කෝපි කඩේ අප්පුවා රංගභූමිය හැර යයි | සිළුමිණ

කෝපි කඩේ අප්පුවා රංගභූමිය හැර යයි

අප ජීවත් වන්නේ රංග භූමියකය. රංගනයට හිමි කාල පරිච්ඡේදය අවසන් වන්නේ කෙදිනක කවරෙකුට හෝ වේවා ඒ සියල්ලෝම රංග භූමියට සමුදී යායුතුව තිබේ. ඒ සඳහා උස්මිටිකම්, දුප්පත් පොහොසත් ⁣භේද නැත. එය සියල්ලන්ටම පොදුය. ලෝකය බිහිවූ දා සිට ක්‍රමිකව සිදු වෙමින් පවතින්නේත් මේ මොහොතේ වෙමින් පවතින්නේත් එයයි. යම් තරමකින් හෝ අහිමිවීම් සමාජයට දැනෙන්නේ ජනප්‍රිය එසේත් නැත්නම් යම් ක්ෂේත්‍රයක සලකුණු ගත චරිතයක් එම රංග භූමිය හැරදා ගිය විටකදීය. ශී ලාල් අබේකෝන් එසේත් නැති නම් කෝපි කඩේ අප්පුවා ද මේ මොහොතේ රංගභූමියේ හැරදා ගොස් අවසන්ය.

ශී ලාල් අබේකෝන් වඩාත් ජනප්‍රිය වූයේ කෝපි කඩේ ටෙලි නාට්‍යයේ අප්පුවාගේ චරිතයෙනි. 1987 ඇරඹි කෝපි කඩේ ටෙලිනාට්‍යය ද මේ වන විට දීර්ඝතම ටෙලි නාට්‍යය ලෙසින් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

ශ්‍රීලාල් ටෙලිනාට්‍ය හා චිත්‍රපට සඳහා රංගනයෙන් සම්බන්ධ වූවාට අමතරව ගීත ගායනයෙන්ද තම හැකියාවන් පෙන්වා කැසට්පටද නිකුත් කිරීමට සමත් විය. එමෙන්ම සංදර්ශන වේදිකාවට ද ඔහු තම හැකියාවන්ට ගෙන ගොස් තිබුණේ ය. ඔහු අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විදුහලිනි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව කලාව හා සම්බන්ධ වී සිටි ඔහුට ජනප්‍රියත්වය ලබා දුන්නේ කෝපිකඩේ ටෙලි නාට්‍යය හා සම්බන්ධවීමෙනි. කෙසේ වෙතත් කාලයක් තිස්සේ රෝගාතුරව සිටි ශ්‍රී ලාල් හට වරින් වර රෝහල්ගත වන්නට සිදුවිය අඹේපුස්ස බෝතලේ පහළගම පදිංචිව සිටි ඔහු පසුගිය මාස දෙකේ දී දැඩි ලෙස රෝගාතුර විය.

ඒ අවස්ථාවකදීම වතුපිටිවල හා රාගම රෝහලේ ප්‍රතිකාර ලබාගන්නට ඔහුට සිදුවිය.

කෙසේ වෙතත් මිය යෑමට දින පහකට ප්‍රථම ද රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවෙස වෙත ගිය ඔහු යළිත් පසුගිය16 වන දා රෝහල්ගත කිරීමේදී මිය ගියේය. ශ්‍රී ලාල් අබේකෝන් එසේත් නැත්නම් බොහෝ දෙනෙක් හඳුනන කෝපිකඩේ අප්පුවාගේ ජීවන ගමනේ අවසානය එසේ සිදුවිය.

ශ්‍රීලාල් කෝපි කඩේ ටෙලි නාට්‍යයට රංගනයෙන් සම්බන්ධ වී සිටි ලොකු හාමිනේ, සොමි නෝනා, සාමෙල් අප්පුහාමි සොයා එහි ගමන් අරඹන්නට ඇත. එසේත් නැතිනම් රත්නෙ ළමයා ,එන්සිනා හමුවී සුවදුක් සොයා ගියා වන්නට ද පිළිවන.

පොලී මුදලාලි, අබිලින් සමග අලුත් විස්තර කතාබස් කිරීමේ ආශාවක් උපන්නා වන්නටද පිළිවන. කෙසේ වෙතත් ශ්‍රීලාල් අබේකෝන් - කෝපි කඩේ අප්පුවාද දැන් මේ සියලු දෙනා මෙන් කෝපි කඩය හැරදා ගොස් අවසන්ය.

Comments