අමෙරිකාවේ ආසාදිතයන් මිලියනයට ආසන්නයි | සිළුමිණ

අමෙරිකාවේ ආසාදිතයන් මිලියනයට ආසන්නයි

අමෙරිකාව තවමත් ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම කොවිඩි මරණ සංඛ්‍යාවද වාර්තා කරමින් සිටියදී ජනාධිපති ට්‍රම්ප් තම මැතිවරණ ක්‍රියාදාමයන්ද යටිපෙළේ ක්‍රියාත්මක කරමින් සිටිනු දැක ගත හැකි වී තිබේ. ඔහු පසුගියදා මාධ්‍ය හමුවේ පවසා සිටියේ කොවිඩ් හේතුවෙන් සංක්‍රමණිකයන්ට සීමා පැණවීමට තමන් තීරණය කළ බවයි. එහෙත් නිව්යෝර්ක් ටයිමිස් පුවත්පතට අනුව සංක්‍රමණිකයන්ට පුරවැසි භාවය ලබාදීම සම්බන්ධව නව නීති පැනවීමට තීරණය කලද සංක්‍රමණික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ට්‍රම්ප් රජය දැනට පවතින නීති වෙනස් කිරීමට අදහස් නොකරනු ඇති බවයි.

කෙසේ වුවද මේ වන විටත් අමෙරිකාව කොවිඩ් හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටිනු දැක ගත හැකිය. මේ වන විට අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 900, 000 ආසන්නයටම වර්ධනය වී තිබේ. මරණ සංඛ්‍යාව ද 45,000 ඉක්මවා ඇති අතර ඒ අතරින් වැඩිම මරණ සංඛ්‍යාව වන 18,453 වාර්තා වී ඇත්තේ නිව්යෝර්ක් නගරයෙනි. එහෙත් අ‍මෙරිකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තවමත් ඉතා ශක්තිමත්ව පවතින බව සඳහන් කළ යුතුමය. නිව්යෝර්ක් නගරය තවමත් ශක්තිමත්ව පවතින අතර ගොඩබිමෙන් මෙන්ම මුහුදෙන්ද සෞඛ්‍ය සේවා සපයමින් රෝගය සමග කරටකර සටන් වැදීමට අමෙරිකාවට හැකියාව ලැබී තිබේ.

මේ අතර සැමදා නිදහස් චින්තයට හුරුවී සිටින අමෙරිකානු ජනතාව නගර වසා දැමීමට මෙන්ම මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමටද එරෙහිව වීථි බැස විරෝධතා පවත්වා තිබේ. ඔවුන් පවසා ඇත්තේ මගේ ශරීරය මගෙ අයිතිය බැවින් රජයට රෝගයක් පැතිරීම පදනම් කරගෙන ජනතාවට නීති පැණවිය නොහැකි බවයි.

කෙසේ වුවද කොවිඩ් පැතිරීම සාර්ථකව පාලනය කිරීමට අමෙරිකාවට හැකියාව ලැබී ඇතැයි පැවසීමට තවමත් කල්වේලා වැඩිය. එමෙන්ම මිනිසුන් 50000ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මියගිය පසු රෝගය පාලනය කිරීම යනු පරාජයක් නොවේදැයි ප්‍රශ්න නැගීමට වුවද බැරිකමක් නැත.

සමස්ත ලෝකය සැලකූ විට මේ ලියන මොහොත වන විට මිලියන 2.5 ඉක්මවා කොවිඩ් ‍රෝගීන් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව ද ලක්ෂ දෙකට ආසන්න වී තිබේ. මේ සංඛ්‍යා ඊළඟ මොහොතේ කල් ඉකුත් වන්නේ සැණෙන් ආසාතයන් සහ මරණ සංඛ්‍යා යාවත්කාලීන වන බැවිනි.

මේ වන වි‍ට ආසාදිතයන් සංඛ්‍යාව අතින් ඉතාලිය පරදවා ස්පාඤ්ඤය ඉදිරියට පැමිණ තිබුණද ඉතාලිය තවමත් යුරෝපයේ වැඩිම මරණ වාර්තා කර සිටී. ඉතාලියේ මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 24,000 ඉක්මවා තිබේ. පසුගිය සතියේ මෙන්ම මේ වන විටත් දෛනික වාර්තා නිශ්චිතව ඉදිරිපත් කිරීමට ඉතාලිය සමත්ව නැත.

