම් රැසක්ම සිදුකර ඇති බව එම දත්ත වාර්තාවලින් හෙළි වේ.

එලෙස සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය දින කීපයේ සිදුකළ වැටලීම් පිළිබඳව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා අපට කීවේ, “මේ අසීරු අවස්ථාවේ අපට සිටින ඉතාම සීමිත නිලධාරින් පිරිසක් සමඟයි මේ වැටලීම් සියල්ල සිදු කරන්නෙ. ඒ සඳහා අපේ නිලධාරින් දිවා රෑ වෙහෙසෙනවා. පසුගියදා හඟුරන්කෙත ප්‍රදේශයේ මහ රෑ සිදුකළ වැටලීමකදී අපේ නිලධාරින් දෙදෙනෙකුට පහරදීමකුත් වුණා. ඒත් අපි කිසිම විටෙක නීතිවිරෝධි මත්පැන් ජාවාරම්කරුවන්ට ඉඩක් දෙන්නෙ නෑ. මේ දිනවල වැටලීම්වලින් අත්අඩංගුවට පත් සියලු දෙනාටම එරෙහිව ඇඳිරිනීතිය පහව ගිය සැණින් නීතිය ඉදිරියට පමුණුවා දැඩි දඬුවම් ලබාදීමට අපි කටයුතු කරනවා.”

නියෝජ්‍ය කොමසාරිස්වරයා පැවැසූ සුරාබදු නිලධාරින් දෙදෙනෙකුට පහරදීමේ සිදුවීම වී තිබුණේ පසුගිය 23 වැනිදා අලුයමයි. හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ බලපත්‍රලත් මත්පැන් අලෙවිසලකින් මත්පැන් බෝතල් 720ක ප්‍රමාණයක් රැගෙන යාමට සූදානමක් ගැන හෝඩුවාවක් ලැබී තිබුණේ සුරාබදු දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ටයි. පසුව එම නිලධාරින් විසින් අදාළ ස්ථානයට ගොස් මහ රාත්‍රියේ රැකවල්ලා සිටියදී සුඛෝපභෝගි මෝටර් රථයක් සහ අංක තහඩු නොමැති යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් අදාළ මත්පැන් තොගය රැගෙන යාමට සැරැසී ඇත. ඒත් සමඟ එම පිරිස අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරින් සූදානම් වී තිබේ. ඒ මොහොතේ පැමිණි පිරිසේ බීමත්ව සිටි පුද්ගලයකු විසින් ගිනිඅවියක්ද රැගෙන පැමිණ සුරාබදු නිලධාරීන්ට පහරදී අසල පිහිටි අඩි 20ක පමණ ප්‍රපාතයකට තල්ලු කර ඇති බවට අපට සැලවේ. එම පහරදීම සිදුකර ඇත්තෙ රිකිල්ලගස්කඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් සහ යුද හමුදා විශේෂ බළකායෙන් නෙරපන ලද පුද්ගලයකු විසිනි.

එවැනි සිදුවීම් මධ්‍යයේ සිය රාජකාරිය කරන සුරාබදු නිලධාරින් වෙහෙසෙන්නෙ මේ දිනවල හොර රහසේ නිපදවන නීති විරෝධි මත්පැන් හෙවත් වස පානයෙන් මෙරට ජනයා ගලවා ගැනීමටයි. එම මත්පැන් වස ලෙස ඔවුහු හඳුන්වන්නෙ මේ දිනවල මත්පැන් නිපදවීමට මෙරට වෙළෙඳපොළේ අවැසි අමුද්‍රව්‍ය කිසිවක්ම නොමැති හෙයිනි. එම නිසා නීති විරෝධි මත්පැන් නිෂ්පාදනය කරන ජාවාරම්කරුවන් නොයෙකුත් වසවිස එක්කොට එම මත්පැන් නිපදවන බව අපට කීවේ වැටලීම්වලට එක්වන සුරාබදු නිලධාරියෙකි. එම නිලධාරියා අපට කීවේ මෙවන් කතාවකි.

“මේ ජාවාරම්කාරයෝ නිපදවන මත්පැන් පානය කිරීමෙන් කොරෝනාවලට වඩා භයානක ලෙඩ හැදෙන්නෙ... ඇතැම් තැන්වල බැරල්වල සර්පයෝ පවා වැටිලා මැරිලා... ඒ වගේම මේ අය දින පහ හයක් යන වැඩේ දින දෙක තුනකින් කරගැනීමට නොයෙක් වස විස එක් කරනවා. මදුරු කොයිල්, බැටරි කුඩු, කටුකම්බි, වැනි දේවල් අනන්තවත් ඔය බැරල්වල දකින්න තියෙනවා. පසුගියදා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාද පැවැසුවේ මෙලෙස නීති විරෝධිව නිපදවන මත්පැන් පානය නොකරන ලෙසත් එවැනි මත්පැන් පානය මඟින් 2005 වසරේදී මාතරදීත්, ගිය වසරේ මීරිගම, බඳුරාගොඩදීත් මිනිස් ජීවිත රැසක්ම අහිමි වූයේ මෙවැනි වසවිස මෙකී ජාවාරම්කරුවන් නීතිවිරෝධි මත්පැන්වලට එක්කරන නිසා බවටයි.

