ඩෙල්ෆ්ට් ලංකාවේ සුන්දරම දූපතයි | සිළුමිණ

ඩෙල්ෆ්ට් ලංකාවේ සුන්දරම දූපතයි

කොරෝනා වසංගතය නිසා කැමති වුණත් අකමැත් වුණත් දැන් අපි හැමෝම සිටින්නේ නිවාස අඩස්සියේ ය. වෙනදා තිබුණු විනෝදය අද අපට නැත. ඊට දුප්පත් පොහොසත් භේදයක්, ආගමක්, ජාතියක්, කුල භේදයක් නොමැත. අපේ සතුට සොයාගෙන අද අප යන්නේ රූපවාහිනිය ළඟට; නැත්තම් දුරකථනය ළඟට ය. ඇතමෙකු තෘප්තිය සොයා පොත පත පෙරළනවා විය හැකිය. ඒ කොහොම වෙතත් අපේ ජීවිතයට තෘප්තිය අවශ්‍යය. ඊට මේතරම් මිලක් අප ගෙවන්නේ එනිසා ය. එහෙත් කිසියම් මොහොතක මේ සියල්ල ඒකාකාරී බව හැඟී යා හැකිය. තෘප්තියේ හැටි එහෙමය. මේ අතෘප්ති කර හැඟීමෙන් පළා යාමට වෙහෙසෙන අපට “ට්‍රිප් එකක් ගියා නම් හොඳයි” කියා සිතෙන වාර අනන්තය. මේ විදියට ඒකාකාරී පැවැත්මකට කොටුවෙලා සිටින වෙලාවක ‍ඒ විදියේ මතක අතර තනිවෙන්න ඇත්නම් එය ද මහත් අස්වැසිල්ලකි.

 

මේ වසංගත සමය නිමා වූ පසු යන්නට අපි ඔබට සුන්දර දූපතක් ගැන කියන්නට සිතුවෙමු. ඒ අප දන්නා පරිසරයට හාත්පසින් ම වෙනස් පරිසරයකි. උතුරු පළාතට අයත් දූපත් සමූහය අතර ලක්මවට අයත් ඉතා මනරම් භූමිභාගයකට උරුමකම් කියන නෙඩුන්තිව් හෙවත් ඩෙල්ෆ්, අනෙක් දූපත් දහනවය අතර විශාලත්වයෙන් තුන්වැනියා ය. ඒ අනලතිව්, චිරුතිව් හෙවත් සිරුතිව්, එලුවයිතිව්, කුච්චතිව්, කාරතිව්, කනන්තිව්, කරයිතිව්, කයිට්‌ස්‌, කුරිකඩ්ඩුවන්, මන්ඩතිව්, නඩුතුරුතිව්, නයිනතිව් හෙවත් නාගදීප, පලායිතිව්, පරට්‌ටිතිව්, පුලියන්තිව්, පුන්ගුඩතිව් හා තෝරට්‌ට පූට්‌ටු යන දූපත්වලට සාපේක්ෂවය.

මේ දූපත් සමූහය අතීතයේ දී සිංහල රාජ්‍යය යේ අණසකට නතුව පැවණි. 1638 මැයි මස 18 වැනි දින මඩකලපුව කොටුව ලන්දේසීන් විසින් අල්ලා ගනීමත් සමඟ රසික්‌ලොප් වෑන් හොයන්ස්‌ නම් සෙනෙවියා යටතේ ක්‍රියාත්මක වූ හමුදා කණ්‌ඩය විසින් මන්නාරම, යාපනය යන බලකොටු අල්ලා ගැනීමට සැලසුම් සකස් කළේය. 1658 දී ලන්දේසීන් විසින් මහත් පරිශ්‍රමයක් යොදා යාපනය කොටුව අල්ලා ගත්තේය. යාපනය අර්ධද්වීපයේ බලය තහවුරු කිරීමත් සමඟ දූපත් සමූහයේ බලය ද ඔවුන් සතුවිය.

