පළමුව අපි හැදී දෙවනුව රට හදමු | සිළුමිණ

පළමුව අපි හැදී දෙවනුව රට හදමු

කොරෝනා, එසේත් නැත්නම් කෝවිඩ්-19 යන වචන අපට අලුත් වචන වුවත් පසුගිය මාස කිහිපයකදී වැඩියෙන්ම අසන්නට ලැබුණු වචන ලෙස හැඳින්විය හැකිය. එම නිසා අපගේ නම්වලටත් වඩා එම වචන අප මතකයේ ඉතා තදින් කාවැදී ඇතුවාට සැකයක් නැත. ලෝකය අද වන විට ඉතාමත්ව දියුණු ඉතාමත්ව නවීන අදියරක් ගතකරමින් සිටින්නේ ය. තවද, මිනිසා තාමත් මෙම ලෝකයේ සිටින එක් සත්ත්වයකු යන්න සම්පූර්ණයෙන් අමතක කර තමා ලෝකයේ සිටින එකම හා බලවත්ම සත්වයා ලෙස හඳුනාගෙන සිටින්නේ ය.

 

එමෙන්ම සත්ත්වයාගේ පැවැත්මට අවශ්‍ය ආහාර, ආදරය, සතුට, විවේකය ආදී මූලික අවශ්‍යතා සඳහා ඉතා පහත් අගයක් ලබාදී, වෙනත් අතිරේක අවශ්‍යතා මූලික කරගෙන යමින් සිටියේ ය. උදාහරණයක් වශයෙන් “අපට ආහාර ගැනීමටවත් තරම් වේලාවක් නැතිකර මට වෙනත් වැඩ අධිකවී ඇත.”, “අපට නිදා ගැනීමටවත් තරම් වේලාවක් නැති තරමට වැඩි අධිකය.” ලෙස ඉතාමත් සතුටින් සිතන කියන තරමට මිනිසා අන්ධවී සිටියෝ ය.

තමා ඉගෙනගන්නවා විය හැකිය, රැකියාවක් කරනවා විය හැකිය, ව්‍යාපාරයක් කරනවා විය හැකිය. නමුත්, තමා එම ක්‍රියා කරනුයේ කුමන අරමුණින් දැයි ඔවුනට අවබෝධයක් නැත. සෑම මිනිසකු හටම සාර්ථකව ඉටු කළ හැකි වැඩ ප්‍රමාණයක් ඇත. ඉන් ඔබ්බට ගිය කල එය සෘණාත්මකව තමාට එසේ නැතිනම් තම ජීවිතයට බලපාන බව මිනිසාට මතක නැත. මෙසේ ඉතාමත් වේගයෙන් අවිවේකීයව තෘප්තාවෙන් සමහර අවස්ථාවල අයෝග්‍ය ලෙස තම කාර්යයන් ඉටු කිරීමට යාම ඉතාමත්ම අසාර්ථකය. මෙසේ ඉතා වේගයෙන් ගලා ගිය ජීවිතය අපට එකවරම නවතින්නට සිදුවූ විට එය ඉතා වේගයෙන් පටන්ගත් වාහනයක් ක්ෂණිකව තිරිංග තද කළ විට සිදුවන්නක් මෙන් දරාගන්නට අපහසු වේ. නමුත්, ඔබ වේගයෙන් පාලනයක් ඇතිව ගෙවූ කෙනෙක් නම් මෙම නැවතීම එතරම් පීඩාකාරීව නොදැනෙන්නට ඇත. කෙසේ නමුත්, කොරෝනා ශ්‍රී ලාංකික අපට සෞඛ්‍යමය වශයෙන් විශාල වශයෙන් අහිතකර වී නැත. එයට බොහෝ සාධක බලපා ඇති අතර, ඒ අතරින් අප රටේ නායකත්වය, සෙසු සෞඛ්‍යාංශ, හමුදා අංශ ආදී අංශවල ධනාත්මක දායකවීම සෘජුවම බලපා ඇත. නමුත් කෙරෝනා නිසා සිදුවන අනෙක් බලපෑම්වලින් මිදීමට අපට නොහැකිය. එනම් කෙරෝනා අපට තවත් බොහෝ පාඩම් උගන්වමින් සිටී.

