කොවිඩ් ජයගත්තේ යැයි කියූ රුසියාවට, සිංගප්පූරුවට මෙහෙම වුණේ ඇයි? | සිළුමිණ

කොවිඩ් ජයගත්තේ යැයි කියූ රුසියාවට, සිංගප්පූරුවට මෙහෙම වුණේ ඇයි?

චීනයෙන් බැහැරට කොවිඩ් පැතිර යන විට මුල් අවස්ථාවේදීම රෝගීන් වාර්තා වූ රටවල් අතර ජපානය, හොංකොං මෙන්ම රුසියාව සහ සිංගප්පූරුවද විය. රුසියාව චීනයේ මායිමේ පිහිටා ඇති අතර සිංගප්පූරුව ලොව පුරා ගමන් ගන්නා මගීන්ගේ ගුවන් යානා හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසින්ද ප්‍රසිද්ධය.

එහෙත් මේ රටවල් දෙකම ඉතා හොඳින් කොවිඩ් පාලනය කර ගැනීමට‍ පළමුවැනි අදියරේදී සමත් විය. රුසියාවේ කොවිඩ් පැතිරීම ‍මොස්කව් නගරයට පමණක් සීමා කිරීමට බලධාරීන්ට හැකිවූ අතර මරණ සුළු සංඛ්‍යාවක් මෙන්ම දෛනිකව ආසාදිතයන් හමුවුවද එය පාලනය කළ නොහැකි තත්ත්වයක් ලෙස හඳුනා ගැනීමට හැකිවූයේ නැත.

සිංගප්පූරුව මුල් වටයේදී කොවිඩ් පාලනය කළ ගැනීම සම්බන්ධව ලෝක පූර්වාදර්ශය විය. ආරම්භයේදී සිංගප්පූරුවේ ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගියද එය ඉක්මනින්ම අඩු කර ගැනීමටත් තව දුරටත් රෝගය ව්‍යප්තිය වැළැක්වීමටත් සිංගප්පූරුව සමත් වූයේ දිගින් දිගටම ගුවන් ගමන්ද පවත්වා ගනිමිනි.

සිංගප්පූරුවේ කොවිඩ් පාලන ක්‍රියාමාර්ග ලෝකයට ආදර්ශයක් ලෙස සැලකීමට බොහෝ රටවල් උත්සුක විය. ආර්ථිකය සමබරව පවත්වා ගනිමින් රෝග ව්‍යප්තියද වළක්වා ගැනීම ඉතා අපහසු ඉලක්කයක් වන නමුදු සිංගප්පූරුවට සහ රුසියාවට එය සාර්ථකව ළඟා කර ගත හැකි විය.

එහෙත් මේ වන විට කොවිඩ් වයිරසය තම භයංකාරීත්වය පෙන්වමින් සිංගප්පූරුවේ සහ රුසියාවේ ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළට ගෙන යමින් තිබේ. කොවිඩ් වයිරසය යනු මිනිසාට වන ඉතා සුළු අතපසු වීමකින් වේගයෙන් යළි හිස එසවීමටද, ඉන්පසු යළි වේගයෙන් පැතිරීමටද හැකියාව ඇති පරාජය කිරීමට ඉතා අපහසු වයිරසයකි.

සිංගප්පූරුවට සිදු වූයේද මෙවැනි ඉතා සුළු අපහසු වීමකි. සිංගප්පූරුව ආරම්භයේ සිටම කොවිඩ් පාලනයට සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති එකම උපදෙස වන නොනවත්වා පර්යේෂණ කිරීම ඉතා හොඳින් පිළිපැදි රටකි. ඒ හේතුවෙන්ම ආසාදිතයන් ඉතා ඉක්මනින් හඳුනා ගැනීමටත් ඉන්පසු රෝගය පාලනය කිරීමටත් සිංගප්පූරුවට හැකියාව ලැබිණි. එහෙත් කණාගටුවට මෙන් සිංගප්පූරුව එරටට පැමිණ සිටින අඩු ආදායම් ලාභී සංක්‍රමණික කම්කරුවන් පරීක්ෂා කිරීමට ලබා දී තිබුණේ ඉතා අවම අවධානයකි. මේ අතපසු වීම කොවිඩ් - 19ට ඉතා හොඳ අවස්ථාවක් වූ අතර මේ වන විට සිංගප්පූරුව දිනකට රෝගීන් 500 ඉක්මවා වාර්තා කරමින් සිට්. කොවිඩ් යනු එවනු අතපසු වීමකින් පහසුවෙන් රිංගා ගොස් තම ඉලක්ක සම්පූර්ණ කර ගන්නා අති භයානක වයිරසයකි.

