දිය ගොඩ දෙකෙහිම නොසැලෙන සවිය | සිළුමිණ

දිය ගොඩ දෙකෙහිම නොසැලෙන සවිය

ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට ආ ත්‍රස්තවාදීන් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයට කොටු වෙද්දී එම ත්‍රස්තවාදීන්ට පැන යාමට ඉඩ නොදී යුද හමුදාවට කොටු කර ගන්නට හැකි වූයේ නාවික හමුදාව විසින් එදා මුහුදේ සිදු කළ දැවැන්ත මෙහෙයුම නිසාය.එසේ නොවන්නට එම කොටි ත්‍රස්තවාදීන්ගේ සෙවණැලි තවත් කාලයක් හොල්මන් කරන්නට ඉඩ තිබුණි. මුහුද හරහා එන උපද්‍රවයන්ගෙන් රට බේරා ගන්නට මහත් මෙහෙයක් කළ නාවික හමුදාව එම යුද්ධයෙන් පසුව වුවද රට වෙනුවෙන් සිදු කරනු ලබන කැපවීම, මෙහෙයුම් එයින් නතර කෙළේ නැත.

නාවික හමුදාවට “මෙරීන් බළකාය“ යනුවෙන් දියගොඩ දෙකෙහිම සටන් කළ හැකි විශේෂ ඒකකයක් ස්ථාපිත කරනු ලැබුවේ ඒ මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසුවය.

ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමෙන් පසුව වුවද රට රැක ගැන්මට නාවික හමුදාව විසින් සිදු කළ කැපවීම මෙයින් මැනවින් පැහැදිලිය.

මුහුදේදී සිදු කළ මේ මෙහෙයුම් දිගින් දිගටම සිදු කරන අතරතුර නාවික හමුදාව විසින් යුද්ධය අවසන් වීමෙන් පසුව ද විශේෂ සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් දායකත්වය සැපයී ය.

එයින් පළමුවැන්න ස්වභාවික උවදුරකදී, විශේෂයෙන්ම ගංවතුර තර්ජනයක් ඇති වීමට පෙර අදාළ ගංගා පාලම් ආදිය ගැන විශේෂ අවධානය යොමු කිරීමයි.

එසේම ජලජ පැළෑටිවලින් සමන්විත ජලාශ සුද්ධ පවිත්‍ර කිරීමද නාවික හමුදාව විසින් සිදු කරන ලදී. එසේම රටේ ප්‍රධාන ප්‍රශ්නයක්ව ඇති උතුරු මැද ඇතුළු ප්‍රදේශ රැසක පවත්නා වකුගඩු රෝගයට පිළියමක් ලෙසින් “ජල ප්‍රති ආශ්‍රත යන්ත්‍ර“ සකස් කිරීමද නාවික හමුදාව විසින් ආරම්භ කරන ලදී. ඒ හරහා මේ වන විට දිවයින පුරා 300ක් පමණ ජල පිරිපහදු ඒකක නාවික හමුදාව විසින් ස්ථාපිත කර තිබේ.

එසේම හදිසි ආපදාවකදී කිසිදු ගැටලුවකින් තොරව ඕනෑම බාධකයක් ජයගෙන වතුරේ යා හැකි වායු බෝට්ටුවක්ද නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද්දේ ජල ගැල්මකදී බෝට්ටුවට බාධාවකින් එම ජලයේ ගමන් කළ හැකිවන පරිදිය.

මෙවන් සුවිශේෂී කාර්යයන් රැසකින් රටට දායකත්වය සපයන නාවික හමුදාව විසින් කොරෝනා උවදුර ශ්‍රී ලංකාව පුරා පැතිර යාමත් සමගම යුද්ධයේදී සිදු කළාක් මෙන්, මේ නොපෙනෙන සතුරාට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

එහිදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළුව නාවික භටයා දක්වා වන 53000ක් වූ නාවික හමුදාවම මේ කොරෝනා උවදුර වෙනුවෙන් උපරිම කැපවීමක් දායකත්වයක් සිදු කළහ. අද ද සිදු කරමින් සිටී.

