මේ දවස්වල නැතිවම බැරි ජංගම බේකරිය “චූන් පාන්” | සිළුමිණ

මේ දවස්වල නැතිවම බැරි ජංගම බේකරිය “චූන් පාන්”

බේකරි කෑම වර්ග අලෙවි කරන ජංගම බේකරි රථ බොහෝදෙනා අතර ජනප්‍රියව ඇත්තේ චූන් පාන් යන අනුවර්ථ නාමයෙනි. මෙය කවදා කෙසේ ආරම්භ වීද යන්න නිශ්චිතව කිව නොහැකි වුවත් 2009 පසුව කා අතරත් ජනප්‍රිය වූ බව කිව හැකිය. චූන් පාන් යන අනුවර්ථනාමය පට බැඳීමට හේතු වී ඇත්තේ මෙම රථවලින් රාව නංවන සංගීත නාදයයි. ටියුන් පාන් පසුව ව්‍යවහාරයේදී චූන්පාන් බවට පත්වී ඇත. මේ නාදය පිටුපස බොහෝදෙනා නොදන්නා හරි අපූරු කතාවක් සැඟව තිබේ. ඒ කතාව පසුවට තබා මේ චූන් පාන් රථ ගැන කතා කළොත්; පාන්, කිඹුලා බනිස්, ජෑම් බනිස්, ප්ලෙන් බනිස්, සීනි බනිස්, සොසේජ් බනිස්, සීනි සම්බල් බනිස්, කට්ලට්, පැටිස්, ලැවරියා ... ආදී බේකරි නිෂ්පාදන නිවසටම ගෙනැවිත් දෙන හරි අපූරු සහයකයෙකි. මොවුන් ඇතමෙකුට සහායකයකු වුවත් තවත් අයකුට තම නිශ්කලංක ජීවන පැවැත්මට බාධා කරන හිසරදයකි. උදෑසන සවන්පත් සිපගනිමින් නින්නාදවන සියොතුන්ගේ නාදය යටපත් කර නැගෙන ඝෝෂාවකි. එසේ වුවත් චූන් පාන් නාදය ළඟ ඇසුණ විගස නිදිගැට කඩමින් දොරපියන් හැර, ගේට්ටු ඇරැගෙන මිදුලට එන්නේ ජංගම බේකරි සගයාගෙන රසවත් ආහාරයක් රැගෙන යන්නටය.

“චූන් පාන්” රථය ගෙදරටම පාන්, කිඹුලා බනිස්, ජෑම් බනිස්, ප්ලෙන් බනිස්, සීනි බනිස්, සොසේජ් බනිස්, සීනි සම්බල් බනිස්, කට්ලට්, පැටිස්, ලැවරියා ... ආදිය රැගෙන එන හරි අපූරු සහයකයෙකි. මොවුන් ඇතමකුට සහායකයකු වුවත් තවත් අයකුට තම නිස්කලංක ජීවන පැවැත්මට බාධා කරන හිසරදයකි. උදෑසන නින්නාදවන සියොතුන්ගේ නාදය යටපත් කර නැගෙන කඨෝර ඝෝෂාවකි. එසේ වුවත් චූන් පාන් නාදය ළඟ ඇසුණ විගස නිදිගැට කඩමින් දොරපියන් හැර, ගේට්ටු ඇරැගෙන කවුරු කවුරුත් මිදුලට එන්නේ ජංගම බේකරි සගයා ගෙන රසවත් ආහාරයක් රැගෙන යන්නටය.

කුඩා කලද මේ ආකාරයට කූඩවල බේකරි ආහාර රැගෙන අපේ නිවසට එන බනිස් මාමා අපට නම් තාමත් මතකය. පෙරැත්ත කර මව්පියන්ගෙන් මුදල් ඉල්ලා ගන්නා අප වහා දිව යන්නේ බනිස් මාමා සොයාගෙනය. ජෑම් බනිස් එකක්, කිඹුලා බනිස් එකක් වරදින්නේ ඉතා කලාතුරකිනි.