රුසියාව යනු ආරම්භයේ සිටම වසංගතයට ශක්තිමත්ව මුහුණ දීමට සමත් වූ එකම රටයි. ඔවුන් එයට කොතරම් ශක්තිමත්ව මුහුණ දුන්නේද යත් ඉතාලියට වෛද්‍ය කණ්ඩායම් යැවීමට පවා ඔවුන්ට හැකිවූටේ තම රට සම්බන්ධව විශ්වාසයක් ඔවුන් තුළ පැවති බැවිනි. එහෙත් පසුගිය දින කිහිපයේ සිට දිගටම රුසියාවෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් හඳුනා ගැනීමට හැකි වූ අතර පසුගිය අප්‍රේල් 19වැනිදා එක්වරම රෝගීන් 6060ක් වාර්තා වූයේ රුසියාවම බියපත් කරවමිනි. ඒ අනුව මේ වන විට සමස්ත රුසියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 42,853කි.

රුසියාව යනු චීනයෙන් පිටතට වයිරසය පැතිරෙද්දී යුරෝපා රටවල් නිදහසේ විනෝද ‍වෙමින් සිටියදී වහා තම දේශසීමා වසා දමමින් ආරක්ෂාව සපයා ගත් රටකි. චීනය ඔවුන්ගෙ කොතරම් හොඳ මිතුරකු වුවද තම දේශය අනතුරට පත් වේ නම් මිතුදම් දෙවැනි වන බව රුසියාව චීනයට කියා දුන්නේ එසේය. එහෙත් එරතම් ආරක්ෂක උපාය මාර්ග අනුගමනය කර සිටියද අතපසුවීමක් සිදුවන එකම එක් නිමේෂයකදී යළි පෙරළා පහර දීම කොවිඩ් වයිරසයේ ස්වභාවයයි.

ඒ අනුව මේ වන විට සිංගප්පූරුව සහ රුසියාව ද ලෝකයේ කොවිඩ් සමග පොර බදන සෙසු රටවල් අතරට වේගයෙන් එක්වෙමින් සිටී. මේ වන ‍තෙක්ම තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව රුසියානු නායක ව්ලැඩිමිර් පූටින් පවසා සිටියද දෛනිකව රෝගීන් 6000 ඉක්මවා දිගින් දිගටම වාර්තා ‍වන්නට ගත හොත් එය කෙසේවත් ‘පාලනය කළ තත්ත්වයක් ‘ නොවනු ඇති බවද පැහැදිලිය.

කෙසේ වුවත් රටතුළ එතෙක් පැවති සාමාන්‍ය වාතාවරණය වෙනුවට ජනතාව නිදහසේ හැසිරීම පලානය කිරීමට මේ වන විට ‍රුසියානු බලධාරීන් කටයුතු කරමින් සිටිති. විශේෂයෙන් මොස්කව් නගරය තුල විශේෂ ආරක්ෂක විධිවිධාන පනවා තිබුනෙන් මෙවර පාස්කු උත්සවය සැමරීම තම නිවෙස් අභ්‍යන්තරයේම සිදු කිරීමට මොස්කව් නගරවාසීන්ට සිදු විය.

මේ ලියන අප්‍රේල් 21වැනි දිනයේදී පමණක් ආසාදිතයන් 1,111ක් සිංගප්පූරුවෙන් වාර්තා විය. මේ අතරින් බහුතරය වාර්තා වී ඇත්තේ සේවක අවසරපත් හිමිකම් සහිත විදෙස් සේවකයන්ගේ නිවස්නයන් අතරිනි. ඒ අතරින් සිංගප්පුරු ජාතිකයන් වාර්තා වන්නේ 20 දෙනෙකු පමණි.

කොවිඩ් වයිරසය යනු අතිශයින් භයානක වයිරසයක් බවත්, ඉතා සුළු අතපසුවීමකින් එය දරුණු ලෙස පෙරළා මිනිසාට පහර දෙන බවත්, එබැවින්ම ඉතා අවධානයෙන්, ආරක්ෂිතව කටයුතු කළ යුතු බවටත් හොඳින් සැලකීමට රුසියාවෙන් සහ සිංගප්පූරුවෙන් ලැබෙන තොරතුරු පමණක්ම ප්‍රමාණවත්ය.

Comments