සියලු දෙනාම මුහුණු ආවරණ පැළඳිය යුතු ද | සිළුමිණ

සියලු දෙනාම මුහුණු ආවරණ පැළඳිය යුතු ද

නිවැරදි තත්වයන් යටතේ මුහුණු ආවරණ භාවිත කිරීම මගින් කොරෝනාවෛරස පැතිරයාම නතර කළ හැකිය.

මහ ජනතාව මුහුණු ආවරණ පැළඳිය යුතුද යන්න පිළිබඳව විවිධ මත පළවෙමින් තිබේ. 

මුහුණු ආවරණයක් පැළඳීම කෙතරම් ප්‍රයෝජනවත් වේදැයි සනාථ කිරීම සඳහා පවතින සාධක මොනවාද ?

මේ වන විට සියලු දෙනාම මුහුණු ආවරණයක් නොපළඳින්නේ ඇයි ?

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මුහුණු ආවරණයක් පැළඳිය යුත්තේ පහත සඳහන් කාණ්ඩ දෙකට අයත් වන පුද්ගලයෙකු පමණි:

  • රෝගී සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන්
  • කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කෙනෙකුට සාත්තු කරන පුද්ගලයන්

සෞඛ්‍ය සේවාවන් හි නියුතු පිරිස වෙනුවෙන් මුහුණු ආවරණ හිඟයකින් තොරව සැපයීම සඳහා වෙන්කර තබා ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

පොදු ජනතාව මුහුණු ආවරණ පැළඳිය යුතු බවට නිර්දේශ කර නැත්තේ පහත සඳහන් හේතු මතය:

  • වෙනත් කෙනෙකුගේ කිවිසුම් සහ කැස්ස මගින් මෙන්ම මුහුණු ආවරණය පැළඳීමට හෝ ඉවත් කිරීමට යාමේදී එය විෂබීජවලින් අපවිත්‍ර විය හැකි වීම
  • නිතර දෑත සේදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම වඩා ඵලදායී වීම
  • එය පැළඳීම මගින් තමා පූර්ණ වශයෙන් ආරක්ෂිතය යන ව්‍යාජ හැඟීම ලබා දිය හැකි වීම

සායනික මුහුණු ආවරණ සැපයීමේදී සෞඛ්‍ය සේවාවන් හි නිරත පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය යන කාරණයට, රෝග වලක්වාගැනීම සහ පාලනය සඳහා වන යුරෝපීය මධ්‍යස්ථානය එකඟය. නමුත් ඔවුන් පවසන්නේ සායනික නොවන වෙනත් මුහුණු ආවරණ ජනතාව පැළඳීම මගින්, අසාදිත වූ නමුදු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන පුද්ගලයෙකුගෙන් වෛරසය පැතිර යාම පාලනය කර ගත හැකි බවය.

මෙය විශේෂයෙන් ම වෙළෙඳසැල් වැනි කාර්යබහුල, සංවෘත වටපිටාවක දී හෝ පොදු ප්‍රවාහන සේවා තුළ දී ප්‍රයෝජනවත් වන බව ඔවුහු පවසති.

ආසාදිත පුද්ගලයෙකුගේ කිවිසුමකින්, කැස්සකින් හෝ ඔහු කතා කරන විට අවට වාතයට විසිරෙන බිඳිති මගින් නව කොරෝනාවෛරසය ව්‍යාප්ත වෙයි.

එය තවත් පුද්ගලයෙකු ගේ ඇස, නාසය හෝ මුඛය හරහා සෘජුව ම ශරීරගත විය හැකි අතරම එම වෛරස තැන්පත් වූ පෘෂ්ඨයක් ඇල්ලීමෙන් පසුව වෛරසය ව්‍යාප්ත විය හැකිය.

වෙනසක් විය හැක්කේ කෙසේද ?

බහුතර ජනතාව මුහුණු ආවරණ පැළඳිය යුතු බවට බ්‍රිතාන්‍ය ආණ්ඩුව තවම උපදෙස් දී නොමැත.