වීදී, පටු මාර්ග, නගර සහ නාගරික නොවන පරිසරවල වෙසෙන බොහෝ දෙනා සෑම දිනකම උදෑසන සහ සවස මෙම චූන්පාන් රථවලින් බේකරි ආහාර ගනිති. තමන් ළඟ එන බව සන් කිරීමට මොවුන් කිසියම් සංගීත කණ්ඩයක් වාදනය කරති. මෙම සංගීතය ඇතැමුන්ට මහා ගාලගෝට්ටියකි. කන් කරච්චලයකි. නමුත් ඔවුන් මෙය වාදනය කරන්නේ අලෙවිකරණ උපක්‍රමයක් හා ජිංගල් එකක් වශයෙනි. ජිංගල් එකක් යනු කිසියම් සංගීත ඛණ්ඩයක් යොදාගැනීම මඟින් පාරිභෝගිකයා තුළ කිසියම් උත්තේජනයක් ඇති කිරීමය. භාණ්ඩය අලෙවි කරගැනීමට එය පහසු මඟකි. මෙම සංගීත ඛණ්ඩය ඇසුණු සැනින් ඔවුන් ඒ වෙත දිව එන්නේ ඊට දක්වන ප්‍රතිචාරය නිසාය.

නමුත් පසුගිය කාලයේ බොහෝදෙනෙකු මින් ශබ්ද දූෂණයක් සිදුවන බව පවසා පොලිසිය, මධ්‍යම පාරිසරික අධිකාරියට, පළාත් පාලන ආයතනවලට සහ රථවාහන දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි. එහෙත් ඉන් පළක් නොවුණි. ජංගම බේකරි එක තැනක නොරැඳී ධාවනය වන නිසා එයින් ලොකු හානියක් සිදු නොවීම ඊට එක හේතුවකි. මේ අයට විරුද්ධවන බොහෝදෙනා අමතක කරන්නේ ජංගම බේකරි හිමියන් යනු අප වැනිම මනුස්සයින් බවය. ඔවුන් රටට බරක් නොවී කරන මේ කටයුත්ත අගේ කළ යුතුය. නිවසට පැමිණෙන විට රාත්‍රී ආහාරයට යමක් ගන්න අමතක වුවද අද එය එතරම් ගැටලුවක් නොවන්නේ ජංගම බේකරිය අප වෙනුවෙන් තත්පරව සිටින නිසාය. කොරොණා වසංගතයත් සමඟ අද ඔවුන්ගේ පැමිණීම වඩාත් අපේක්ෂා කාරන්නේ එදා ඔවුන් වෙනුවෙන් පැමිණිලි කළ අපම නොවේදැයි මඳක් කල්පනා කර බැලිය යුතුය. ඔවුන්ගේ සහය අද අපට නැතිව බැරිය.

විදේශ සංචාරක සමය ආරම්භවීමත් සමඟ හික්කඩුව සංචාරක පුරවරයට විදේශ සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙනු අපි දැක ඇත්තෙමු. එසේ සංචාරකයන් විශාල වශයෙන් පැමිණියත් සංචාරක හොටල් හිමියන්ට ලැබෙන ආදායමේ වැඩිවීමක් සිදුවී නැතැයි හික්කඩුවේ ඇතැම් සංචාරක හෝටල් හිමියෝ කියති. එසේ වීමට හේතුව වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ විදේශ සංචාරකයන් බොහෝමයක් ඉතා සුළු මුදලක් වැය කොට තමන්ට අවශ්‍ය එළවළු යනාදිය මිලදී ගෙන ඒ අය විසින් ආහාර පාන සදාගෙන අනුභව කිරීමය. තවත් සමහර විදේශ සංචාරකයන් චූන් පාන් රථ එනතෙක් මග බලා සිට එයින් මොනවා හෝ කෑමක් ගෙන දවස ගත කරන බවයි. මෙලෙස කොරෝනා වයිරස් බිය සමගම සිය රටවලට යාමට නොහැකිව හික්කඩුව සංචාරක පුරවරයේ කොටුවී සිටින සංචාරකයින්ට තමන්ගේ ආහාර සපයා ගැනීම දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති සමයක යම් හෝ සහනයක් වී ඇත්තේ මේ ජංගම බේකරිය. මෙනිසා රටට විදේශ විනිමය උපයා දීමට පවා අද මේ අයට හැකිව තිබේ.