එය නිසි ලෙස අවබෝධ කරගෙන එහි ධනාත්මක ප්‍රතිඵල ලබා ගැනීමේ මූලික වගකීම අප සියලු දෙනාටම පැවරේ. රටක් වශයෙන් හා අනෙකුත් සියලුම ආයතන වශයෙන් තම තමන් කෙසේ මීට අනුගතවේ දැයි ඉතාමත්ම උපක්‍රමශීලීව තීරණය කළ යුතුය. උදාහරණයක් වශයෙන් රටේ ආනයන සීමා කිරීම, දේශීය කර්මාන්ත සඳහා දිරිදීම වැනි උපක්‍රමයන් රටක් වශයෙන් ගතයුතු තීරණයන් වේ. එසේම, දේශීය ශ්‍රමිකයන්ට මුල්තැන දීම, මිනිසාට හිතකර ආහාරපාන පමණක් නිපදවීම වැනි උපක්‍රමයන් ආයතන වශයෙන් ගතහැකි උපක්‍රමික තීරණ වේ.

පුද්ගලිකව අප මෙම ව්‍යසනයෙන් පසුව කෙසේ වෙනස්විය යුතුදැයි මේ සිතීමට කාලයයි. එය පහත සඳහන් මූලික කරුණු 7 ක් යටතේ විස්තර කෙර්.

 

තමාව නිසි පරිදි කළමනාකරණය කිරීම :

 

මෙහිදී අප කුමන රැකියාව කළ ද, කුමන ආර්ථික පසුබික සිටියද, එසේ නැතිනම් කළමනාකරණය පිළිබඳව අවබෝධයක් ඇතිව හෝ නැවති සිටිය ද එය මීට බලපෑමක් නැත. තමා පාසල් දරුවකු වුවද මෙම මූලික කරුණු පිළිබඳව නිසි අවධානය යොමු කළ හැකිය. සෞඛ්‍ය ගැටලුවක් පවතින වකවානුවක සිටින බැවින්, මූලිකවම අපගේ පෞද්ගලික පිරිසිදුකම ගැන ඉතා ඉහළ අවධානයක් යොමු කළ යුතුය. මේ සඳහා අපගේ ස්වයං විනය ඉතාමත් වැදගත් වේ. උදාහරණයක් ලෙස තමාට තම අත නිසි ලෙස පාලනය කිරීමට හැකියාව තිබිය යුතු වේ. එවිට ඔබ ඉතා විශාල ආයතනයක් පරිපාලනය කරනු ලබන නැතිනම්, කළමනාකරණය කරනු ලබන ඉහළ කළමනාකරුවකු විය හැකිය. නමුත්, ඔබ පරිපාලනය සඳහා යොදාගත් එක් උපක්‍රමයකින්වත් ඔබට, ඔබව පරිපාලනය කිරීමට අපහසු බව ඔබට වැටහෙනු ඇත.

එම නිසා අප අපටම ආවේණික වූ ස්වයං විනයකින් අපව හසුරුවාගත යුතුවේ. අප ආහාර ගැනීමේදී හා අපගේ අනෙකුත් සියලුම කාර්යන්වලදී නිසි ක්‍රමානුකූල ක්‍රමවේද අනුගමනය කිරීම, එමෙන් ම, දී ඇති සියලුම සෞඛ්‍ය උපදෙස්වලට ගෞරව කිරීම හා අනුගමනය කිරීම, හැකිතාක් දුරට අන් අය ඒ සඳහා යොමු කරවීම අපට පැවරී ඇති ප්‍රධාන වගකීම් වේ. උදාහරණයක් ලෙස සමාජ දුරස්ථභාවය අපට හුරු පුරුදු සෞඛ්‍ය ක්‍රියාකාරකමක් නොවුවද, ඊට අප අනුගතවීම හා අන් අය යොමුකරවීම ඉතා වැදගත් වේ. මේ සියල්ල ඉටු කිරීමට අප සිත මනා ලෙස මෙහෙයවීම අප විසින්ම කළ යුතු වේ. එනම් අප අපව කළමනාකරණය කර ගත යුතුය. එහිදී අප සියලු දෙනාම කළමනාකරුවන් ලෙස හඳුනාගත හැකිය.