රමණීය සුන්දර වටපිටාවක්ට උරුමකම් කියන මේ දූපත් සමූහය අතරින් ඩෙල්ෆ්ට්‌ දූපත වඩා චිත්තාකර්ෂණීය දූපතකි. මෙය දමිළ බසින් නෙඩුන්තිව් යනුවෙන් හැඳින් වේ. වර්ග කිලෝමීටර් 50ක වපසරියකින් යුතු මේ දූපත දිගින් කිලෝමීටර් 08ක්‌ පමණ වේ. පළලින් කිලෝමීටර් 06ක්‌ පමණවන මෙම දූපත ලන්දේසීන් විසින් හැඳින් වූයේ ඩෙල්ෆ්ට්‌ (Delft) යනුවෙනි. ඩෙල්ෆ්ට්‌ යනු එදා ඕලන්දයේ පිහිටි නගරයකි. යාපනය අර්ධද්වීපයේ බටහිර දෙසින් පිහිටා ඇති මේ දූපත ඉලිප්සියාකාර හැඩයකින් යුක්තය. තැනිතලා බිමක්‌ සහිත මෙය වගුරු බිම්වලින් සුසැදි මනරම් වෙරළ තීරයකට උරුම කම් කියන්නකි. වැලි සහ හුණුගල් සහිත පසක්‌ ඇති මෙහි තිබෙන පාෂාණ මයෝසීන යුගයට අයත් බව පැවසෙයි.

විවිධ ප්‍රමාණයේ විවිධ හැඩයෙන් යුත් හුණගල් තට්ටු දූපත පුරා ම තැන තැන විසිරි ඇත. මෙය ඩෙල්ෆ් හී කිසියම් අනන්‍යතා ලක්ෂණයක් ප්‍රකට කරන්නක් සේ හැඳින්විය හැකිය. මෙහි තිබෙන ඉපැරැණි ගොඩනැඟිලි හුණුගල්වලින් තනා තිබීම ද ඊට දෙස් දෙයි. නටබුන්ව ගිය පැරැණි ඕලන්ද බළකොටුව මීට කදිම නිදසුනකි. ඕලන්ද සමයේ අශ්වයන් පුහුණු කිරීමට හා උන් රඳවා තැබීමට සකස් කළ අශ්ව ඉස්‌තාලය ද ගොඩනඟා ඇත්තේ යෝධ හුණුගලිනි. පරිපූර්ණව නැතත් අදත් මෙහි ඕලන්ද සමයේ ඉදි කළ ගරා වැටුණු ගොඩනැඟිලි නටබුන් තැන තැන දැකිය හැකිය. ඒ අතර ඇති පරවි තැපෑල කාගෙත් සිත් ගන්න කි. එකල නැව්වලට හා වෙනත් ස්ථානවලට බොහෝ විට පණිවිඩ රැගෙන යන්නේ මේ පරෙවි තැපෑල මඟිනි.

ඩෙල්ෆ්ට්‌ වැසියන් හුණුගල්වලින් උපරිමයෙන් ප්‍රයෝජන ගැනීමට රුසියෝ ය. සමහරක් තැනක තල් අතු යොදාගනිමින් සිය මායිම සලකුණු කර තිබුණ ද බොහෝදෙනා තම ඉඩම් වෙන් කරගෙන ඇත්තේ හුණුගල් එකපිට එක තබා අලංකාරව ඉදි කළ උසැති හුණුගල් තාප්පවලිනි. මෙය ද ඩෙල්ෆ්ට්‌ දූපතේ අනන්‍යතාව ප්‍රකට කරන්නකි.

ලන්දේසීන් මේ දූපත අල්ලා ගැනීමට ප්‍රථම එය චිත්තාකර්ෂණීය මල් උයනක් වූ බව ඓතිහාස තොරතුරුවලින් අනාවරණය වේ. එකල මෙම මල් උයන පාලනය කර ඇත්තේ වීදියරසන් නම් දකුණු ඉන්දිය මුහුදු කොල්ලකරුවෙකි. දූපතේ වැව් දෙකක්‌ ඔහු විසින් සාද ඇත. හෙතෙම මෙහි විසූ වැසියන් හා එක්ව සුකුමාර ජීවිතයක්‌ ගත කර ඇත. පසුව මෙහි පැමිණි තන්නායම් මුදලි නම් දමිළ නායකයකු විසින් වීදියරසන් ඝාතනය කර දූපත අල්ලාගෙන ඇත. ඉන් අනතුරුව පෘතුගීසීන් විසින් දූපත අල්ලා ගත් අතර, පසුව එය ලන්දේසීන් අතට පත් විය.

අතීත තතු එසේ වුවත් අද මෙහි නිවසන බොහෝ දෙනා ගතකරන්නේ සරල ජීවන පැවැත්මකි. ඔවුන්ට නාගරක ජනයාට මෙන් අහස උසට ඉදිවුණු බලාපොරොත්තු නැත. මින් බොහෝදෙනා දෙමළ ජාතිකයන් වේ. ආගමික වශයෙන් ගත් කල ක්‍රිස්‌තියානි මෙන්ම හින්දු ආගමිකයින් ද මේ අතර වෙති. පැරැණි හින්දු කෝවිලක්‌ හා දැනට ඉදි කරගෙන යන හින්දු කෝවිලක්‌ තිබෙන අතර දකුණු ඉන්දියානු සභාවට අයත් පල්ලියක්‌ හා ක්‍රිස්‌තියානි පල්ලියක්‌ ද මෙහි ඇත.

