කන්ද උඩරට රජවාසල ඇත්තන්ගේ විත්ති | සිළුමිණ

කන්ද උඩරට රජවාසල ඇත්තන්ගේ විත්ති

කන්ද උඩරට රජසමය පිළිබඳ සඳහන් වාර්තා බොහෝමයක් යුරෝපීය ජාතීන් අතින් ලියැවුණු ඒවාය. දේශාටකයන්, යටත්විජිත නිලධාරීන්, ලේඛකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ විදෙස් ඇසුර ලැබූ වාර්තා සහ පොත්පත් ඇසුරින් අපේ ඇත්තෝ අපේ ඉතිහාසය ගෙත්තම් කරමින් සිටිති.

සමාජීය කාරණා විෂයයෙහි යටපත්ව ගිය බොහෝ දේ සහ අප්‍රකාශිත වාර්තා පිළිබඳ මූලාශ්‍ර ගවේෂණයෙහි යෙදෙමින් කන්ද උඩරට රාජ සභාවේ වතගොත මේ ලිපියෙන් ගෙන එයි.

උඩරට රාජ්‍යය දිසා දොළහකින්ද රටවල් නවයකින්ද සමන්විත විය. දිසා දොළහ නම් සතර කෝරලය, සත් කෝරලය, ඌව, මාතලේ, සබරගමුව, තුන් කෝරලය, වලපනේ, උඩ පළාත, නුවර කලාවිය, වෙල්ලස්ස, බිම්තැන්න සහ තමන්කඩුවයි. ඒ එක් දිසාවක් පාලනය කිරීම දිසාවේ කෙනෙකුට භාර වූ අතර මුල් දිසා හතර ‘මහ දිසා‘ ලෙස හඳුන්වන ලදි. එක් දිසාවකට ප්‍රකාශිතව තිබූ එක් කොඩිය බැගින් වූ අතර දිසාවේ සහභාගී වන නිල උත්සවවලදී කොඩිය පෙරටු කොට යෑම සිරිතක් විය.

අනෙක් පාලන ඒකකය රටවල් නම් විය. උඩුනුවර, යටිනුවර, තුම්පනේ, හාරිස්පත්තුව, දුම්බරල හේවාහැට, කොත්මලේ, උඩ බුලත්ගම, පහත බුලත්ගම එම රටවල්ය. උඩු නුවර හා යටි නුවර ‘දෙනුවර‘ ලෙස හැඳින්වූ අතර මේ එක එකක් සඳහා රටේ මහතෙකු බැගින් පත් කර තිබිණි. ඔවුන් මුලින් රටේ ඇත්තෝ, රටේ රාල යන නම්වලින් හැඳින්වුවද පසුව රටේ මහත්තයා විය.

රජතුමා ප්‍රමුඛ රදලවරුන් සමඟ ඇතැම් විට මහානායක හිමිවරුන් දෙනම සහිත උත්තරීතර මණ්ඩලය රාජ සභාවයි. මහ අධිකාරම්, දිසාවේවරු, ලේකම්, රටේ මහත්තයා, බස්නායක, දුක්ගන්නාරාල නිලමේ ආදී රජතුමා විසින් පත් කරනු ලැබූ නිලමේවරුන්ගෙන් යුත් රදල මඬුල්ල රාජ සභාවට සහභාගී විය. එය රටේ උත්තරීතර බල මණ්ඩලයයි. විවිධ සම්මුති, රජකමට සුදුස්සෙකු තෝරාගැනීම, යුද ඇරඹීම, රාජ්‍ය අතර සම්මුතිය ආදිය එම මණ්ඩලයේ කැමැත්ත අනුව සිදු විය. රජතුමාට පවා එය අබිබවා ක්‍රියා කළ හැක්කේ සීමිත අවස්ථාවලදී පමණක් විය. නිලමේවරු පත් කිරීමේ බලය රජු සතුව පැවති නමුදු ඔහු එසේ කළේ මහා සම්මත සිරිත් විරිත් අනුවය. රාජද්‍රෝහීත්වය වැනි බරපතළ වරදකට වරදකරු වුවහොත් ඔහු අයින් කොට වෙනත් අයෙකු රජතුමාට පත් කළ හැකිය.