එසේ නාවික හමුදාව මේ කටයුතු වෙනුවෙන් ඇප කැපවී කටයුතු කළ ආකාරය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කිරීමට අවශ්‍යව ඇත්තේ මේ වන විට සමාජ මාධ්‍යජාලා මෙන්ම ඇතැම් රූපවාහිනී නාලිකා පවා නාවික හමුදාව සම්බන්ධයෙන් සිදු කරනු විවේචන හා චෝදනා නිසා ය. මේ චෝදනා විවේචන රැසක් එල්ල වන්නට පටන් ගත්තේ ජාඇළ සුදුවැල්ල ප්‍රදේශයේ කොරෝනා වැළඳුණු පුද්ගලයන් හා ආසාදිතයන් හා සම්බන්ධ වූ අය නිරෝධායනය කරා ගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ ය.

නාවික හමුදාවේ බහුතර නිලධාරීන්ට එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කර යුද අත්දැකීම් තිබේ. එම නිසා අඥානයන් රැළක් මෙන් දිව ගොස් සතුරාට පහර දෙන්නට තරම් නාවික හමුදාව අසමත් නැත. යුද භාෂාවෙන් කියනවා නම් සැලසුම් සහගත ලෙසින් කටයුතු කිරීම ඕනෑම හමුදාවක මූලිකම ක්‍රියාදාමයයි. නාවික හමුදාව විසින් කොරෝනා උවදුර මැඬ පැවැත්වීම උදෙසා කටයුතු කළ ආකාරයත් අනෙකුත් කටයුතු සම්බන්ධයෙන් මේ වන විට නියැළී සිටින අයුරුත් අපි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතාගෙන් කරුණු විමසුවෙමු.

“ නාවික හමුදාව විසින් මේ අවස්ථාවේදී කටයුතු කෙළේ අධි අවදානම්, මඳ අවදානම් මෙන්ම අඩු අවදානම් යනුවෙන් කණ්ඩායම් තුනක් යටතේ. එය අපට පමණක් වූ ක්‍රමවේදයක් නෙමෙයි. ඒ සංකල්පය යටතේ නාවික හමුදාවේ සියලුම අංශ ඔවුන්ගේ කාර්යයන් නිසි ලෙසින් සිදු කළ බව මෙහිදී පැවසිය යුතුයි. මෙවන් වසංගත තත්ත්වයකදී හමුදාව කටයුතු කරන්නේ, සම්පත් උපයෝගී කරගන්නේ පිළිවෙතකට, පිළිවෙළකට අනුවයි. ඒ අනුව අප කොරෝනා වසංගතය දුරු කිරීම පිණිස රජයට අවශ්‍ය සහාය ලබා දුන්නේ ද ඒ නිසි ක්‍රමවේදයට අනුගතවයි. විශේෂයෙන්ම සීමිත සම්පත් පරිහරණයේදී අප අනුගමනය කළ යුතු පැහැදිලි නිර්ණායක තියෙනවා. එම නිර්ණායක යටතේ කටයුතු නොකළහොත් අපට සාර්ථක ප්‍රතිඵල ලබන්න බැහැ. නාවික හමුදාවත් කටයුතු කරන්නේ ඒඅයුරින්. ඇමරිකාව වගේ රටවල් පවා මේ වන විට මුඛ ආවරණ පවා නොමැතිව දැඩි අපහසුතාවට පත්වෙලා තියෙන්නෙ. නාවික හමුදාවේ 150කට අධික පිරිසකට කොරෝනා වයිසරය වැළඳෙන්න හේතු වුණේ අපි කවුරුත් දන්නා සුදුවැල්ලේ පිරිසක් නිරෝධායනයට ගෙන යාමට කටයුතු කළ අවස්ථාවේදී එක් නාවික හටයකු හරහායි. එම ප්‍රදේශයේ සිටි පිරිස නිරෝධායනයට ගෙන යන්න සෞඛ්‍ය අංශ කටයුතු කළා; බැරිවුණා. රාජ්‍ය බුද්ධි අංශ කටයුතු කරා; බැරි වුණා. පොලිසිය විසින් කටයුතු කළා; බැරිවුණා. ඒ පිරිස සාමාන්‍ය ජනතාවගෙන් එහා ගිය පිරිසක් නිසයි ඒ කටයුත්ත කරන්න අපහසු වුණේ. පසුව ජනාධිපතිවරයා ඒ කාර්යය නාවික හමුදාවට පැවරුවා.