බොහෝ දෙනාට කන්දොස් කිරියාවක් වූ මේ චූන්පාන් සංගීතය කුමක්දැයි කවුරුන් හෝ දන්නේ නම් ඔවුන් පුදුමයට පත්වෙනවා නොවනුමානය. මෙය ලෝකප්‍රකට සංගීතඥයකු වන බීතෝවන්ගේ “ෆෝ එලිස්” සංගීත නිර්මාණයේ මුල් කොටසින් උපුටා ගැනුණකි. මෙම සංගීත ඛණ්ඩය තවත් සුවිශේෂී වන්නේ බීතෝවන් තරුණ වියේදී ඔහුගෙන් පියානෝවාදනය ඉගෙන ගැනීමට ආ වංශවත් තරුණියක වෙනුවෙන් නිර්මාණය වූවක් වීමය.

බිතෝවන් විසින් ලියන ලද වඩාත්ම ජනප්‍රිය පියානෝ සංගීතවාදනයක් වන “ෆෝ එලිස්” බීතෝවන් මියගොස් වසර හතළිහක් ගතවනතුරු ප්‍රකාශයට පත් නොවීය. එසේ වීමට හේතුව වූයේ ඔහු එය තම ළඟ සඟවාගෙන සිටීම නිසාය. වංශවත් යුවතියක වූ එලිසබෙත් රොකෙල් එලියස් යන අනුවර්ථ නාමයෙන් හැඳින් වූ බීතෝවන් ඇය හා වැඩි කාලයක් ගත කිරීමට තරමක් සංකීර්ණ අභ්‍යාසයක් ලෙස මෙම සංගීත ඛණ්ඩය නිර්මාණය කර ඇත. මෙහි මුල් කොටස සරල වුවත් මෙය ගලායාමේදී ක්‍රමයෙන් සංකීර්ණ වේ. තවත් කතාවකින් කියැවෙන්නේ තෙරේස් මල්ෆට්ටි නම් කාන්තාවක් වරක් බීතෝවන්ගේ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් සිය ආදර ප්‍රකාශ කිරීම සඳහා “ෆෝර් තෙරේස්” නමින් මෙම සංගීත ඛණ්ඩය නිර්මාණය කළ බවත් “අමරණීය ආදරණීයයාට” යනුවෙන් හේ ලියූ ලිපියක සඳහන්වන බවයි. කෙසේ වුවත් මෙය සිය ආදරවන්තිය වෙනුවෙන් බීතෝවන් කළ නිර්මාණයක් බව පැහැදිලිය. එහෙත් බීතෝවන්ගේ නිර්මාණ ගවේශනය කරන ශාස්ත්‍රඥයින් මේ පිළිබඳව සැක පහළ කරති. ඒ මෙම නිර්මාණය සඳහා යොදාගත් ස්වර ප්‍රස්තාරයේ බීතෝවන්ගේ අත්සන නොමැති වීම හේතුවෙනි. ඊට හේතුව බීතෝවන් රහසේ මෙම සංගීත නිර්මාණය තබා ගැනීමට කටයුතු කළ නිසා විය හැකි යැයි මේ පිළිබඳව අදහස් දක්වන ඇතැමුන් තර්ක කරති. කෙසේ හෝ සින්දු අහන මෙරට ජනතාවට ලොව අග්‍රගණ්‍ය සංගීතවේදියකුගේ සංගීත ඛණ්ඩයක් රසවිඳීමට ජංගම බේකරි හිමියන් දැන හෝ නොදැන සලස්වා ඇත.

Comments