ශ්‍රී ලාංකේය අන්තර්ජාල වෙළෙඳ පොළේ දැවැන්තයා | සිළුමිණ

ශ්‍රී ලාංකේය අන්තර්ජාල වෙළෙඳ පොළේ දැවැන්තයා

රටම වසා දමා ඇති අර්බුදකාරී සමයේ ජාත්‍යන්තරය ජය ගත් සිය දැවැන්ත මෙහෙයුම් ජාලය ඉතා ඵලදායී ලෙස වෙනස් කරගන්නට Daraz ශ්‍රී ලංකා සමත් විය. මොනයම් අර්බුදකාරී අවස්ථාවක ලෝකයේ ඕනෑම දැවැන්ත වෙළෙඳපලක් සමඟ ගනුදෙනු කිරීමේ පරිචය Daraz ශ්‍රී ලංකා සතුවය. එය ඔවුන්ට ලැබෙන්නේ සිය මවු සමාගමිනි.

චීනයේ Alibaba සමාගම සිය මව් සමාගම කරගත් Daraz ඇරැඹෙන්නේ පකිස්ථානයේය. Daraz ලංකාව තුළ මුලින්ම ස්ථාපිත වන්නේ රොකට් ඉන්ටර්නෙට් නමැති ලාංකේය සමාගම පකිස්ථානයේ Daraz සමඟ එක්ව අන්තර්ජාලය ඔස්සේ කෙරන අන්තර්ජාතික වෙළෙඳාමට සම්බන්ධ වීමෙනි. පකිස්ථාන සමාගමක් ලෙස පැවැති අවධියේ දී Daraz ආසියාවේ බොහෝ රටවල සිය ව්‍යාපාර ජාලය සාර්ථකව ව්‍යාප්ත කළේය. බංගලාදේශය, නේපාලය, ලංකාව හා මියන්මාර්ය ඔවුහු ඉදිරියෙන්ම සිය ව්‍යාපාර කටයුතු කළහ. මේ සාර්ථක ව්‍යාපාරය 2018 මැද භාගයේදී චීනයේ Alibaba සමාගම විසින් අත්පත් කරගත්තේය. මේ වනවිට ලෝකයේ ඉහළම අන්තර්ජාල මිලදී ගැනීම් සහ විකිණුම් සහිත වෙළෙඳපල නිර්මාණය වන්නේ Alibaba වටාය.

ලංකාවේ විශාලම ඊ - වාණිජ වේදිකාව නිර්මාණය වන්නේ Daraz ශ්‍රී ලංකා පසුබිම් කරගෙනය. වර්තමානයේ ඔවුන් ලංකේය අන්තර්ජාල වෙළෙඳ පොළේ දැවැන්තම අවකාශය අත්පත් කරගෙන සිටියි. කොවිඩ් අර්බුදය පැමිණෙන තුරු ලංකාවේ සියලුම මහාපරිමාණ ආයතන මෙන්ම සුළු වෙළෙන්දා දක්වා වූ තිස් දහසකට අධික වෙළෙඳ ජාලයක් දිවයින පුරා සිටින ලක්ෂ පහළොවකට අධික පාරිභෝගික පිරිස හා සම්බන්ධ කිරීමේ මෙහෙයුම Darazවිසින් කරගෙන ගියේය.

SARS වසංගතයේදීත්, චීනයට බාහිර ලෝකයෙන් අලුගු වැටුණු Covid වසංගතයේදීත් මිලියන සංඛ්‍යාත චීන ජනතාවට ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිවෙස්වලට සැපයීම Alibaba විසින් සහතික කළේය. පෙර නොවූ විරූ තත්ත්ව යටතේ පවතින අවස්ථාවට ආවේණිකව අනුවර්තනය සොයාගෙන කඩිනමින් අනුගත වීමට සමත් මෙහෙයවීමක් Alibaba සතු වෙයි.

Daraz ශ්‍රී ලංකා පරිචය ලබන්නේ මේ ආදර්ශ සමඟිනි. මේ වන විට මේ දැවැන්ත අන්තර්ජාල වාණිජ්‍ය ව්‍යාපාරිකයා මෙන්ම ප්‍රසම්පාදකයා සිය විශේෂඥ දැනුම ප්‍රායෝගික කරමින් තම ව්‍යාපාරික වේදිකාව වෙනස් කරගෙන ඇත. ලාංකේය ජනතාවගේ දිවි පැවැත්මට අත්‍යාවශ්‍ය භාණ්ඩ දෛනිකව ඔවුන්ගේ දොරකඩටම ගෙනවිත් දීමේ ගුණාත්මක සේවයක් පවත්වා ගැනීමට Daraz ශ්‍රී ලංකා දැන් සිය මෙහෙයුම් කේන්ද්‍ර කර තිබේ.