නාවික හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් 12 දෙනකු පළමුව ඒ සම්බන්ධව සොයා බැලුවා. පසුව 100ක පමණ නාවික පිරිසක් ගොස් එම පිරිස නිරෝධායනයට රැගෙන යාමට කටයුතු කළා. ඒ අවස්ථාවේදී ඇතැමුන් සිටියේ ගස් උඩ, තවත් අය සැඟව ගිහින්, තවත් අය නිරුවතින් දිව්වා. මේ අය රැගෙන යාම ලෙහෙසි පහසු නොවුණත් එය ඉටු කළා. ඒ අවස්ථාවේදී එක් භටයකුට කෙසේ හෝ මේ වයිරසයේ බලපෑමක් එල්ල වී තිබෙනවා. මෙහෙයුමට සම්බන්ධ වූ සෙසු 111 දෙනාට කිසිදු ප්‍රශ්නයක් වූයේ නැහැ. අපි ඔවුන්ට හැකි උපරිම ආරක්ෂක ක්‍රම ලබා දී තිබෙනවා. ඒ වගේම කඳවුරට ආපසු එන විට විෂබීජහරණය කර ඇතුළු කරන්නේ. නමුත් ඕනෑම දෙයක ඉතාම අඩු සම්භාවිතාවක් තිබෙන්නට පුළුවන්; එම ක්‍රියාවේ සාර්ථකත්වය 100%ක්ම සාර්ථක නොවන. මෙහිදී වුවත් බිම තිබූ කෙළ බිඳකින් හෝ වෙනත් ආකාරයකින් හෝ සපත්තුවේ යම් ස්ථානයක හෝ වෙනත් ආකාරයකින් විෂබීජහරණයට අසු නොවන ලෙස සූක්ෂ්ම ස්ථානයක් ඔස්සේ ඒ වයිසරය ඔහුට ආසාදනය වූවා වන්නට පුළුවන්. එම සෙබළා අනෙක් භට නිවාසයන්ට යාම නිසා ඔහුගෙන් සෙසු පිරිස්වලට මේ රෝගය බෝවී තිබෙනවා.

මේ සිදුවීමෙන් පසුව අද ඇතැම් අය සමස්ත නාවික හමුදාවටම කොරෝනා රෝගය වැළඳී ඇති ලෙසින් බලන්නේ. මහල් නිවාසවල සංගීතය ලබා දී ඔවුන්ගේ මානසික ආතතිය දුරු කරන්නට අප සංගීත කණ්ඩායම් ගිය අවස්ථාවල අත්පුඩි ගහපු අය අද 119 ට කියනවා. ඒක අපේ සෙබළුන්ට හරි මානසික පීඩාවක්. ඇතැම් විද්යුත් මාධ්‍ය පවා සොරුන් මහා අපරාධකරුවන් පෙන්වන ආකාරයෙන් මුහුණු පවා නිරාවරණය වන සේ නාවික භටයන් පෙන්වීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.“

මාධ්‍ය සදාචාරයෙන් ඔබ්බට ගොස් ඇතැම් මාධ්‍ය සිදු කළ ඒ කටයුත්ත මේ වන විට ආරක්ෂක ලේකම්වරයාගේ දැනුම් දීමෙන් නවතා ඇත.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උප‍දෙස් මත කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්ත වීම ආරම්භ විමෙන් පසුව සිදු කර ඇති මෙහෙය අතිමහත් ය. ඒ අනුව මේ වන විට පොදු මහජන ස්ථාන 200කට අධික සංඛ්‍යාවක් විෂබීජහරණයට නාවික හමුදාව විසින් කටයුතු කර ඇත. ඒ අතර දුම්රිය ස්ථාන, සති පොළ, බස් නැවතුම් රෝහල් වැනි රාජ්‍ය ස්ථාන රැසකි.

එමෙන්ම නාවික හමුදාව විසින් රෝහල් රැසක් වෙනුවෙන් රොබෝ යන්ත්‍ර රැසක් නිපදවා මේ වන විට රෝහල් රැසකට ලබා දී තිබේ. එම රෝහල් අතරට නෙවිල් ප්‍රනාන්දු රෝහල, අයිඩීඑච් රෝහලද ඇතුළත් වේ. එමෙන්ම දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවය වැඩි කිරීව පිණිස රාගම, අයිඩීඑච්, නෙවිල් ප්‍රනාන්දුථ කළුබෝවිල ඇතුළු රෝහල් රැසක දැඩි සත්කාර ඒකක වැඩි කිරීම පිණිස රෝහල්වලටම ගොස් එම ඒකක වැඩි කර රෝහල් වෙත ලබා දී තිබේ. රෝහල් කාර්ය මණ්ඩල සඳහා විශේෂ විෂබීජහරණ කුටි ලබා දී ඇත.