 

‍ දේශීය ආහාර සඳහා යොමුවීම :

 

අප ශ්‍රී ලාංකික වන බැවින්, අපට අපගේ දේශීය ආහාර සඳහා යොමුවීමෙන් ආහාර ආනයනය සඳහා අනවශ්‍ය විදේශ විනිමය ගලායාම අවමකරගත හැකිය. එමෙන්ම, ශ්‍රී ලාංකික දේශීය ස්වභාවික ආහාර අපට ලබාදෙන්නේ බොහෝ ධනාත්මක (+) ප්‍රථිඵලයන් ය. එහි ප්‍රතිඵල පෞද්ගලිකව අපට ද, සාමූහිකව රටටම ද අත්වේ. උදාහරණයක් වශයෙන් උදෑසන ආහාරය සඳහා පාන් ආහාරයට ගත් විට ඒ සඳහා අප නොදැනුවත්වම විදේශ විනිමය අප රටෙන් වැය වේ. එසේම, බටහිර හා දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව, එතරම් හිතකර ආහාරයක් නොවේ. තවද, එම ආහාරය පිළියෙල කරන පිටිවල පෝෂ්‍ය පදාර්ථ ඇතැම් විට ඉන් ඉවත්කර අපටම නැවත එවන අවස්ථා ද ඇත. නුමත්, ඒ වෙනුවෙන් කිරිබත්, කුරක්කන්, පිට්ටු, මුං ඇට වැනි දේශීය ආහාරයක් ලබා ගැනීමෙන් අපට ද‍, රටට ද සෙතක් වේ. එනම්, අප රටේ ගෙවියාට ඉන් ආදාමක් ලැබෙන අතර, අපට සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලැබේ. මෙලෙස විවිධත්වයකින් යුතුව රසවත්ව නමුත් දේශීය ආහාර පමණක් පරිභෝජනයට යොමුවීම ඉතා වැදගත්වේ.

 

දේශීය ඇඳුම් හා දේශීය භාණ්ඩ පාරිභෝජනයට යොමුවීම :

 

මෙම කරුණ ඇතැම් විට ගෝලීයකරණයට විරුද්ධ වුවත් අප රටේ ඉදිරි අනාගතය මෙන්ම වර්තමාන වෙළඳපළ පිළිබඳව සලකා බලා අප දේශීය නිපදවූ ඇඳම් පැළඳම් හා භාණ්ඩ පරිභෝජනය උපරිම කළයුතු වේ.

ඇතැම් අවස්ථාවක අත්‍යාවශ්‍ය දෙයක් හැරුණු විට සියලුම එසේ නැතිනම් බොහෝ භාණ්ඩ පිටරටකින් ගෙන්වීමේදී අප නොදැනුවත්වම සිදුවන භයානක සිදුවීම නම් දේශීය කර්මාන්ත පිරිහී යාමයි.

ඒ අනුව, අප දේශීය නිමි ඇඳුම්, දේශීය භාණ්ඩ පරිභෝජනය කිරීම යනු වක්‍රාකාරව රටේ සංවර්ධනයට උරදීමක් බව වටහාගෙන, ඒ පිළිබඳව තෘප්තිමත් වීමට පුරුදුවිය යුතුය. තවද, මුල් අවස්ථාවලදී එම භාණ්ඩවල තත්ත්වය, සාපේක්ෂව ඇතැම්විට අඩු මට්ටමක තිබුණත් දේශීය කර්මාන්තවලට උරදීමක් යැයි සාඩම්බර සිතුවිල්ලෙන් එම අතෘප්තිය මඟහරවා ගැනීමට අප පුරුදු විය යුතුය. එසේම දේශීය ඇඳුම් හා දේශීය භාණ්ඩ පාරිභෝජනය කරන්නන් පිළිබඳව ගෞරවයක් දැක්වීමට එහි අගනාකමක් දැකීමට, සාමාජීයව අප හුරු පුරුදු විය යුතුය.

 

තමා හා තම රට ගැන ආරම්බර වීම:

 

අප කවර තරාතිරමකට අයත් වුවත් අපට අප ගැන අභිමානයක් තිබිය යුතුය. ඇතැම් විට ආර්ථික අතින් අප දුර්වල මට්ටමක පසුවුවත්, අපට ආඩම්බර විය හැකි හේතු තිබෙන්නට පුළුවන. ඒ අතර අපගේ ඉහළ ගතිගුණ අගනාකම් සිරිත්-විරිත් ආදිය ප්‍රධාන ප්‍රධාන වේ. එමෙන්ම, අනෙක් සියලුම පුද්ගලයන්ට ගෞරව කිරීමට ද, ඇගයීමට ද අප පසුබට නොවිය යුතුය. එසේම, අපට අප රට ගැන අභිමානයක් තිබිය යුතුය.