මේ වනවිට Daraz දිනපතා කොළඹ හා තදාසන්න ප්‍රදේශ හී දිනකට කුටුම්භ 1000ක දොරකඩටම අත්‍යවශ්‍ය සැපයුම් ලබා දෙයි. ලංකාව පුරා ඔවුන් විසින් දිනකට කරන මෙවැනි මෙහෙයුම් ගණන දස දහසකට අධිකය. මේ අවස්ථා කළමනාකරණ අත්දැකීම් සම්බන්ධව අප හා කථිකාවට එක් වූයේ Daraz ශ්‍රී ලංකා හි අලෙවි ප්‍රධානී හේෂාන් පෙරේරා ය.

“අභියෝගකට මුහුණ දීමේදී අපි අන් අයට වඩා වෙනස් වුණා. ඒ මෙහෙමයි, Alibaba සමාගමේ පදනමත් එක්ක අපට පුළුවන් වුණා අපේම ප්‍රසම්පාදන හා ප්‍රවාහන සමාගමක් ලංකාව තුළ හදා ගන්න. ඒ කියන්නේ අපේම බෙදාහැරීමේ ආයතනයක්. එයින් අපේ මෙහෙයුම් ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න හැකි වුණා . පන්සීයකට වැඩි ධාවකයන් පිරිසක් අපට සිටිනවා. සාමාන්‍යයෙන් දවසකට ඇණවුම් දහ දාහක් පමණ ලැබෙනවා. ඒ බොහෝ ඇණවුම් දවස් 3 ත් 5ත් අතර කාලයකින් පාරිභෝගිකයාගේ නිවෙසටම ගෙනත් දීමේ හැකියාව අප සතුයි.

මෙරට කොවිඩ් ව්‍යාප්තිය සමඟ මෙතෙක් පවත්වාගෙන ආ බෙදාහැරීමේ ක්‍රමවේදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමිතීන්ට අනුව අප වෙනසක් කළා. මුලින්ම ලොකු ප්‍රශ්නයක් ආවා... බොහෝ මිනිස්සු හිතුවා පාර්සල්වලින් කොවිඩ් පැතිරිය හැකි බව.

මේ තත්ත්වය තුළ කඩිනමින් මෙරට සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් හා සම්බන්ධ වූ පසු ඒ කටයුතු කරගෙන යන්න අවශ්‍ය විධි නියම පිළිබඳ ඔවුන් අප දැනුම්වත් කළා. ඒ අවස්ථාවේම අපගේ ගබඩා හි වැඩ කරන සේවක පිරිසට මුඛ ආවරණ ද භාණ්ඩ බෙදා හරින කණ්ඩායමට මුඛ ආවරණ, අත්වැසුම් හා විෂබීජ නාශක දියර ද ලබා දීමට අප ආයතනය පියවර ගත්තා. ගබඩාවෙන් පාර්සල් නිකුත් වුණේ විෂබීජ හරණයෙන් පසුවයි. මේ ක්‍රමවේදය නිසා සනීපාරක්ෂාව සම්බන්ධව මේ වනතෙක් කිසිදු පැමිණිල්ලක් අපට ලැබිලා නැහැ.

මේ කාලයේ සේවයේ නිරතවන අපේ රියැදුරන්ට මෙන්ම ගබඩාවල සේවයේ නිරතවන පිරිසට විශේෂ දිරි දීමනා, අතිකාල දීමනා වැනි දෛනික ආදායමට වැඩිය වැටුපක් ලබා දීමටත් අප කටයුතු කළා. ඔවුන්ගේ ගමනා ගමන පහසුකම්, කෑම බීම පවා ආයතනයෙන් ලබා දීමට කටයුතු කළේ මෙවැනි අර්බුධයකදී ඔවුන් රැකියාවට එහා ගොස් ව්‍යාපාරික අවස්ථා සපයා දෙමින් අපටත් රටටත් කරන සේවයේදී ඔවුන් රැක බලා ගැනීම අප සතු වගකීමක් යැයි දකින නිසයි.

වත්මන් තත්ත්වය හමුවේ ගුණාත්මක හා වඩා ආරක්ෂාකාරීව අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ව්‍යාපෘතියකට Daraz ශ්‍රී ලංකා මුලුමනින්ම අනුවර්තනය වී අවසන්. මේ අවස්ථාවෙදි අප ආයතනය පොලිසිය හා රජය සමඟත් බොහෝ සමීපව කටයුතු කරනවා. මෙහෙයුම් පරිමාණය මීට වඩා පුළුල් ලෙස දියත් කිරීමට අවශ්‍ය සම්පත් අප සතු වුණත් රටේ තත්ත්වය තේරුම් ගෙනයි අප වැඩ කරන්නේ.

වැඩි පිරිසකට ඇඳිරි නීති බලපත්‍ර දී සමාජයට මුහු කළොත් රට අපේක්ෂා කරන ආරක්ෂාකාරී ඉලක්කයට යන්න බැහැ. ඒ සීමා සාධකවලට එකඟවයි අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් කටයුතු සිදු වෙන්නේ. ඊට අමතරව සනීපාරක්ෂක ද්‍රව්‍ය, පුද්ගල සෞඛ්‍යයට අවශ්‍ය දේවල්, රජයේ නිර්දේෂවලට අනුකූලව ඉතා කාර්යක්ෂමව සම්බන්ධීකරණය කොට අලෙවි කෙරෙනවා.

