රට සසල කළ නැවියා කන්ද උඩරට හු‌ෙදකලා වෙයි | සිළුමිණ

රට සසල කළ නැවියා කන්ද උඩරට හු‌ෙදකලා වෙයි

ලෝක සවාරියක නිරත වෙමින් තිබූ MSC Magnifica නෞකාවේ සේවය කළ මහනුවර පදිංචි අනුර බණ්ඩාර හේරත් සූපවේදියා මේ මස 6 වැනිදා බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබූ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු නිමාවට පත් කර පසුගිය 21 වැනිදා පස්වරුවේ සිය නිවෙස බලා ගියේය.ඔහුත් සමඟ තවත් පුද්ගලයන් දෙදෙනෙක් නිරෝධායන කටයුතු අවසන් කර නික්ම ගිය අතර නිරෝධායනයට ලක්වන සෙසු පිරිස්වලට වඩා කතාවක් අනුර බණ්ඩාර ගැන කියන්නට තිබේ.

අනුර බණ්ඩාර MSC Magnifica නෞකාවේ සේවය නිමවන්නට තිබුණේ ද පසුගිය 6 වැනිදාය. එහෙත් කොරෝනා වසංගතය නිසා නෞකාවට ගමන් මාර්ගය වෙනස් කරන්නට සිදු වූ අතර අවසානයේ නෞකාව මවුරට වන ඉතාලිය බලා ගියේ ලෝක සවාරිය අතරමඟ නතර කර දමාය.එහිදී අතරමඟ දී නෞකාවට අවශ්‍ය සැපයුම් ලබා දෙන්නට කිසිදු රටක් ඉදිරිපත් නොවූ අතර අන්තර්ජාතික නාවික නීති හා සම්මතයන් ඉහළින්ම පිළි ගනිමින් ශ්‍රී ලංකාව ඒ සඳහා ඉදිරිපත් විය.

ඒ අනුව නෞකාව කොළඹ වරායට පැමිණෙන බව දැනගත් නෞකාවේ සිටි අනුර බණ්ඩාර හේරත් නෞකාව අයත් මවු සමාගමෙන් තමා නිදහස් කරන්නැයි ඉල්ලීමක් කෙළේය. ඒ තමාගේ ගිවිසුම් ගත කාලයද නිමා වන බැවිනි. එහෙත් නෞකාවේ ඒ වන විටත් මඟීන් 2500 පමණ සිටි හෙයින් මවු සමාගම එම ඉල්ලීමට අවකාශ දුන්නේ නැත.

පසුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමාට ශ්‍රී ලංකාවට ගොඩ බසින්නට අවසර ලබා දෙන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීම සිදු කර පැය 24ක් යන්නටත් පෙර නෞකාව කොළඹ වරාය මුහුදේ නැංගුරම් දැමුයේ පෙරවරු 6.00ට පමණය. ඒ පැය 3ක කාලයකටය. අත්‍යවශ්‍ය සැපයුම් හා ඉන්ධන ලබා ගෙන නෞකාව යළි ඉතාලිය බලා යන්නට නියමිතව තිබුණි.ඒ අතර පෙවරු 7.00ට පමණ නැවේ කපිතාන්වරයා අනුර බණ්ඩාරට කතාකොට පැවසුවේ ඔහුට ශ්‍රී ලංකාවට ගොඩ බැසීමට නෞකාවේ මවු සමාගම විසින් අවසර ලබා දී ඇති බවයි. අනුර බණ්ඩාරට ඇස් අදහා ගත නොහැකි විය.

‘‘මට ඒ වෙලාවෙ සතුට ඉහවහා ගියා, උදේ 7.00ට විතර මට පණිවුඩේ ලැබෙනකොට ශ්‍රි ලංකාවෙන් නෞකාවට ඉන්ධන සපයමින් තිබුණේ. ඊට පැය ගාණකට කලින් මට නෞකාවෙන් බහින්න ලැබෙන්නේ නැති බවට ලැබුණු නිර්දේශ නිසා මම මානසිකව යම් මට්ටමකට වැටිලා හිටියේ. නෞකාව කෙලින්ම ඉතාලිය බලා යන්න තිබුණේ.

ඒත් ඒ වෙනකොට පොරොන්දු වූ ලෙස ඩුබායි වරායට නෞකාවට ඇතුළු වෙන්න අවසර දීලා තිබුණෙ නැහැ. ඒ වෙනකොට ඉතාලිය තියන්නේ අමු සෙහොනක් වගේනෙ. ජීවත් වීමේ ආසාව අත හැරල යන ගමනක් තමයි ඒක. රස්සාව කරන්නත් අපි ජීවත් වෙලා ඉන්න එපැයි. ඒක නිසයි මම නැවෙන් බහින්න ඉල්ලීම් කෙළේ. ඒකට ජනාධිපතිතුමා, අගමැතිතුමා, ආරක්ෂක ලේකම් තුමා, නාවික හමුදාපතිතුමා උපරිමයෙන් කටයුතු කරලා මට ශ්‍රී ලංකාවට එන්න ඉඩ ලබා දුන්නා.

ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ අවසරය ලැබුණු විට නෞකාව අයත් මවු සමාගමේන මට නැවෙන් බහින්න අවසර දීල තිබුණා. මම නෞකාව අයත් මවු සමාගමටත් මගේ ගෞරවය පුද කරනවා‘‘.

ඒ අනුව සම්පූර්ණ විෂබීජහරණයකින් පසුව අනුර බණ්ඩාර වරායට පැමිණුනු අතර ඔහු බූස්ස නාවික හමුදා කදවුර කරා රැගෙන යන ලදී. එහිදී ඔහු පූර්ණ නිරෝධායනයකට ලක් කරන ලදී.