කොරෝනා රෝගයට ගොදුරු වීමට ඉඩකඩ ඇති පුද්ගලයින් නිරෝධායනය පිණිස නිරෝධායන ම්‍යස්ථාන 5න් නාවික හමුදාව විසින් මේ වන විටත් පවත්වාගෙන යන අතර එම මධ්‍යස්ථාන 5ම පිහිටා ඇත්තේ නාවික හමුදා කඳවුරු තුළමය. ඒ නාච්චිකුඩා, කල්පිටිය, සාම්පූර්, ඔලුවිල් හා බූස්සේ ය. එම මධ්‍යස්ථානවල නාවික නිලධාරීන් හා සෙසු නිලයන් තමන්ට නිදා ගන්නට ඇති කොට්ට, මෙට්ට සියල්ල මේ වන විට නිරෝධායනය පිණිස පැමිණෙන පිරිස් වෙත පරිත්‍යාග කර තමන්ගේ අවශ්‍යතා පසෙක ලා ඇත.

තමන්ගේ ආහාර වේල එම ජනතාව වෙත ලබා දෙන්නේ වේලාව අවේලාව නොබලා ඔවුන්ගේ අනෙකුත් සියලුම කටයුතු කරන්නේ යුද සමයේ රට රැක ගැන්මේදී ජනතාව වෙනුවෙන් කටයුතු කළ අයුරිනි.

ලෝකයේ කිසිදු රටකින් බාර නොගත් මැග්නිෆියා නෞකාවට අප රට තුළට පැමිණීමට අවසර ලබා දීමටත් එහි සිටි ශ්‍රී ලාංකිකයාට රට තුළට පැමිණීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කරන්නටත් එම නෞකාවේ සිටි හෘදයාබාදයක් වැළඳුණු ජර්මානු කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනීමත් ශ්‍රී ලංකාවට පමණක් නොව ලොවටම නාවික හමුදාව ඉගැන්වූ මානුෂීය පාඩම් ය.

වයෝවෘද්ධ අය විශාල පිරිසකට පසුගිය මස විශ්‍රාම වැටුප ලබා ගන්නට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් පවා ලබා දුන්නේ නාවික හමුදාව විසින් බව දන්නේ සුළු පිරිසකි.

එමෙන්ම ඇඳිරි නීතිය පනවා ඇති මේ මොහොතේ උතුරු දුපත්වල දිවි ගෙවන ජනතාවගේ සියලු අවශ්‍යතා සපුරා ලන්නේ නාවික හමුදාව බව දන්නේ කී දෙනෙක්ද යන්න අපට මතුවන පැනයකි.

විශේෂයෙන්ම එළුයතිවු, අනලතිව් වැනි ජනතාව වැඩි වශයෙන් සිටින දූපත්වල ජනතාවට අවශ්‍ය ඉන්ධන පවා රැගෙන ගොස් දෙන්නේ නාවික හමුදාව විසිනි. හදිසි අවශ්‍යතාවකදී එම ජනතාවට ගොඩබිමට පැමිණෙන්නට මේ අවස්ථාවේ එකම සහායකයා වන්නේ ද නාවික හමුදාවයි.

ඉදිරියේදී යම් රුධිර අවශ්‍යතාවක් මතු වුවහොත් ඒ සඳහාද කල් ඇතිවම සූදානම් විය යුතු යැයි නාවික හමුදාපතිවරයා කල්පනා කෙළේය. ඒ අනුව නාවික හමුදාව විසින් ලේ පරිත්‍යාග කිරීමේ කටයුතු ද බොහෝ දෙනා නොදන්නවා නමුත් අවස්ථා ගණනාවකදී සිදු කර ඇත.

මේ සියලු කටයුතු සිදු කරද්දී මුහුදෙන් සිදු කරනු ලබන මහා පරිමාණ මත් කුඩු ප්‍රවාහනයට එරෙහිව වැට බදින්නටද නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී. මුහුදේ සිදු කරනු ලබන නීති විරෝධී මසුන් ඇල්ලීම මෙන්ම හක් බෙල්ලන් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම වැනි නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධව නාවික හමුදාවෙන් සෑම සතියකම සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගන්නේ ඒ කටයුතුද නොපරිහෙළාම ඉටු කරන නිසාය.

