කොරෝනාවෙන් අසරණ වූ බුද්ධ පුත්‍රයන් සොයා ගිය ගමන | සිළුමිණ

කොරෝනාවෙන් අසරණ වූ බුද්ධ පුත්‍රයන් සොයා ගිය ගමන

අද දවසේ අප ගෙවා දමන්නේ ඉතා අසීරු කාල පරිච්ජේදයකි. දුර්භික්‍ෂ,දරුණු සාගත නැති වුවත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම උදෙසා රජය ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් බොහෝ දෙනකුට එදා වේල සොයා ගැනීමට අපහසු වී තිබේ. එදිනෙදා ජීවනෝපාය අහිමි වී තිබේ. මෙම වාතාවරණය මධ්‍යයේ පිඩාවට පත් වී සිටින්නේ සාමාන්‍ය ජනතාව පමණක් නොවේ. භික්ෂුන් වහන්සේලාද දුෂ්කරතාවට පත් වී සිටින්නේ උන්වහන්සේලාට දානමාන ලැබෙන්නේ සැදැහැති බෞද්ධ ජනයාගෙන් වන නිසාය. ජනතාව පිඩාවට පත්වන කල්හි උන්වහන්සේලාද පීඩාවට පත්වෙති. ජනතාව සුඛිත මුදිත වන විට භික්ෂුන්වහන්සේලා ද සුඛිත මුදිත දිවි පෙවෙතක් ගත කරති.

2019 වර්ෂය අවසාන වන විට දිවයින පුරා විහාරස්ථාන 9962 ක් ලියාපදිංචි වී තිබේ. සමස්ත භික්ෂුන්වහන්සේලා ගණන 40,595 කි. එයින් සාමණේර භික්ෂුන්වහන්සේලා 21,015 ක් සහ උපසම්පදා භික්ෂුන්වහන්සේලා සංඛ්‍යාව 19,580 කි. එමෙන්ම දස සිල් මාතාවෝ 2,161 දෙනෙක් දිවයින පුරා සිටිති. ගමින් ගමට රතන සුත්‍රය දේශනා කරමින් ජනතාවගේ රෝග බිය තුරන් කිරීමට වෙහෙසෙන භික්ෂුන්වහන්සේලාගේ කුසගින්න නිවා ගැනීමට දරන ප්‍රයත්නය පිළිබඳව විමසා බැලීමට තීරණය කළේ වරක් බුදුරජුන්ට වේරංජාපුර වස් ආරාධනා කළ බමුණකුට දරුණු සාගතය සමඟ ඇරයුම අමතක වී ගිය ආකාරයට අපට දරුණු ව්‍යසනයකදී සංඝ සමාජය අමතක කර දැමිය නොහැකි නිසාය.

“මෙහේ පිරිවෙන තියෙන නිසා හාමුදුරුවරු තිස් නමක් විතර වැඩ සිටිනවා. අපි පුළුවන් විදිහට ඉවුම් පිහුම් කටයුතු සිදු කර ගන්නවා. මේ ප්‍රදේශයේ අය ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒ අයට ආර්ථික දුෂ්කරතා තිබෙන බව මම දන්නවා. එහෙම තත්ත්වයක ඉඳගෙන මම ගමේ අයගෙන් දානේ ගන්නේ කොහොමද? ඒ නිසා මම සලාක දාන නතර කළා. අපි අතේ තියෙන මුදල් වලින් බඩු මුට්ටු මිලදී ගන්නවා යනුවෙන් සඳහන් කළේ බිබිල කොකුන්නෑව පිරිවෙණාධිපති නින්දගල්ලේ ගුණාලංකාර හිමියන් ය. මේ වන විට බිබිල අයත් වන මොනරාගල දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය ලිහිල් කර ඇති නිසා යම් සහනයක් ලැබී තිබේ. ප්‍රදේශවාසීහු යථා තත්ත්වයට එසේත් නැතිනම් සාමාන්‍ය ජීවිතයට පත් වෙමින් සිටිති.