ප්‍රංසය සහ ජර්මනිය ආසාදිතයන් ලක්ෂ දෙකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කරමින් සිටියද මේ ලක්ෂ සංඛ්‍යාත ආසාදිතයන් අතරට අලුතෙන්ම එක්වූ රට වී ඇත්තේ බ්‍රිතාන්‍යයි. සැබවින්ම බ්‍රිතාන්‍ය ආරම්භයේ සිට කොවිඩ් පර්යේෂණ ‍නොකිරීමත්, නිශ්චිත දත්ත වාර්තා පවත්වා නොගැනීමත් නිසා බ්‍රිතානයයේ මේ සංඛ්‍යා වාර්තා ගැන සැක මතුවීම නොවැළැක්විය හැකිය. කෙසේ වුවද යුරෝපය තවමත් කොවිඩ් පාලනය කර ‍නොමැති බවනම් පැහැදිලිය.

එහෙත් ස්විච්එකක් එබු විට සිදුවන නැවතීමක් මෙන් චීනය කොවිඩ් නවතා දමා ඇති අතර පසුගිය සතියේදී එරටේ මරණ සංඛ්‍යාවට තවත් දහසක් පමණ අලුතෙන් එක්කරමින් දක්වා සිටියේ මීට පෙර වාර්තා කිරීමට නොහැකි වූ මරණ එසේ යාවත්කාලීන කල බවයි. එහෙත් සැබවින්ම පුදුමයට කරුණ වන්නේ චීනයෙන් හාරදහසක් තරම් සුළු සංඛ්‍යාවක් මරණ වාර්තා වන සිට සෙසු රටවල් අති විශාල මරණ සංඛ්‍යා වාර්තා කර සිටීමය.

ලෝකයේ සෙසු කලාපීය රටවල් සම්බන්ධවද තවමත් වාර්තා කිරීමට සිදුවී තිබෙන්නේ කණගාටුදායක තොරතුරුය. මේ වන විට ඉරානයද චීනය ඉක්මවා ‍ආසාදිතයන් වාර්තා කර සිටින අතර චීනයේ ආසන්නයේම ඊට පහළින් රැඳී සිටින්නේ රුසියාවයි. ‍බොහෝ දුරට තවත් දින කිහිපයකින් රුසියාව චීනය ඉක්මවා යනු ඇත. බ්‍රසීලය, බෙල්ජියම සහ කැනඩාවද ඉතා ආසන්න ගමනක නිරත වී සිටින්නේ 50,000කට ඉතා ආසන්න රෝගීන් වාර්තා කරමිනි.

මේ අතර ලොව දෙවැනි ආසාදිතයන් වාර්තා කරන ස්පාඤ්ඤයට යාබද රට වුවද පෘතුගාලය තවමත් ආසාදිතයන් 21,379ක් වාර්තා කරමින් තම ජනතාව ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටී. ඉන්දියාව මේ වන විට ආසාදිතයන් 20,000 ඉක්මවා වාර්තා කර සිටින්නේ මරණද 645ක් සමගිනි. ඉන්දියාවට පහළින් තවත් රටවල් රැසක් රැඳී සිටියද අමතක නොකළ යුතු කරුණ වන්නේ මේ බොහෝ රටවල අවම තරමින් ඉන්දියාවේ ප්‍රාන්තයක තරම් හෝ ජනගහණයක් නොමැති බවයි. සිංගප්පූරුවේ මේ වන විට රෝගීන් 10,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර ජපානයෙන් ආසාදිතයන් 11,000කට අධික අංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඕස්ට්‍රෙලියාව මේ දක්වා රෝගීන් 6,600කට අධික සංඛ්‍යාවක් වාර්තා කර තිබේ. එය ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව කිසියම් අඩු සංඛ්‍යාවක් සේ හඳුනාගත හැකි නමුදු ඕස්ට්‍රේලියාවේ ජනගහණයට සාපේක්ෂව එය සැනසීමට කරුණක් නොවේ.

කෙසේවුවද රෝගීන් 1451 පමණක් වාර්තා කමින් නවසීලන්තය මේ වන විට ලෝකයේ ‍කොවිඩ්වලින් ආරක්ෂිතම රට බවට පත්ව සිටී. මේ සංඛ්‍යාවට වඩා අඩු ආසාදිතයන් සහිත රටවල් පැවතියද රටේ ආර්ථිකයට සාපේක්ෂව බැලූ විට රෝගය හොඳින්ම පාලනය කළ රටවල් අතරට නවසීලන්තය සහ ඊශ්‍රායෙලය එක්ව තිබේ.මේ අතර අප්‍රිකා මහාද්වීපයට කොවිඩ් පැතිරීම සම්බන්ධව ලෝක ‍සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. එම අනතුරු ඇඟවීම් ප්‍රායෝගික වන්නේ නම් ඉදිරියේදී ලෝකයෙන් තවත් කණගාටුදායක තොරතුරු වාර්තා වීම වැළැක්විය නොහැකි වනු ඇත.

තවමත් වයිරසයට නිශ්චිත එන්නතක් සොයා ගෙන නොමැති බැවින් වයිරසය සහ මිනිසා අතර සටන මේ මොහොත වන විටත් විවෘතය.

Comments