පසුගිය මාස කිහිපය තුළ පමණක් රුපියල් කෝටි 15000ක පමණ මත්කුඩු තොග අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කෙළේ ගැඹුරු මුහුදේ සති දෙකක් පමණ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව සති දෙක තුනක් මුහුදේ සිට එම රාජකාරි සිදු කරන්නට නාවික හමුදාව විසින් කටයුතු කෙළේ කොරෝනා මර්දනයට ගොඩබිම විශාල සටනක් කරද්දී ය.

ඒ කැපවීම කරන්නේ නාවික හමුදාවේ සිටින සාමාජික සාමාජිකාවන් පමණක් නොවේ. ඔවුන්ගේ භාර්යාවන් දරුවන් ඇතුළු සියලු ඤාතීන්ද ඒ සඳහා දායක වෙති. ඔවුහු නාවික හමුදාවේ සාමාජිකයාට තම කටයුතු සිදු කරගෙන යාමට දිරි දෙති. රට රැක ගැන්ම උදෙසා තම උපරිම සහයෝගය ලබා දෙති.

එහෙත් අද වන විට සමාජයේ ඇතැම් පිරිස් අතරින් ලැබෙන ප්‍රතිචාර නම් කනගාටුදායකය.

විශේෂයෙන්ම පසුගිය සතියේ මී උණ රෝගය වැළඳී මිය ගිය නාවික නිලධාරියාට අවසන් ගෞරවය නිසි පරිදි දක්වන්නට නාවික හමුදාවට හැකියාව නොවුණේ රටේ පවත්නා තත්ත්වය මත නිරෝධායන නීති නිසාය. එම සිදුවීම පවා ඇතැම් අය සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් අයුරින් සමාජ ගත කරන්නට කටයුතු කරනු අපට පෙනුණි.

ජීවත්ව සිටියදී මෙන්ම මිය පසුව වුවද ඒ තුළින් නාවික හමුදාවේ නිලධාරීන්ගෙන් සිදු වූයේ අපමණ මෙහෙයකි.

රට රැක ගැන්මට මෙවන් විශාල දායකත්වයක් සපයනු ලබන නාවික හමුදාවට අපගේ සියලු ගෞරව හිමිවය යුතුය. ඔවුන් ඒ සියලු කටයුතු කරන්නේ අප වෙනුවෙන් නිසාය. නාවික හමුදාවට ලැබුණු මුඛ ආවරණ ඇතුළු ආරක්ෂිත ඇඳුම් කට්ටල් ඔවුන් විසින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී ඇත්තේ තමන්ට වඩා ඔවුන් ආරක්ෂා විය යුතු බව පැහැදිලිවම දත් නිසාය.

රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන අය පළමුව ආරක්ෂා විය යුතු බව කල්පනා කිරීමෙනි. ඒ නාවික හමුදාවේ මානුෂිය සිතිවිල්ල කෙතරම් වටින්නේද? එසේම නාවික හමුදාව විසින්ද මේ වන විට විශේෂ ආරක්ෂිත ඇඳුම් මසා ඒවා සෞඛ්‍ය අංශ වෙත ලබා දීමට කටයුතු කරමින් සිටී.

මේ සියලු මෙහෙයුම් අතර එවැනි කාර්යයන්හිද නාවික හමුදාව නියැළී සිටින්නේ සම්පත් සීමිත නිසා එම සම්පත් ප්‍රමාණය වැඩි කළ යුතු හෙයිනි.

මේ ලෙසින් සියලු කටයුතු මැනවින් ක්‍රමවේදයකට අනුව සිදු කරනා නාවික හමුදාවේ කාර්ය සුළුවෙන් සිතීම කිසිසේත්ම කිසිවකුට හෝ කළ නොහැකිය. එහෙත් පුරවැසියන් වශයෙන් අපගේද යුතුකමක් ඇත. ඒ අපත් ආරක්ෂා වී අනුන් ආරක්ෂා වීමය. එසේ කටයුතු කළා නම් නාවික හමුදාවේ සිය ගණනකට අද රෝහල්හි ළඟින්නට සිදු වන්නේ නැත. එහෙයින් නාවික හමුදාවේ මේ කැපවීම අගය කරමින් අප ඔවුන් ධෛර්යවත් කරනවා විනා වචනයකින් හෝ සිත් රිදෙනා ලෙස කටයුතු ද කළහොත් අප පුරවැසි යුතුකම නොව කලගුණ නොදන්න පිරිසක් බවට හංවඩු ගැසෙනු ඇත.

Comments