රජතුමා විසින් නඩු අසන ලද්දේ මහ නඩුව හෙවත් මහවහල් සබේ නම් රාජාධිකරණයෙනි. ඒ සඳහා තෝරා ගනු ලැබුවේ රදල නිලධාරීන් මඬුල්ලකි. බොහෝ නිලමේවරුන් රාජ නීතිය සම්බන්ධව දැනුම්වත්ව සිටි බව පෙනේ. නිදසුනක් ලෙස නුවර රාජධානියේ මිල්ලව නිලමේ, රත්වත්ත නිලමේ වැනි අය නීති විශාරදයන් තරමට අත්දැකීම් ලැබූ අය වූහ.උඩරට රාජ්‍ය සමයේ මහ අදිකාරම ලෙස හඳුන්වන ලද්දේ වත්මන් අගමැති තනතුරට සමාන තත්ත්වයකි. මහ නිලමේ යන උප පද නාමය ද ඒ සඳහා යෙදුණු අතර ඇතැම් කාලවල අදිකාරම්වරු සතර දෙනෙක් වූහ. රජු පිරිවරා සිටීම, නගරය ආරක්ෂා කිරීම, නඩු විසඳීම හා සේනාධිපති ලෙස කටයුතු කිරීම ඔවුන් හතර දෙනාගේ එක් එක් රාජකාරි විය.

අධිකාරම්වරුන්ගේ නිල කාලය අවුරුද්දක් වුවද රජුගේ කැමැත්ත ඇති තාක් අවුරුද්දෙන් අවුරුද්ද දීර්ඝ කෙරිණි. අදිකාරම්වරයෙකු සාමාන්‍යයෙන් අවුරුදු පතා රිදී පන්සියයක දැකුමක් රජුට ඔප්පු කිරීම සිරිතක් විය.

රජුගේ විශ්වාසය අනුව තව තවත් අවශේෂ තනතුරුද අදිකාරම්ට ලබාදීම සිදු විය. අදිකාරම්වරුන්ගේ නිල සංකේතය වූයේ රිදී විලි යෙදූ නැමුණු වේවැලකි. එය රජුන් විසින් ගම්භීර උත්සවයකදී අදිකාරමට පිරිනමනු ලබන්නකි.

මහ නඩුව නම් අධිකරණයේ මුල් අසුන් ගන්නේ අදිකාරමයි. වැදගත් නඩු රජු විසින් විසඳනු ලබන්නේ අදිකාරම්වරුන් ඉදිරියේය. වේවැලින් පහරදීමේ දඬුවම දිය හැක්කේ අදිකාරම්වරුන්ට පමණි.

විත්තිකාරයා කිහිප වරක් නොපැමිණියහොත් පැමිණිල්ලට පක්ෂව තාවකාලික තීන්දු දෙනු ලබයි. සාක්ෂි විභාග කිරීමෙන් නඩුවක් විනිශ්චය කිරීම දුෂ්කර වුවහොත් එය දිව්රීම මගින් තීරණය කිරීම චිරාගත ප්‍රතිපත්තිය විය.

එදා සිංහල රජුන්ගේ ප්‍රධාන ආදායමක් වූයේ රටවාසීන්ගෙන් ලැබූ සේවයයි. රට වැසියෝ තම තමන් භුක්ති විඳින ලද ඉඩම් පංගු අනුව තම වෘත්තිය අනුව රජතුමාට සේවය කළහ. ඒ ඒ වෘත්තීන්හි නියැළුණු රට වැසියෝ වසරකට වරක් - දෙවරක් - තෙවරක් ආදී ලෙස නියමිත යම් වකවානුවක් තම සේවය ලබා දුන්හ.