උදාහරණයක් වශයෙන් පසුගිය මාස කිහිපය තුළ මුළු රටේම ඇඳිරි නීතිය පනවා තිබුණද කොතනකින්වත් කුසගින්න නිසා මිය යාමක් අසන්නට නොලැබුණි. ඇතැම් විට කුසගින්න දරාගෙන හෝ කෙසේ හෝ කුසගින්න නිවාගෙන ජීවත් වූවන්ද සිටින්නට ඇත. එසේම නැති සැමවිටම අන් අට උදව් උපකාර කර තමාගේ ද කුසගින්න නිවාගෙන ජීවත් වූවන් ද සිටින්නට ඇත. කෙසේ නමුත්, කුසගින්න නිසා මිය ගිය වූවන් නොසිටියේ අපගේ හා අප රටේ ශක්තිය නිසාමය. එම ශක්තීන් පිළිබඳව, එම දරා ගැනීම් පිළිබඳව, එම උපකාර කිරීම් පිළිබඳව අප ආඩම්බර විය යුතුය. නොයෙක් නිර්ණායකයන්ට අනුව අප පහළ ආර්ථික මට්ටමක් ඇති රටක් වුවත් අපගේ ආකල්පමය අතින් ඉතාමත් ශක්තිමත් ඉහළ මට්ටමක රටක් බව වටහාගත යුතුය. තවද, එය තව තවත් තහවුරුවන ලෙස ක්‍රියාකිරීමේ මූලිකවගකීම අප සියලු දෙනාම සතු බව අවබෝධ කරගත යුතුය.

 

හැකි සෑම විටම ඉතුරු කිරීමට හා වගා කිරීමට යොමුවීම :

 

ඔබට හැකිසෑම අවස්ථාවකද අනවශ්‍ය වියදම් නවතා එම මුදල් යම් අත්‍යාවශ්‍ය අවස්ථාවක පාරිභෝජනයට ඉතිරි කළ යුතුය. එසේ ඉතිරි කළ සුළු මුදලක් වුවද පසුගිය කරදරකාරී අවස්ථාවේදී ඔබට ඉතාමත් ප්‍රයෝජන වන්නට ඇත. එම නිසා එය අපගේ ජීවිත පුරුද්දක් වශයෙන් පවත්වා‍ ගැනීමටත් මුලදී ඉතා සුළුවෙන් හෝ පටන්ගෙන ඉතිරි කිරීම් ආරම්භ කළ යුතුය. ඔබ යම් අනවශ්‍ය පුරරුදුවලට මුදල් යෙදවීම කළේ නම්, පසුගිය නැවතුම ස්ථීර නැවතුමක් ලෙස එම නරක පුරුදු අතහැරියහොත් ඔබ නොදැනුවත්කම ඉතිරි කිරීම් වැඩිවනු ඇත.

එසේම, අපට ඇති ඉඩ ප්‍රමාණය පරිදි මිනිසාට පාරි‍භෝජනය කළ හැකි වගාවක් ආරම්භ කළ හැකිය. ඉඟුරු, කහ වැනි ද්‍රව්‍ය පවා පිටරටවලින් ගෙන්වීම නැවැත්වීමට මෙය අවස්ථාව කරගත යුතුය. එදිනෙදා අවශ්‍යකරන ද්‍රව්‍ය (උදාහරණ : කරපිංචා, රම්පෙ, ඇතැම් එළවළු, පළතුරු) පහසුවෙන් වගා කළ හැකි ආහාර ද්‍රව්‍ය වගා කිරීම ආරම්භ කළ යුතුය. ඉන් ලැබෙන ආර්ථිකමය වාසි සෞඛ්‍යදායී ආහාර මෙන්ම අපට ලැබෙන මානසික සහනය ද ඉතා අගනේ ය.‍

 

 

 

 

තමා නියුතු රැකියාව නිවැරදිව කිරීම :

 

මෙහිදී අප තරයේ මතකයේ තබාගත යුතු ප්‍රධාන කාරණය වන්නේ, අපට නියම වූ කාර්ය නිසි පරිදි ඉටු කිරීමයි. එහිදී අප රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු වුවත්, තමාගේම ස්වයං රැකියාවක නියුතු වුවත්, පෙරටත් වඩා ඉතා කැපවීමෙන් එම කාර්යයන් ඉටුකළ යුතුය. එසේම සියලුම සම්බන්ධ පාර්ශ්ව සමඟ සුහඳව හා තමාට හැකි පමණ අන් අපට උපකාර කර තම ආයතනයේ පොදු අරමුණත්, තමාගේ පෞද්ගලික අරමුණත් ළඟාකර ගැනීමට අප කටයුතු කළ යුතුය.