“ඇඳිරි නීතිය පවතින අවස්ථාවල දායකයන්ට දානේ අරගෙන පන්සල් වලට යන්න එන්න කරදරයි. ඒ වගේම පුද්ගලයන් එකතු වීම වළක්වලා සමාජ දුරස්ථභාවය තියාගන්න ඕනෑ. ඒ නිසා පොලිස්පතිතුමා නිවේදනයක් නිකුත් කර තිබෙනවා පිසූ ආහාර වෙනුවට වියළි ආහාර ගන්න කියලා. ඒ දායකයන්ගේ ගෙවල්වලට පන්සලේ උදව්වට ඉන්න කෙනෙකුව යවන්න ඕනෑ; වියළි ආහාර ද්‍රව්‍ය ගෙනෙන්න. පන්සලේ උදව්වට ඉන්න කෙනාට යන්න ඇඳිරි නීති අවසර පත්‍රයක් දීලා තියෙනවා. ඒ නිසා ඒ විදිහට දානේ තියෙන දායකයන්ගේ ගෙවල්වලට ගිහින් වියළි ආහාර ද්‍රව්‍ය අරන් එනවා.

ඒත් ඒ අය දානේ දෙන්නේ හරි අමාරුවෙන්. දායකයෝ බොහෝ දෙනෙක් පුළුවන් හැටියට උදව් කරනවා. සමහරු ශ්‍රද්ධාව නිසා අපිට දුරකතනයෙන් කතා කරලා අහනවා. ඒ වුණත් ඒ අයට ගේන්න ශක්තියක් නැහැ.” යනුවෙන් රත්නපුර මල්වල ශ්‍රී කල්‍යාණරාම විහාරාධිපති සහ ශ්‍රී ඥානානන්ද මහ පිරිවේනාධිපති, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් ) දිවියාගල විජිතසීහ හිමියන් පැවැසුහ. රත්නපුර මල්වල ශ්‍රී කල්‍යාණරාම පිරිවෙනේ භික්ෂුන් 35 – 40 ක පිරිසක් අධ්‍යාපනය ලැබුවද මේ වන විට බොහෝ පිරිසක් ගමේ පන්සලට ගොස් බැවින් දැනට එහි වාසය කරන්නේ 10 ක් වැනි සුළු පිරිසකි. එය ගම්වාසීන්ට යම් පහසුවක්, සහනයක් වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නවලපිටියේ අනුරාධා සුදම්මිකා මෙහෙණින්වහන්සේ පවා සඳහන් කළේ ඇගේ අතේ ඇති මුදලින් පාරේ යන ලොරි රථවලින් අවශ්‍ය කළමනා මිලදී ගන්නා බවය. ඈ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සේවය කළද ඇගේ මෙහෙණවර පිහිටා තිබෙන්නේ පාදුක්ක මීපේ ප්‍රදේශයට අයත් උග්ගල්ල ග්‍රාමයේ ය . “ ගම ළඟ සිටින දායකයෝ නම් පිසූ ආහාර දානය හැටියට ගෙනත් පූජා කරනවා. තවත් පිරිසක් වියළි ආහාර ද්‍රව්‍ය දානය හැටියට පූජා කරනවා

උග්ගල්ල අභිනව මෙහෙණවරාමයේ පින්කමක් මාර්තු 15 වැනි දින පැවැත්වූ බැවින් ඊට රැගෙන ආ සහල් කිලෝ ගණනින් ඉතිරි ව තිබීම මෙහෙණින්වහන්සේලාට වාසියක් වූ බව තවදුරටත් ඈ සඳහන් කළේ මාර්තු 20 වැනි දින සිට කොළඹ දිස්ත්‍රික්කයට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නිසාය. දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද ගම වැසියන් ආරාමයේ සිටින මෙහෙණින්වහන්සේලා තිදෙනා ගැන සොයා බැලීම ගැන කෘතඥතා පූර්වකව සඳහන් කිරීමට අමතක කළේ නැත.

