කොළඹ යාචකයන් නිරෝධායනය කළ හැටි | සිළුමිණ

කොළඹ යාචකයන් නිරෝධායනය කළ හැටි

නාපු දවසක් මතක නැති යාචකයනුත් කොරෝනාව නිසා නාවති

360ක පමණ පිරිසක් නිරෝධායනය වේ

ලෝකයම ගිල ගනිමින් රුදුරු රකුසකු සේ පැතිර යන කොරෝනා මාරයා නිසා මෙරට ජනජීවිතවලට ද සිදුවී තිබෙන බලපෑම අතිමහත්ය. එහෙයින් කොරෝනා වසංගතය නිසා ගම්, නගර කීපයක්ම පසුගිය දිනවල වසා දැමුණේ එම පෙදෙස්වලට කොරෝනා අසාදිතයන්ගෙන් සෘජුවම දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබූ නිසායි. එලෙස වසා දැමුණු පෙදෙස් අතර බේරුවල චීන කොටුව, පන්නිල ප්‍රදේශය, බණ්ඩාරගම අටුලුගම, මහනුවර අකුරණ ප්‍රදේශය, පුත්තලම කඩයන්කුලමේ ප්‍රදේශයක්, මන්නාරම තාරපුරම්, ජාඇළ සුදුවැල්ල, මීගමුවේ ප්‍රදේශ කීපයක්ද විය. එලෙස වසා දැමුණු ආසන්නතම සිදුවීම කොළඹ 12, කෙසෙල්වත්තෙ, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයයි. ඒ, කොවිඩ් අසාදිත කාන්තාවක් එම ප්‍රදේශයෙන් අනාවරණය වීමත් සමඟිනි.

ඊට අමතරව ගෙවී ගිය සතිය වන විට කොරෝනා වසංගතය නිසා දැඩි සේ බලපෑම් එල්ල වූයේ මුළු රටටම කොරෝනා වසංගතය පැතිර යා හැකි ප්‍රදේශයක් ලෙස සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබූ පිටකොටුව පෞද්ගලික බස් නැවතුම් පොළ පිහිටි ගුණසිංහපුර ප්‍රදේශයයි. ඒ, පිටකොටුව ගුණසිංහපුර ප්‍රදේශයෙන් කොරෝනා අසාදිතයකු වාර්තා වීමත් සමඟිනි. ගුණසිංහපුර බස් නැවැතුමට යාබදව පිහිටි පොදු වැසිකිළියට යනෙන පිරිසෙන් මුදල් ලබාගත් තැනැත්තෙක් වන එකී කොවිඩ් අසාදිත පුද්ගලයා පසුගිය දිනවල එම කාර්යයට අමතරව පිටකොටුව, ගුණසිංහපුර පමණක් නොව මැනිං වෙළෙඳපොළ ඇතුළු ජනාකීර්ණ පෙදෙස්හි වතුර බෝතල්ද විකුණා ඇති බවට වාර්තා වේ.

එසේම ඔහු දිනපතා රාත්‍රිය ගත කර ඇත්තේද පිටකොටුව ගුණසිංහපුරට එක්රොක්ව සිටි යාචකයන් ඇතුළු පිරිසක් නිදනා පොලිස් නගරික රථවාහන කොට්ඨාසය ඉදිරිපිට පදික වේදිකාව තුළය. අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටි එකී පුද්ගලයාට කොරෝනා වැළඳී තිබුණේ ජාඇළ සුදුවැල්ලෙන් වාර්තා වූ මත්ද්‍රව්‍යට ඇබ්බැහිව සිටි කොරෝනා අසාදිත පුද්ගලයාගෙනි.

එසේ ගුණසිංහපුරයෙන් කොරෝනා අසාදිතයකු වාර්තා වීමත් සමඟ මහත් බලපෑමක් එල්ල වූයේ පිටකොටුව ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පොළෙහි රැඳි හුන් 500කට ආසන්න පිරිසකටයි. එම පිරිස අතර කොළඹ හිඟමනේ යෙදෙන යාචකයන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි පුද්ගලයන්, කොළඹ නගරයේ ස්ථිර වාසස්ථාන නොවූවන්, පිටකොටුවේ සේවය කරන නාටාමිවරුන්, ගණිකාවන් මෙන්ම කොළඹින් ගම් ප්‍රදේශ කරා යාමට පැමිණ ප්‍රවාහන පහසුකම් නොමැතිව අතරමංව සිටි කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් පිරිසක් ද විය. ඒ අතර කුඩා දරුවකු ද සිටි බවට සැල වේ.