මේ වන විට දින 50කට ආසන්න කාලයක් බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් වසා තිබෙන හෙයින් මෙරට මත්පැන් පානය කරන ලක්ෂ තිහක් පමණ වන පිරිසෙන් සුළු කොටසක් නීතිවිරෝධි මත්පැන් පානයට ඇබ්බැහි වුවත් බොහෝ දෙනෙක් එම හොර මත්පැන් පානයට ඇබ්බැහි වී නොමැති බවට සැල වේ. ඇඳිරිනීති සමයේ ඇතැම් දෙනා මිලීලිටර් 750ක රුපියල් 1500ත් 2000ත් අතර සාමාන්‍ය මත්පැන් බෝතලය ඇතැම් ස්ථානවල රුපියල් හත්දහසක් තරම් ඉහළ මිල ගණන්වලටද හොර ජාවාරම්කාරයන්ගෙන් මිලදීගෙන ඇති බවට හෙළි වේ.

පසුගිය 20 වැනිදා ඇඳිරිනීතිය ඉවත්කළ පෙදෙස්වල මත්පැන් අලෙවිසල් විවෘත කිරීමත් සමඟ දින ගණනාවක් පිපාසයෙන් සිටි පිරිස් සේ ඇතැම් දෙනා මත්පැන් ගැනීමට දිගු පොලිම් ගැසී එක්රැස් වී සිටින ආකාරයක් දැකිය හැකි විණි. මත්පැන් අලෙවිසල් අසල මීටර් සිය ගණන් දිගු පෝලිම් තිබී ඇත්තේ කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් හෝ අනුගමනය නොකරමිනි. ඒ ඇතැම් ස්ථානවලදී කළකෝලාහලද ඇතිවී තිබුණේ මත්පැන් ගැනීමට වූ අධික තදබදය හේතුවෙනි.

එලෙස ජනයාගේ හැසිරීම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කළේ ඊට පසු දිනම එනම් 21 වැනිදා පෙරවරුවේ ක්ෂණිකවම මත්පැන් අලෙවිසල් දින නියමයක් නොමැතිව වසා දැමීමටයි. එය රජයට කෙතරම් පාඩුවක් වුවද සමාජ සුබසිද්ධිය තකා ජනාධිපතිතුමා ගත් ඉතාම විශිෂ්ට තීන්දුවක් ලෙස සැලැකිය හැකිය. එම තීන්දුව ගෙන තිබුණේ මත්පැන් අලෙවිසල් විවෘතව තැබීමෙන් දිනකට රජයට ලැබෙන මිලියන 500ක ආදායමද නොතකමිනි. නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසන්නේ,

“ඇත්තටම ජනාධිපතිතුමා ඒ තීන්දුව ගත්තෙ ආදායමට වඩා මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්. හිතාගන්න පුළුවන්නේ රජයට මත්පැන් අලෙවිසල් මාස ගණනක් වසා තැබීම නිසා කොතරම් පාඩුවක් වෙනවාද කියලා. ඒත් ඒ පාඩුවට වඩා රජය තකන්නෙ මේ මොහොතේ ජනතා සුබසිද්ධිය... හැබැයි රජයට ලැබීමට තිබූ ඒ ආදායම ජාවාරම්කාරයන්ගේ අතට පත්කිරීමට අපි කිසිම විටෙක ඉඩ තියන්නෙ නැහැ. අපි ඉන්න සේවක සංඛ්‍යාවෙන් වුවත් අපේ රාජකාරිය අකුරටම ඉටු කරනවා...“

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී. එන්. හේමන්ත මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු නියාමක සාලිත රණසිංහට ලද තොරතුරක් මත මහා පරිමාණ කසිප්පු පෙරීමේ ස්ථානයක් වැටලූයේ පසුගිය 24 වැනිදායි. කෙරවළපිටිය කසළ කන්ද පාමුල එලෙස මහා පරිමාණ කසිප්පු පෙරීමක් සිදුකර තිබුණේ ඉතාම අපිරිසිදු ජාලය යොදාගනිමින් කිසිසේත්ම මිනිස් පරිභෝජනයට සුදුසු ආකාරයකින් නොවේ. සැකකරුවකු සමඟ එදින, එම ස්ථානයේ තිබී කසිප්පු බෝතල් දහසකට ආසන්න ප්‍රමාණයක්ද, ගෝඩා ලීටර් 5000ක් සමඟ විශාල බැරල් 25ක්, තඹ දඟර, ගෑස් ළිප් ඇතුළු තවත් බොහෝ උපකරණ රාශියක් හමුවූ බව ප්‍රධාන සුරාබදු පරීක්ෂක හේමන්ත මහතා පැවැසීය.