ගම්වැසියන් එළවළු කොරටු වලින් නෙළා ගන්නා අස්වැන්නෙන් කොටසක් පන්සලට පූජා කරමින් රැක බලා ගන්නා ආරාමයක් පිළිබඳව අපට අසන්නට ලැබුණේ හොරණට නුදුරුව පෝරුවදණ්ඩ ප්‍රදේශයෙනි. පෝරුවදණ්ඩ කොස්හේනේ සිරිධම්ම ආරාමයේ වාසය කරන කුට්ටියගොල්ලේ සුචිත්‍රා මෙහෙණිය ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසිනි.“

මේ ප්‍රදේශයේ වගා කරන අය ඉන්නවා. ගොවිතැනට ඇඳිරි නීතියෙන් බාධාවක් නැහැනේ. ඒ නිසා එයාලගේ වගා බිම් වලින් කොටසක් අපිට ගෙනත් දෙනවා. සමහර එළවළු ලොරි විකුණන්න යන ගමන් අපිට බඩු මල්ලක් දීලා යනවා.මීට අමතරව සමෘද්ධි නිලධාරින් විසින් රු : 5000 ක් සහ වියළි ආහාර මල්ලක් ලබා දුන් බවද කුට්ටියගොල්ලේ සුචිත්‍රා මෙහෙණින්වහන්සේ පැවසුවාය.

බොහෝ භික්ෂුන් සහ මෙහෙණියන් විහාරස්ථ දායක දායිකාවන් සහ ගම්වාසින් විසින් රැක බලාගන්නා කතා පුවත් අතරේදී ශාසනාරක්‍ෂක බල මණ්ඩලයක් විසින් එකී මණ්ඩලයට අයත් පන්සල්වල භික්ෂුන් රැක බලා ගැනීමේ පුවතක්ද අපට දැනගන්නට ලැබිණි. ඒ පාණදුර දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයයි. ඒ බව අපට විස්තර කළේ පාණදුර නල්ලුරුව ගලවැලිමෝදර පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මාරාමයේ අධිපති අනුරපුර සිරි සුමේධ හිමි විසිනි.

“පාණදුර දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයට පන්සල් 30 ක් අයිතියි. මේ පන්සල් 30 ම හාල්, පිටි, සීනි, කිරි පිටි, තේ කොළ,පරිප්පු වගේ වියළි ආහාර ද්‍රව්‍ය මලු බෙදා දුන්නා. ඒ නිසා මේ පැත්තේ පන්සල් වලට දාන සම්බන්ධයෙන් ලොකු ගැටලු මතු වුණේ නැහැ” නල්ලුරුව ගලවැලිමෝදර පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මාරාමාධිපති අනුරපුර සිරි සුමේධ හිමියෝ ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කළහ.

මේ අතරවාරයේදී ජා - ඇල නගර මධ්‍යයේ පිහිටි බෝරජ වෙහෙර විහාරාධිපති කුරුපනාවේ විමලානන්ද හිමියන්ගෙන් තොරතුරු විමසුවේ කරුණු කීපයක් නිසාය. ඉන් ප්‍රධාන කරුණ වන්නේ බෝරජ වෙහෙර ජා - ඇල නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගයෙන් පිවිසෙන ආකාරයට පිහිටි බැවින් ප්‍රධාන මාර්ගයෙන් බැහැරට පන්සලට පිවිසීමට නොහැකි වීමය. දෙවැන්න වන්නේ බෝරජ වෙහෙර ආසන්නයේ ඇළ මාර්ගය අයිනෙන් විහාරය ආසන්නයෙන් වැටී තිබෙන අතුරු මාර්ගය දෑලතුර සුදුවැල්ල ප්‍රදේශය කරා විහිදී තිබීමය.කොරෝනා රෝගීන් සොයා ගැනීමත් සමඟම සුදුවැල්ල ප්‍රදේශය හුදකලා ගමක් බවට පත් කර තිබේ.

“අපි දන්න කියන ගෙවල්වලින් විතරයි දැන් දානේ ගන්නේ. කොළොන්නාවේ සිරි සුමංගල හාමුදුරුවෝ පන්සල් හත්සිය ගණනකට වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු ලොකු මලු බෙදලා තිබුණා. දානේ හිඟපාඩු අවස්ථාවල අපි කෑම උයා පිහා ගන්නවා.” යනුවෙන් ජා -ඇල බෝරජ වෙහෙර අධිපති කුරුපනාවේ විමලානන්ද හිමියෝ පැවසූහ.මේ ආකාරයට විමසා බැලීමේදී කොරෝනා වසංගතය සමඟ පීඩාවට පත් වී සිටින්නේ රටේ සාමාන්‍ය ජනතාව පමණක් නොවේ. සංඝ සමාජයද දුෂ්කරතා රැසකට මැදි වී සිටින බව පසක් වනවා නොඅනුමානය.

Comments