තල් අතු පැලක් හෝ හුණුගලින් බැඳි කුඩා නිවසක් හැරුණු කොට මනා ලෙස ඉදිවුණු නිවාස මෙහි නැති තරම්ය. ආගන්තුක සත්කාරයෙන් පොහොසත් මේ ජනතාවගේ ප්‍රධාන ජිවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි. විශේෂයෙන්ම කරවල වේලීම මොවුන්ගේ ජීවන වෘත්තිය බවට පත්ව තිබේ. දැඩිව සූර්ය තාපය මේ දූපතට පතිත වීම ඊට හේතුව වන්නට ඇත.

ඩෙල්ෆ් හී වැඩෙන ප්‍රධාන බෝගය තල්ගස්‌ ය. තල් මලෙන් පෙරා ගන්නා රා ඩෙල්ෆ්ට්‌ වැසියන් ගේ ප්‍රියතම පානය යි. මිශ්‍ර ශුෂ්ක වියළි ඝර්මකලාපීය (Semi arid tropical type) වන වැස්මක් දූපත පුරා පැතිර තිබේ. දූපතේ බොහෝ පෙදෙස්‌ තල් ගසින් පිරී වනාන්තර ස්‌වභාවයක්‌ ගනී. තල් ආශ්‍රිත නිෂ්පාදන ද සිදු කෙරෙයි. තල් හැරුණු කොට සරු පොල් වගාවක්‌ ඩෙල්ෆ්ට්‌ දූපත සතු ය. තැනිතලා බිම්වල පඳුරු සහිත කැළෑ දක්‌නට ලැබේ.

හුණුගල් සහිත පසක්‌ දූපත පුරා ම පැතිරී තිබෙන නිසා මෙහි ජලය දැඩි කිවුල් ස්‌වභාවයක්‌ ගනී. එනිසා දූපතේ නිවසන ජනයාට අවශ්‍ය පානීය ජලය ලබාදීමට නාවික හමුදාව ක්‍රියා කරයි. දවසේ වෙන් කර ගත් වේලාවන්වලදී ජලය ලබා ගැනීමට ජනයා පෝලිම් ගැසී සිටිනයුරු අප කැමරා කාචයේද සටහන් විය.

මෙහි බහුලව දක්‌නට ලැබෙන තල් සහ පොල් ගස් හැරුණු කොට නුග, හීරැස්ස, ගංසූරිය, මිනීමල් හා කෝමාරිකා ආදී ශාක වර්ග දැකිය හැකිය. වෙරළ ආශ්‍රිතව හා දූපත මධ්‍යයේ කෝමාරිකා ශාකය සරුවට වැඩී තිබේ. එකල රන්වන් කෝමාරිකා මෙම දූපතේ බහුලව තිබූ බවත් දැන් ඒවා ක්‍රමයෙන් වඳවී ඇති බවත් ගම්මුන් පවසති. මීට අමතරව වෙරළ ආශ්‍රිතව කටු ඉකිලි, මූහුදු බිං තඹුරු, මුඩුමහන, නාග දරණ වැනි ශාක වර්ග ද දැකිය හැකිය.

ඩෙල්ෆ්ට්‌ දූපතේ දැකිය හැකි එක් රමණීය දර්ශනයක් වන්නේ විවෘත තණබිම්වල හා වගුරු සහිත විල්ලු ප්‍රදේශවල සැරිසරන කැළෑ පෝනියන් ය. මෙහි පෝනි විශේෂ කීපයක්‌ ම රංචු වශයෙන් ගැවසී සිටිති. ඕලන්ද පාලන සමයේ දී ඩෙල්ෆ්ට්‌ දූපතට මේ සත්වයින් ගෙන ආ බව පැවසෙතත්, මේ ඇති සෙල් ලිපියට අනුව යාපනයත් ඊට අයත් දූපත් සමූහයත් මහා පරාක්‍රමබාහු රජතුමා ගේ අණසකට යටත් ව තිබී ඇත. සෙල් ලිපියේ සඳහන්වන ආකාරය ඇතුන් හා අසුන් හුවමාරුවක්‌ හෝ වෙළෙඳාමක්‌ හෝ සිදු කර ඇති බැව් පැහැදිලි වේ. මහා පරාක්‍රමබාහු රජ දවස ඩෙල්ෆ්ට්‌ දූපත නැව් තොටක්‌ වශයෙන් යොදාගන්නට ඇතැයි මෙනිසා සිතිය හැකිය. අද මෙහි වෙසෙන පෝනියන් එදා නැව්වලින් මෙරටට ගෙන ආ සතුන් ගෙන් පැවත එන්නන් බව අපට අනුමාන කළ හැකි ය.