කෙසේ නමුත්, මෙම කාරණය පිළිබඳව විමර්ශනය කෙරෙමින් පවතින බව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විද්‍යා උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් තහවුරු කළේය.

හදිසි අවස්ථා සඳහා වන රජයේ විද්‍යා උපදේශක කණ්ඩායම විසින් අදාළ නිර්දේශයන් අමාත්‍යවරුන් වෙත ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.

"නිවසේදී තනා ගත් මුහුණු ආවරණ හෝ පැළඳීමට ජනතාව යොමු කිරීම සඳහා බලධාරීන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන් තැතිගෙන" සිටින බව දන්වමින්, එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් සිය දෙනෙකුට අධික පිරිසක් එක් වී ලියු ලිපියක් පසුගිය සති අන්තයේ දී ප්‍රසිද්ධ කර තිබුණි. මෙම මුහුණු ආවරණ තනා ගැනීම සඳහා ස්වේච්ඡා කණ්ඩායම් යොදවා ගත හැකි බව එහි සඳහන් විය.

රෝග ලක්ෂණ පවතින්නේනම් පමණක් මුහුණු ආවරණ පළඳින ලෙසත් එසේ නොවන්නේනම් මුහුණු ආවරණ පැළඳීම අනවශ්‍ය බවටත් ජනතාවට උපදෙස් ලබා දීම "තර්කානුකුල නොවන" බව ඔවුහු පවසති.

නිවසේදී තනාගත් මුහුණු ආවරණ සුදුසු ද ?

මුහුණු ආවරණයක් නිවසේ දී තනා ගන්නා අකාරය පැහැදිලි කෙරෙන බොහෝ උපදෙස් අන්තර්ජාලයේ පවතී.

කපු රෙද්දෙන් තැනූ ඇඳ ඇතිරිලි හෝ ටී ෂර්ට් යොදා ගනිමින් මුහුණු ආවරණ තනා ගත හැකි බවට එමගින් යෝජනා කර ඇත.

කෙසේ නමුත්, නිල වශයෙන් මුහුණු ආවරණ නිපදවීමේදී සපුරාලිය යුතු ආරක්‍ෂිත අවශ්‍යතා නිවසේදී තනා ගන්නා මුහුණු ආවරණය සම්බන්ධයෙන් සපිරේදැයි සහතික වීමට නියාමනයක් සිදු නොවේ.

එක් එක් රටවල සිදුවන්නේ කුමක්ද ?

මුහුණු ආවරණ පැළඳීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් නීති රීති පනවා ඇත.

  • ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල් තුල දී සහ ඖෂධ වෙළඳසල් තුළ දී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.
  • කොරෝනාවෛරසයෙන් ඉතාලියේ වැඩිම බලපෑමකට ලක් වූ ලොම්බාර්දි ප්‍රදේශයට පනවා ඇති නීතිය අනුව නිවසින් පිටත යන සියලුදෙනා මුව හා නාසය වසා ගෙන යා යුතුය.
  • ප්‍රංශය පනවා ඇති දැඩි නීති මැයි මස 11 වනදා ලිහිල් වීමට නියමිත අතර ජනතාවට මුහුණු ආවරණ සැපයීමට එරට ආණ්ඩුව සැලසුම් කරමින් සිටී. එරට පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කිරීමේදී මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්ය කිරීමට ඉඩ තිබේ.
  • පෘතුගාලයේ පාසල් තුළ සහ පොදු ප්‍රවාහන සේවා තුළ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • කැනඩාව පනවා ඇති නීතියට අනුව එරට සියලුම ගුවන් මගීන් සායනික නොවන මුහුණු ආවරණයක් හෝ වෙනත් ආකාරයක මුහුණු ආවරණයක් පැළඳිය යුතුය.
  • ඇමරිකානුවන්ට උපදෙස් දී ඇත්තේ "සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට දුෂ්කර වන ස්ථානවල ගැවසෙන ජනතාව රෙද්දෙන් නිමැවූ මුහුණු ආවරණ" පැළඳිය යුතු බවට ය. (උදා: වෙළෙඳසැල් සහ ඖෂධශාලා)

(බී.බී.සිය ඇසුරෙනි)

Comments