පාසල් සහ සරසවි ඇරීම යළි කල් යයි! | සිළුමිණ

පාසල් සහ සරසවි ඇරීම යළි කල් යයි!

කොවිඩ් - 19 වැලඳුණු රෝගීන්ගේ වාර්තා වීමත් සමඟ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් හා සරසවි ඇතුළු සිසුන් ගැවසෙන අධ්‍යාපන ආයතන නැවත විවෘත කිරීමේ දිනය කල් යන ලකුණු පහළ වී ඇත. ඒ අනුව රජයේ පාසල් 10,164 නැවත විවෘත කිරීමට නියමිතව ඇත්තේ මැයි මස 11 වැනිදාය. ලක්ෂ 45ක් පමණ වන සිසුන්ගේත්, ලක්ෂ 2.5කට ආසන්න පාසල් ගුරුවරුන්ගේත් ආරක්ෂාව සහතික කරමින් පාසල් විවෘත කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කල් යන ලකුණු ඇති බවට වාර්තා වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්දගෙන් සිළුමිණ කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ පාසල් නැවත විවෘත කිරීමේ දිනය බොහෝ දුරට කල් යෑමට ඉඩ ඇති බවත් රටේ පවතින වාතාවරණය මත එය තීරණය වන හෙයින් නිශ්චිතවම වෙනස් වන්නේද නැද්ද යන්න දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත්ය.

අවදානම් පළාත්වල ඇඳිරි නීතිය නැවතත් දීර්ඝ කිරීම නිසා පාසල් නැවත විවෘත කිරීමේදි සැලකිය යුතු උපදෙස් පිළිබඳ චක්‍රලේඛ අදාළ පළාත් බලධාරීන්ට යැවීමට ප්‍රමාද කළ බවත් එහෙත් එය සකස් කිරීමේ කටයුතු මේ දිනවල සුදානම් කෙරෙන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.මේ අතර මැයි මස 4 වැනිදා නැවත විවෘත කිරීමට දින නියම කර ඇති විශ්වවිද්‍යාල ආරම්භයද සෞඛ්‍ය බලධාරීන්ගේ හා රජයේ උපදෙස් මත වෙනස් වීමට ඉඩ ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සිළුමිණට කීය.

සුභාෂිණී ජයරත්න 

Comments