සමහර විට ඕලන්ද යුගයේ දී මේ පෝනියන් ගෙන් කිසියම් ප්‍රයෝජනයක්‌ ගැනීම නිසා පසුව ඔවුන් විසින් දූපතට මොවුන් රැගෙන ආ බවට ජනප්‍රවාද ගතවන්නට ඇත. පෝනියන් පුහුණු කළ හා උන් රඳවා තැබීමට සකස් කළ ස්ථාලවල නටබුන් අදත් ශේෂව පැවතීම, මොවුන් විවිධ කටයුතු සඳහා යොදාගත් බව පෙන්වන කදිම නිදසුනකි. දිගු කලක්‌ මේ පෝනි විශේෂය ඩෙල්ෆ් දූපතට පමණක් සීමා වී ජීවත් වීමත් වෙනත් විශේෂයකට මුහුන් නො වීමත් හේතුවෙන් උන් විශේෂ ජාන දර්ශයක්‌ බවට පත් වී පැවත එයි. මේ සත්වයින් පිළිබඳව කිසිදු පර්යේෂණයක්‌ මේ වන තෙක්‌ සිදු කර නොමැති වීම අභාග්‍යකි. විදේශ සංචාරකයින් ආකර්ෂණය කළ හැකි මෙවැනි දූපත් රටට මහත් සම්පතකි. එසේ වුවත් මෙහි පරිසරය විනාශ කර සුඛෝපබෝගී හෝටල් ඉදි කිරීම නම් සුදුසු නොවන්නකි. ඉන් මෙහි පවතින චාම් ගැමි ජීවන පැවැත්ම පමණක් නොව මේ ස්වභාවික පරිසරයද අභාවයට යා හැකිය.

අප මවිත කරවන තරමේ යෝද පා සටහනක් මේ දූපතේ තැනක පිහිටා ඇත. එහෙත් එය කවරකු විසින් සිතාමතා නිර්මාණය කළ පා සටහනක්ද නැතිනම් ඔවුන්ගේ ජනප්‍රවාදගත යෝද මිනිසාගේ පා සටහනක් ද යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකිය. අඩි 1 1/2ක පමණ දිගින් යුත් මේ යෝධ පතුල් සටහන ආදම් ගේ පාදය කියාද ඇතමකු හඳුන්වයි. එහෙත් එහි පැමිණෙන මහමදිකයකු අප ඇසගැටුනේ නැත.

මෙහි පොළොවෙන් අඩි පහමාරක්‌ පමණ උසට මතු වූ හුණු ගල් පාෂාණයක්‌ ඇත. මෙය වැඩෙනගල යනුවෙන් දූපත් වැසියෝ හඳුන්වති. එය දිනෙන් දින වැඩෙන බව ඔවුන්ගේ මතයයි. මෙහි වැඩීම ඉතා ම සුලුවශයෙන් සිදුවන බව පවසන වයෝවෘද්ධ ගම් වැසියකු; තමන් කුඩා සන්දියේදී අඩි තුනාහමාරක් හතරක් පමණ උසට පැවති මෙම ගල ක්‍රමයෙන් මේ ලෙස වැඩිවර්ධනය වී ඇති බව පසවයි. මෙනිසා එයට කිසියම් අදෘශ්‍යමාන බලයක් ආරෝපණය කරන ගම්වැසියන් ඊට වැඳුම් පිදුම් කරති.

එසේම මෙහි මහා වනස්පතියකු වෙයි. මෙම යෝධ බයෝ බැබ් ගස (Adansonia dligitata) ඩෙල්ෆ්ට්‌ දූපතේ අනන්‍යතා ලක්‌ෂණයකි. මේ ගස වට අඩි 20ක පමණ විශාලත්වයකින් යුක්තය. ගස මැද ස්‌වාභාවිකව බෙනයක් පිහිටා ඇත. එහි උස අඩි 10ක්‌ පමණ වේ. මේ තුළ කිහිපදෙනකුට පහසුවෙන් සිටිය හැකිය. මෙවැනි බයෝබැක්‌ ගස්‌ බොහොමයක් ඕලන්ද පාලන සමයේ අශ්වයන්ට ආහාර පිණිස ගෙනා බව ගම්මුන් පවසති. එහෙත් ඉන් මෙය පමණක් ඉතිරිව ඇත.