නිලමේවරුන්ගෙන් සහ ප්‍රාදේශීය පාලකයන්ගෙන් අවුරුදු පතා රජුට ලද පඬුරු විශේෂයක් වූයේ ‘දැකුම‘ නම් නිලමේවරුන් ලත් ආදායමෙන් කොටසකි. බවභෝග හා මිල මුදල් මඟින් රජුට හිමි වූ තවත් බදු විශේෂයක් නම් කත් රාජකාරියයි. ඉඩම් පිළිබඳ රජුගේ ආධිපත්‍යය ප්‍රකාශ වූයේ කත් රාජකාරිය මඟිනි. හාල් නැලි දොළොසකින් හා පොල් ගෙඩි අටකින් කදක් සමන්විත වූ බව සතර කෝරලේ මහ ගබඩාවේ ලේකම් මිටිය තහවරු කරයි.

ගබඩා ගම්වලින් රජ වාසල ලද වී සහල් අස්වැන්න මෙන්ම අදිකාරම්වරුන් දිසාවේ වැනි ඉහළ නිලතල පත් කිරීමේදී රජතුමාට ඔවුන්ගෙන් ලැබෙන තෑගි බෝගද රජුගේ අප්‍රකාශිත ආදායම් අතර වෙයි. පුද පඬුරු නමින් හඳුන්වන ලද එම තෑගි වසරකට වරක් රජුට දීම සම්ප්‍රදායක්ව තිබිණි.

මුතු මැණික් වෙළඳාම, අලි ඇතුන් වෙළඳාම, කුරුඳු, පුවක් වැනි දේ මඟින්ද රජ වාසලට ලැබුණු ප්‍රධාන ආදායම් අතර වේ.

රජුට අයත් පෞද්ගලික භාණ්ඩාගාරය ‘උඩ ගබඩාව‘ නමින් හඳුන්වයි. එහි ප්‍රධානියා ගබඩා නිලමේය. ආදායම් ලබන කෙත්වතු උඩ ගබඩාවට අයත් වූ අතර ඒවා පාලනය කරමින් ආදායම් රැස් කිරීම ඔවුන්ගේ කාර්ය විය. ලේකම්ලා තිදෙනෙක්, කංකානම්ලා තිදෙනෙක්, ගෙබලන රාලලා තිදෙනෙක්, මුහන්දිරම් කෙනෙක්, පිට වියදම් විදානේ කෙනෙක්, වැඩකරුවන් තෙළෙස් දෙනෙක් සහ ස්ත්‍රීන් තිදෙනෙක් ද එම ගබඩාවේ සේවය කළහ. ආදායම් - වියදම් නිසි ලෙස සටහන් තබමින් ලේකම් මිටි නමින් හැඳින්වූ වාර්තා නිසි ලෙස පවත්වාගෙන යෑම ඔවුන්ගේ සේවා බලාපොරොත්තුව විය.

නින්දගම යනු රජුට සේවය කළ නිලධාරීන්ට ලබා දී තිබූ ප්‍රසාද දීමනාවකි. මුත්තෙට්ටුගම යනු රදල ප්‍රභූන්ට අයත් ගම් ප්‍රදේශ විය. විහාරස්ථානවල අභිවෘද්ධිය සඳහාත්, භික්ෂූන් වහන්සේගේ යැපීම පිණිසත්, රජු විසින් පූජා කළ ඉඩම් ‘විහාර ගම්‘ නම් විය. ඒවායේ වෙසෙන ජනතාවද තත් විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතු වූ අතර දේවාල වෙනුවෙන් වෙන් කළ ගම්බිම් ‘දේවාල ගම්‘ විය.සෑම හමුදා සේනාංකයකම ප්‍රධානත්වය රජුට පක්ෂපාතී රදළවරයෙකුට හිමි විය. හෙතෙම ආරක්‍ෂාව භාර ‘නිලමේ‘ වන අතර එයට පහළ නිලධාරියා ‘විදානේ‘ විය. ඇතැම් රජවරු විදේශීය හමුදාවට කුලී පදනම මත සේවා ලබාගෙන තිබෙන බව ජෝන් ඩොයිලි වැන්නවුන්ගේ වාර්තා මෙන්ම මයුර සංන්දේශය අනුව පෙනීයයි. කන්ද උඩරට රාජධානියේ දෙවනි රාජසිංහ සමයේ රජුගේ හමුදාව 70 000 සිටි බව ‘මන්දාරම් පුවතේ‘ සඳහන්ය.