මේ පසුගිය දින කීපයේ සුරාබදු නිලධාරින් කළ මහා පරිමාණ වැටලීම්වලින් ආසන්නතම එක් වැටලීමක් පමණි. මෙවැනි වැටලීම් දිනෙන් දිනම මෙකී නිලධාරින් සිදුකරන්නෙ මේ මොහොතේ රටේ ඇතිවී තිබෙන සෞඛ්‍ය අවදානමද නොතකමිනි. ඒ මෙකී ජාවාරම්කාරයන්ද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ද නොතකමින් මෙවැනි ජාවාරම්හි නිරත වෙමින් සිටින්නෙ කොරෝනා අසාදිතවද යන්න වැටලීම්හි නිරත කිසිවකු හෝ නොදන්නා හෙයිනි.

සුරාබදු දෙපාර්තමේන්තුව තම රාජකාරිය එලෙස ඉටුකරද්දී හොර මත්පැන් ජාවාරම්කරුවන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුවේ 494ක් වන පොලිස් ස්ථාන ඇතුළු සියලුම ඒකකද වැටලීම් වැඩි කරමින් දෛනිකව හොර මත්පැන් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගනිමින් සිටී. ඒ, රාජකාරි නිවාඩුද අවලංගුව 85000ක් වන සමස්ත පොලිස් නිලධාරින් අතරින් 55000ක් පමණ වන නිලධාරි සංඛ්‍යාවක් කොරෝනා වසංගතයට එරෙහි සටනේ නියැළෙමින් සිටියදියි. ඊට අමතරව මිනීමැරුම්, කලකෝළාහල, දූෂණ අපරාධ, කොල්ලකෑම්, රථවාහන රාජකාරි මෙන්ම පරිපාලන රාජකාරි ඇතුළු පොලිස් නිලධාරින්ගේ මෙකී-නොකී රාජකාරි රැසක් මධ්‍යයේයි.

එසේ නීතිවිරෝධි මත් ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරින් අතරින් වාරියපොළ පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ප්‍රභාත් මහතාට පසුගිය 20 වැනිදා සිය පොලිස් ස්ථානය තුළදීම මත් ජාවාරම්කරුවන් ඇතුළුව හිමිනමක් විසින් පහරදීමක්ද සිදුකර තිබිණි. එම සිදුවීමට අදාළව වාරියපොළ විසුද්ධාරාම විහාරස්ථානයේ අදාළ හිමිනම අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. හිමිනම වාරියපොළ පොලිස් ස්ථානය තුළදී මත් ජාවාරම්කරුවන්ට සහාය දක්වමින් පොලිස් නිලධාරින්ට බැණ තර්ජනය කරන අශෝභන දසුන මුළුමහත් රටවැසියාම දුටුවේ අදාළ සිදුවීම ඒ මොහොතේ පොලිස් ස්ථානයේ සිටි මාධ්‍යවේදියකු සිය කැමරාවේ සටහන් කරගත් හෙයිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ අවසන් යාවත්කාලීන දත්ත අනුව ඇඳිරිනීති පැනවූ දින සිට දෛනිකව මත්පැන් වැටලීම් සිදුකළ පොලිසිය පසුගිය 19 වැනිදා වන විට මත්පැන් වැටලීම් 18118ක් සිදුකරමින් සැකකරුවන් 18215ක් අත්අඩංගුවට ගෙන තිබිණි. මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් වැටලීම් ලෙස සැලැකෙන මැණික් ගැරීම්, කොල්ලකෑම්, දැව ජාවාරම් ඇතුළු සමස්ත රටපුරා සිදුකළ වැටලීම් ප්‍රමාණය 27319 කි. අත්අඩංගුවට පත් මුළු සැකකරුවන් ගණන 29123 කි. එහෙත් මෙකී මත්පැන් වැටලීම් ඇතුළු සියලු වැටලීම්වලින් අත්අඩංගුවට පත් මේ සංඛ්‍යාව මේ වන විට බොහෝ සෙයින්ම වැඩිවී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව අප රට මත්පැන් පානයෙන් 84 වැනි ස්ථානයේ පසුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව හෙළි කරයි. එහෙත් ඉකුත් රජය සමයේ ලොව අංක එකේ මත්පැන් පානය කරන රට ලෙස ඇතැම් දේශපාලනඥයන්ම පාරම්බාමින් සිදුකර ඇත්තෙ මෙවැනි හොර මත්පැන් ජාවාරම්කරුවන්ට උඩගෙඩි දීමක් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මතයයි. එම නිසා මේ මොහොතේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය අනුව නීතිවිරෝධි ලෙස මිනිස් පරිභෝජනයට කිසිසේත්ම නුසුදුසු දෑ එක්කරමින් නිෂ්පාදනය කරන හොර මත්පැන් බී රට තවත් අගාධයට නොදමන ලෙස අපිද ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

 

Comments