දූපතේ ඉදිව ඇති අපූරු ළිං හත එහි අතීත වැසියන් ගේ කුල බේදය කියාපාන්නකි. උසස්‌ කුලවත් අයට වෙන් වූ මේ ළිං හත මුහුදු තීරය ආසන්නයේ පිහිටා ඇත. එසේ වුවත් එහි කරදිය වෙනුවට මිරිදිය තිබීම වෙසෙස් වූවකි. තාරුණ්‍යය දිගු කලක්‌ රැඳවා තබාගැනීමට මේ ළිං හතෙන්ම ස්නානය කළ යුතු බව ජනප්‍රවාදිතය. සමහර විට මේ ළිං හතෙන් ස්‌නානය කිරීම උසස්‌ යැයි සම්මත කුලවලට පමණක්‌ සීමා වූයේ මේ හේතුව නිසා වන්නට ඇත.

සංචාරක පක්‍ෂීන් ගේ නිජබිමක් වන මේ දූපත එවන් කාලවල දී විවිධ විශේෂවලට අයත් පක්‍ෂීන්ගෙන් පිරී යයි. දූපතට ආවේණික වූ වෙනම නේවාසික පක්ෂි විශේෂයක් හඳුනා ගත නොහැකි වුවද මුහුදු උකුස්සන්, කපුටන් හා මයිනන් මේ දූපත පුරා සරන ආකාරය අපට දැකගත හැකි විය. මීට අමතරව මුහුදු බෙල්ලන් නිදැල්ලේ සරන ගව රංචු සහ එළුවන් සුලබව දැකිය හැකිය. මේ සතුන්ට අයිතිකරුවන් සිටියද කිරිදෙනක පමණක්‌ ගෙවත්තේ ගැටගසා කිරි දොවා ගැනීම පමණක්‌ සිදු කෙරේ. උන්ට නිදැල්ලේ සැරීමට ඉඩදීම දූපත් වැසියන් කැමැත්තය. මෙම දූපතේ වැලි පොළඟුන් බහුලව සිටිති.

මෙ දූපතේ ඓතිහාසික උරුමය සොයා බලන විට එහි අතීත බෞද්ධ උරුමය පෙන්වන බෞද්ධ ස්‌ථූප තුනක නටබුන් දක්‌නට ඇත. පුරාවිද්‍යාත්මක සාක්‌ෂිවලට අනුව අතීතයේ දී යාපනය අර්ධද්වීපය පුරා ම බෞද්ධ සංස්‌කෘතිය පැතිරී තිබුණු බැව් මින් පැහැදිලි ය. අතීතයේ බුදුන් සරණ ගිය නාගයින් මොවුන් විය හැකිය. පසුකාලීනව විවිධ ආක්‍රමණ හමුවේ අද පවතින වෙනස් කම් ඇති වී තිබේ. ඓතිහාසික මූලාශ්‍ර වශයෙන් ගැනෙන දීපවංශ හා මහාවංශය කරුණු දක්වන ආකාරයට ක්‍රි.පූ. තුන්වැනි සියවසේ මහින්දාගමන සිදුවන විටත් යාපනය අර්ධද්වීපයේ බුදු දහම පැතිරී තිබුණි. එයින්ද ගම්‍ය වන්නේ මෙහි සිටි වැසියන් නාගයින් බවට සැක කළ හැකි බවයි. මෙයට යාබදව ඇති නාගදීපයද ඊට දෙස් දෙයි. දුටුගැමුණු කතාවේ පෙනෙන ජයසේන නාගකන්‍යාව හා පෙමින් වෙළී සිටි මල් උයන මෙය විය හැකිය. නාගකන්‍යාවගේ රුවට ලොබ බැඳ ජයසේන මරා, ඇගේ අවසරය නොමැතිව රජු ඇය හා සමහන් සුව විඳි ඇත. පසුව නාග ගෝත්‍රිකයින් රජු ඝාතනය කිරීමට කටයුතු කළ බව සඳහන් වේ. ධාතුන්හන්සේලා නාගලෝකයෙන් ලබාගැනීමට රජු ක්‍රියා කිරීම මේ වෛරයට හේතු වූ බවද ඇතැම් තැනක දැක්වේ.

දිනක මේ රමණීය දූපතට ඔබත් ඇවිත් යන්න එන්න. ඔබේ හෘදයාංගම බව හා පාසටහන් හැර වෙනත් කිසිවක් එහි තබා නොඑන්න.

Comments