මීට ඉහතදී අප තුළ යම් යම් දුර්වලතා තිබුණි නම් ඒවා අප විසින්ම හඳුනාගෙන යහපත් ක්‍රියා හා යහපත් සිතුවිලි තුළින් අපගේ කාර්යයන් නිසි පරිදි ඉටුකළ යුතුය. එසේම අප කරන කර්මාන්තයේ ප්‍රතිඵල දායකයන්ට නැත්නම් පාරිභෝගිකයන්ට යහපතක් සැලසෙන පරිදි කටයුතු මෙහෙයවීම ද, ඉතා වැදගත් වේ. උදාහරණ : ආහාර නිෂ්පාදන ආයතනයක් නම්, මිනිස් ශරීරවලට අහිතකර ද්‍රව්‍යයක් එම ආහාරවලට එක් කිරීම වැනි ඉතා භයානක ක්‍රියාවලින් වැළකීමට අප තීරණය කළ යුතුය. එහි ඇති අවැඩ කෙටිකාලීන වාසිවලට වඩා ඉතා භයානක බව තේරුම්ගත යුතුය.

එම නිසා කෙටි කාලීන වාසි ගැන සිතමින් අප අතින් සිදුවන බොහෝ වැරදි නිවැරදි කරගෙන ඉතාම ප්‍රශස්ත ලෙස තම රැකියාව කිරීමෙනුත් අන් අයට තම රැකියාව කිරීමට ඉඩ සැලසීමෙනුත් අපට ඉතා ඉහළ මානසික සැපතක් ළඟාකරගත හැකිය.

 

ජීවිතය සතුටින් ගෙවීම හා යථාර්තය තේරුම් ගැනීම :

 

ඉතාමත් තෘප්තියෙන් කෙළවරක් නැති ආශා පිටුපස ලුහුබඳිනවා වෙනුවට තමාට සිදුකළ හැකි වැඩ කොටසක් නිසි ලෙස ඉටුකර සතුටන් ජීවත්වීමට පුරුදුවීම ඉතා වැදගත් වේ. කෙරෝනා අප රටට එතරම් දැඩි දඩුවමක් නොදුන්නද, ලොවට දුන් දඩුවම් හමුවේ අප මේ පාඩම් උගත යුතුය. කෙරෝනා වැළදීම නිසා ඉතා කෙටිකලකින් ජීවිතය නිමාවී, එම ශරීරය ද කෙටි කලකින් විනාශකර දැමීම අපි දුටුවෙමු. මේ තුළින් අප අවබෝධකර ගත යුතු වන්නේ, අපට ද ඕනෑම විටක මෙවන් ඉරණමකට මුහුණ දීමට සිදුවිය හැකි බවය. එම නිසා ගෙවෙන ජීවිතය අන් අයට කරදරයක් නොවී, හැකි පමණින් පිහිට වී, යහපත් ක්‍රියාවේ යෙදී සරලව ගෙවීම ඉතා වැදගත් වේ.

එසේම, ලොව ඇති සියලුම දේ අපට අවශ්‍ය නොවන බවත්, අවශ්‍ය වුවත් ලබාගත නොහැකි බවත් අවබෝධ කරගත යුතුය. මෙම කරුණු නිසි ලෙස අවබෝධ කරගෙන තම ජීවිතය සකසා ගැනීමට අප බුද්ධිමත් විය යුතුය. ඒ තුළින් අපට ඉතාමත් වාසනාවන්න ශ්‍රී ලාංකිකයන් ලෙස අභිමානයෙන් යුතුව සතුටුවිය හැකි වනු ඇත. ඒ සඳහා ඔබ, ඔබව නිසි ලෙස මෙහෙයවන්න, කළමනාකරණය කරන්න, පරිපාලනය කරන්න. එවිට ඔබගේත් රටේත් අරමුණු ළඟාකරගෙන සාර්ථකත්වය අත්විදිය හැකිය.

Comments