පසුගිය 20 වැනිදා කොළඹ නගරය ඇතුළු සමස්ත දිවයිනටම බලපාන පරිදි පොලිසිය විසින් ඇඳිරිනීතිය පැනවීමත් සමඟ ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම් පොළට එසේ කොටුවුණු පිරිසට මාසයකට ආසන්න කාලයක් සියලු සප්පායම්කර තිබුණේ පොලිස් නිලධාරින් විසිනි. පසුගිය දින කීපයේම එම ප්‍රදේශයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් අපට කීවේ,

“එතැන ඔක්කොම 400කට වැඩිය හිටියා... යාචකයෝ... කුඩුකාරයෝ... නටාමිලා, ගණිකාවෝ ඇතුළුව පිටකොටුවේ සැරිසරන විවිධ පුද්ගලයෝ හිටියා. ඊට අමතරව ගම්බිම් කරා යාමට ප්‍රවාහන පහසුකම් නොමැති පිරිසකුත් එම පහුගිය දින කීපයේම රැඳි හිටියා. සාමාන්‍ය යෙන් ගුණසිංහපුර බස් නැවැතුම්පොළ කියන්නෙ රාත්‍රියට යාචකයන් විස්සක්... විසිපහක් හැමදාම නිදාගන්න තැනක්. ඇඳිරිනීතිය පැනවීමත් සමඟ අපි ඒ අයට උසස් නිලධාරින්ගේ මැදිහත් වීමෙන් විවිධ පුද්ගලයන්ගේ උදවු උපකාර ඇතිව කෑමබීම සැපයුවා... පස්සෙ ඇඳිරිනීති කාලය දිනෙන් දින වැඩි වන විට මුළු කොළඹම වගේ ඉන්න යාචකයෝ ඇතුළු විවිධ පුද්ගලයෝ එතැනට එකතු වුණා... ඒ අපි කොහොමහරි එතැනට එකතු වන පුද්ගලයන්ට කෑම සැපයීම කරපු නිසා... එහෙම තමයි ඒ පිරිස ඔයතරම් ප්‍රමාණයකට ඉහළ ගියේ...“

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සහ බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ මධ්‍යම කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා ඇතුළු පොලිස් නිලධාරින් සහ කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. කේ. චන්ද්‍රපාල මහතාගේ මැදිහත් වීමෙන් එම පිරිස අලුත් ඇඳුම් පැලඳුම්වලින් සරසවා, නිරෝධායන ක්‍රියා පටිපාටියට අනුකූල සියලු ක්‍රම සහ විධි අනුගමනය කරමින් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට කටයුතු කෙරිණි. ඒ පිළිබඳව කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. කේ. චන්ද්‍රපාල මහතා කීවේ, “ඇත්තටම ලංකාවටම කොරෝනා පැතිරෙන්න තිබූ අවස්ථාවක් මේක... පස්සෙ අපි සියලු දෙනාම සෞඛ්‍ය පරීක්ෂණවලට ලක්කළා. පොලිසිය මැදිහත්වෙලා ගත්තු මේ පියවර ගැන අපි සන්තෝෂ වෙනවා... මොකද නැතිනම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා...

එම කර්තව්‍යය පිළිබඳව බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද අදහස් දක්වමින් කීවේ, “රජය කොරෝනා ව්‍යාප්තිය වැළැකීම වෙනුවෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර තුමාගේ මැදිහත් වීමෙන් මේ පියවර නොගත්තානම් ලොකුම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා... අපි එම ස්ථානයේ හිටිය සියලු දෙනාම ඉතාම ගෞරවනීය ආකාරයටයි නිරෝධායනයට යොමු කළේ... ඒ වෙනුවෙන් පොලිසිය වශයෙන් අපේ සියලු නිලධාරින් විශාල කාර්යභාරයක් කළා... ඒ වගේම එම ස්ථානයේ රාජකාරි කළ අපේ නිලධාරින් එම පිරිස සමඟ ගැටෙමින් දැඩි අවදානම් තත්ත්වයකටත් මුහුණ දුන්නා...“