‘‘ලංකාවට ආපු මම කරපු පළමු දේ තමයි මවුබිමට වැදපු එක. ඊළගට අම්මට කතා කරපු එක. මගේ පවුලේ 7 දෙනයි. පවුලේ හත් දෙනාගෙන් මම බාලයා. අනෙක් ද දෙනාම අයියලා. ‘අම්මා බුදු රසණයි පුතේ‘ කියනකොට මට සේරම අමතක වුණා. ඒ වචන ටික කියන්න කලින් අම්ම කොයිතරම් බයකින් හිටියද කියලා මට තේරුණා. ලෝකෙ වටේ ගියත් අම්ම කෙනෙකුගේ ආදරය රැකවරණය පුදුමාකාර විදිහට වටිනවා කියන එක හොදටම දැනෙන්‍නෙ ඒ වගේ අසරණ වෙලාවටයි.‘‘

“ශ්‍රී ලංකාව කියන්නේ ලෝකෙ අනිත් රටවල්වලට ආදර්ශ ගන්න පුළුවන් රටක් කියන එක අපි පෙන්නුවා. මම ආපු නැවේ හිටපු ඉන්දියන් සේවකයො ඇඩුවා. ඒ අයව ගන්න ඉන්දියාව ඉදිරිපත් වුණේ නැහැ කියලා, ඒ විතරක් නෙමෙයි නැවේදි හෘදයාබාධයක් හැදුණු ජර්මන් ජාතික කාන්තාවක් රෝහලට ගෙනියන්නත් නාවික හමුදාව කටයුතු කළා. මම ගොඩබැහැලා කොළඹ වරායෙන් පිටත් වෙනකොට නැව පිටත් වුණා. කොළඹ වරාය අසල නැංගුරම් දාල තිබුනේ හරියටම පැය 3ක් විතරයි. උදේ 9 වෙනකොට නැව ගිහින්.

නාවික හමුදාව බූස්ස කදවුරට මාව ගෙනැල්ල මට අවශ්‍ය සේරම පහසුකම් දුන්නා. හරියට ප්‍රභූවරයකුට සලකනවා වගේ හැම දෙයක්ම අතට පයට දුන්නා. වෙන එකක් තියා අවශ්‍ය විදිහට දුරකතන සේවා පවා ලබා දුන්නා. මේ තරම් පහසුකම් දෙන්නේ රටක් රැක ගන්න නේද කියන එක හිතනකොට අපට ඇති වෙන්න පුදුමාකාර දුකක්. මේ වීර රණවිරුවො තමයි අපේ රට යුද්දෙන් රැක ගත්තෙ.

දැන් ඇහැට නොපනෙන වයිරසක් එක්ක සටන් කරනවා. අපි හැම කෙනෙක්ම මේ සටනට සහයෝගය දෙන්න ඕන. පැරදුණොත් අපි සේරම වැනසෙනවා, කියන එක තමයි අපට කරන්න තියෙන එකම දේ. ‘‘මට ගෙදරට එන්න ඕන සේරම පහසුකම් නාවික හමුදාවෙන් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි යළිත් සේරම විෂබීජහරණය කරලයි එව්වේ. මට එතැනින් එන්නත් දුකයි.මම දැන් සෞඛ්‍ය උපදෙස් අනුව තවත් දවස් 14ක් ගෙදර තනිවම නිරෝධායනය වෙනවා. ගෙදර කිසිකෙනෙක් නැහැ. මම විතරයි ඉන්නෙ. තවම අම්ම බලන්න යන්න විදිහක් නැහැ. නිරෝධායන කටයුතු අවසන් වෙනකල් කිසිකෙනකුට එන්නනත් එපැයි කියලා. තියෙන්න ඒ වගේම කිසි තැනක මම යන්නෙ නැහැ.ඒ අනුර බණ්ඩාර හේරත් අපට පැවසූ කතාවයි. එමෙන්ම ඔහු ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත්, නාවික හමුදාපතිවරයාටත් , බූස්ස නාවික හමුදා කදවුරේ සියලුම නාවික නිලධාරීන් හා නාවික භටයන්ටත් අනුර බණ්ඩාර මහතා ස්තුතිය පළ කර සිටින්නේ ඔවුන්ගේ සේවාවට උපහාරයක් ලෙසයි. නිරෝධායනය මධ්‍යස්ථානයෙන් පිට වීමට පෙර සියලු දෙනාම පීසීආර් පරීක්‍ෂණයකට යොමු කර නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා ‍‍දෙනු ලබන සහතිකය පිරි නැමීමද බූස්සේදී සිදු කරන ලදී.

අද හුදකලාව නිවෙසේ තවත් දින 14ක් නිරෝධායනය වන අනුර බණ්ඩාර හේරත් කියා පාන්නේ රටක නීතියට ගරු කිරීම හරහා බොහෝ දේ කළ හැකි බවයි. ලෝකයේ බලවතා වූ ඇමරිකාව අද පත්ව ඇති තත්ත්වය අපට පැහැදිලිය. එමෙන්ම ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල අද තත්ත්වය අපට පැහැදිලිය. මහ මග වැටි වැටී මිය යන තත්ත්වයක් අපට පෙනේ. අනුර බණ්ඩාර අපට පෙන්වා දෙන්නේ අප රටක පිළිගත් සම්මතයන්ට නීතියට ගරු කිරීමෙන් අපට බොහෝ දේ ලබා ගත හැකි බවයි. ව්‍යසනයන්ගෙන් වැළකිය හැකි බවයි. අනුර බණ්ඩාරද අද තනිවම නිරෝධායනය වෙමින් සිටින්නේ ඒ සම්මතයට ගරු කිරීමක් ලෙසය.

 

Comments