ව්‍යවසායකයෝ තිස් දහසකට අධික සංඛ්‍යාවක් Daraz ශ්‍රී ලංකා සමඟ අත්වැල් බැඳ ගෙන සිටිති. මේ රටේ අතිශය බහුතර මහාපරිමාණ ව්‍යාපාරිකයින් සිය අන්තර්ජාල ව්‍යාපාර කටයුතු කරන්නේ Daraz හා එක්වය. එනිසා පවතින පසුබිමේ පවා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේදී ලංකාවේ ඉහළම ආයතන හා ගනුදෙනු කිරීමේ හැකියාව Daraz හා සම්බන්ධවන පාරිභෝගික ප්‍රජාවට ලැබුණි. ගුණාත්මක භාණ්ඩ පහසු මිලට පාරිභෝගිකයන්ගේ නිවෙසටම වගකීමකින් යුතුව රැගෙන යාමටද හැකි විය.

 

Daraz නව සේවා

භාණ්ඩ බෙදා හැරීමේ දී අප හා ගනුදෙනු කරන ගැනුම්කරුවන්ට ලොකු සහනයක් ලැබෙනවා. oDoc කියන ආයතනයක් අහලා ඇති. oDoc කියන්නෙ ඇප් එකක්. එයින් කෙරෙන්නෙ රෝගියා සහ වෛද්‍යවරයා සම්බන්ධ කිරීමයි. රජයේ වෛද්‍ය සභාවේ ලියාපදංචි ක්ෂේත්‍ර 40 ක වෛද්‍යවරු දෙසීය පනහකට වඩා මෙම ඇප් එකට සම්බන්ධව සිටිනවා. oDoc හරහා ඒ ඕනෑම වෛද්‍යවරයකු වීඩියෝ හෝ සාමාන්‍ය දුරකථන ඇමැතුමකින් සම්බන්ධ කරගනිමින් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගත හැකියි.

නිර්දේෂිත බෙහෙත් තුන්ඩුවක් වුවද ජංගම දුරකථනයට ගෙන්වා ගත හැකියි. සහන මිලට ඖෂධ හා රසායනාගාර සේවා පවා නිවෙසටම සපයා ගත හැකි යි. සාමාන්‍යයෙන් මෙම ඇප් එක බාගත කිරීමට දෙදහස් හත්සියයකට ආසන්න මුදලක් අය කළත් අප oDoc සමඟ එක්ව එම සම්බන්ධතාව නොමිලයේ මාස හයකට අපේ පාරිභෝගිකයන්ට ලබා දී තිබෙනවා.

Daraz For Goods අපගේ තවත් නව ව්‍යාපෘතියක්. ඒ යටතේ රතු කුරුස වැනි සංවිධාන හා සම්බන්ධ වී ඖෂධ ගැනීමට අපහසු පිරිසට ඖෂධ ලබා දුන්නා. අපේ ගැනුම්කරුවන් සමඟ සම්බන්ධීකරණය කොට දිනපතා ආදායම් උපයන පිරිසට වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමටද කටයුතු කළා.

Daraz ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂවරයා රකිල් ප්‍රනාන්දුය. Alibaba සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ජැක් මා විසින් කොවිඩ් 19 පරීක්ෂණ කට්ටල හා මුහුණු ආවරණ ලංකාවට පරිත්‍යාග කළේ රකිල් ප්‍රනාන්දු හරහා ය. ඔහුගේ අධීක්ෂණය යටතේ රටේ ආර්ථිකය විධිමත් කරන දැවැන්ත ව්‍යාපෘතියක් Daraz ශ්‍රී ලංකා හරහා මේ වනවිට ක්‍රියාත්මක වෙයි. ඒ පසුගිය ජනවාරි 09 දා ග්‍රාමීය ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට Daraz - සමෘද්ධි සංවර්ධණ බැංකුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹී‍මෙනි. දැන් අන්තර්ජාලය හරහා සමෘද්ධි ප්‍රතිලා ලාභී ස්වයං රැකියා නියුත්කිතයන් හා ග්‍රාමීය ව්‍යවසායකයන් සිය වෙළෙඳ ජාලය ඔස්සේ ශ්‍රී ලාංකේය වෙළෙඳපලට විවෘත කිරීමට Daraz ශ්‍රී ලංකා කටයුතු කරමින් සිටියි. Daraz ශ්‍රී ලංකා මේ පීඩාකාරී අවස්ථාවේ ලබන මිල කළ නොහැකි අත්දැකීම්වල වටිනාකම අධ්‍යයනය කරමින් ඒ අත්දැකීම් උගනිමින් එහි ප්‍රතිලාභ ලාංකේය ජනතාව වෙත ප්‍රක්ෂේපනය කරමින් සිටින්නේය.

Comments