එම ස්ථානයෙන් රැගෙන ගිය විවිධ වයස් කාණ්ඩයන්හි පසුවූ කාන්තාවන් 40කට ආසන්න පිරිස ඇතුළුව 360ක් දෙනා අතුරෙන් පිරිසක් රැගෙන ගොස් තිබුණේ මීතොටමුල්ල කුණු කන්ද ආසන්නයේ පිහිටි පාසලකටයි. එම පිරිස කොළඹ නගරයේ සිඟමන් යැදුණු 86 දෙනෙකුගෙන් සමන්විත පිරිසකි. ඇඳිරිනීතිය නිසා ප්‍රවාහන පහසුකම් නොමැති හෙයින් ගම්බිම් කරා යා නොහැකිව පසුගිය දින කීපයේම ගුණසිංහපුර පදික වේදිකාවන්හි නිදාගත් සාමාන්‍ය වැදගත් පුරවැසියන් ලෙස සැලැකුණු කාන්තාවන් 14 දෙනෙක්ද එම කණ්ඩායමේ සිට තිබුණාය. එම 14 දෙනා යොමු කර තිබුණේ කොම්පඤ්ඤවීදිය නිවාසයකටයි. තවත් පිරිසක් අඹේපුස්ස නිරෝධායන මධ්‍යස්ථානයකට යැවිණි.

ඊට අමතරව කළුතර, බෝඹුවල ගොවිජන පුහුණු ආයතනයේ නේවාසිකාගාරයකටද පිරිසක් යවා තිබිණි. එම පිරිස අතර කාන්තාවක සමඟ වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙක්ද සිටි බව අපට හෙළි කළේ නව සිංහල රාවයේ මහලේකම් මාගල්කන්දෙ සුදත්ත හිමියන්ය. ඒ සුදත්ත ස්වාමින් ඇතුළු පරිත්‍යාගශිලීන් පිරිසක් විසින් එම පිරිසට ඇඳුම් පැලඳුම්රි ත්‍යාග කිරීමට එම ස්ථානයට ගිය අවස්ථාවේ එම කුඩා දරුවාද එම ස්ථානයේ සිටින අයුරු දැකීමෙනි. සුදත්ත හිමියන් අපට වදාළ සිටියේ, “එම ස්ථානයට රැගෙනවිත් සිටි පිරිසට ඇඳගෙන ආපු ඇඳුම් විතරයි තිබිලා තියෙන්නෙ. ඉතින් කළුතර දකුණ මූලස්ථාන පොලිසියෙන් මට දැන්වූවා ඒ පිරිසට ඇඳුම් හිඟතාවක් තියෙනවා කියලා.

ඉතින් මම මලේගොඩ නන්ද නාහිමි, පලාතොට පඤ්ඤානන්ද හිමි, සුරංග දිමුතු මහතා, හාට් සිටි ආයතනයේ චාමර මහතා ඇතුළු යූ-ටර්න් ආයතනයේ සියලු දෙනාගේ දායකත්වයෙන් පරිත්‍යාගයක් කළා. ඒ සරොම්, බැනියම්, දත් බුරුසු, දත් බෙහෙත් වගේම කුඩා දරුවට වගේම කාන්තාවටත් ඇඳුම් ලබා දුන්නා... හැබැයි දැන් ඒ පිරිස එතැනින් වෙනත් ස්ථානයකට රැගෙන ගිහිල්ලා තියෙන්නෙ...“

ගුණසිංහපුරයෙන් එලෙස රැගෙන ගිය ඒ සියලු දෙනා මේ වන විට යුද හමුදාවෙන් පවත්වාගෙන යන මුලතිව් ඇතුළු ස්ථාන කීපයක නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇත. පසුගිය දින කීපයේ ගුණසිංහපුර අපා දුක්විඳි එම පිරිසෙන් කිසිවකුටත් මේ වන විටත් කොරෝනා අසාදිත වී නොමැති බවට හෙළි වේ. රජයේ මැදිහත් වීමෙන් පොලිස් නිලධාරින්ගේ පූර්ණ කැපවීමෙන් එම පිරිස සිටි දුක්ඛිත තත්ත්වයෙන් මුදා එලෙස නිරෝධායනයට යොමු කිරීම කොරෝනා ව්‍යාප්තියේ බැරැරුම් තත්ත්වය අනුව මේ මොහොතේ සිදුකළ විශිෂ්ට කාර්යභාරයක් ලෙස සැලැකිය හැකිය.

Comments