විවිධ කර්මාන්තයන්ට දක්ෂ පුද්ගලයන් තෝරා ගෙන ඒ කර්මාන්ත හා සේවාවන්ට වගකිව යුත්තන් පත් කිරීම හෙළ රජ සිරිතකි. පියාගේ රැකියාව පුතාට හිමිවීම වැඩවසම් ක්‍රමයේ සම්ප්‍රදායකි.

බස්නායක නිලමේ යනු අතීතයේ ‘බස්නරාල‘ ලෙස නම් ලද දේවාල භාරකරුය. බස්නායක නිලමේගේ දෙවනි නිලධාරියා ‘අත්තනායක ලේකම්‘ය. දේවාලය සතු දේපළ ගබඩා පාලනයේදී බස්නායක නිලමේට සහාය වීම අත්තනායක ලේකම්ගේ කාර්යභාර්යයි. අත්තනායක ලේකම්ට සහාය වීම අතපත්තු ලේකම්ගේ කාර්යභාර්යයි.

රජුට ආහාර පාන සැපයීම බත් වඩන නිලමේගේ රාජකාරිය විය. ඔහු යටතේ මඩප්පුලි රාලලා, පිහන රාලලා සේවය කළහ. පිසූ ආහාර හැළි පිටින්ම ඔහුට දුන් විට හෙතෙම හැම ආහාරයකින්ම ටික ටික බෙදා ආහාර බඳුන් සකසා ඉතිරි සියල්ල වහුං බැඳ ගබඩාවක ලා දොරගුලු දමයි. එම ආහාර බඳුන ‘අගු බලන නිලමේ‘ට දුන් පසු හෙතෙම ඒවා අනුභව කොට නිදා ගනියි. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද කියන පරිදි සිංහල පැයකට පසු අගු බලන නිලමේ අවදි කරවනු ලබයි. මේ බලන්නේ රාජභෝජනයට වස මුසු කොට තිබේද යන්නයි. මෙය ඉතා රහසිගත රජවාසල ක්‍රියාවලියකි.බත්වඩන නිලමේ මෙන්ම අගු බලන නිලමේ තනතුරු දෙකම සඳහා පත් කරනු ලබන්නේ රජුට හිතවත් පක්ෂපාතී අවංකම අය වෙති.

රජ වාසල ආරක්ෂක නිලධාරීන් අප්පුහාමිලා නමින් හඳුන්වන ලදි. හැතපෙන ගේ, මුරපොළ, රන් ආවුධ මණ්ඩපය යන ස්ථානවල සේවය කළෝ මොවුහුය. සෙසු අයට වඩා රජුට විශ්වාසවන්ත බව මෙයට ද අවැසි විය. රජු වෙනුවෙන් තම ජීවිතය වුවද පුද කිරීමට අප්පුහාමිලාට සිදුවේ. අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ මැද මහනුවරට පලා ගොස් ගල්ලැහැ වත්තේ ආරච්චිගේ ගෙයි නැවතී සිටින විට එම ගෙයි දොර මුර කරන ලද්දේ හැතපෙන ගෙයි අප්පුහාමි කෙනෙකි.

 

Comments