පන්දහසේ දීමනාව පවුල් ලක්ෂ 55කට ලබාදී අවසන් | සිළුමිණ

පන්දහසේ දීමනාව පවුල් ලක්ෂ 55කට ලබාදී අවසන්

අඩු ආදායම්ලාභීන්ට, සමෘද්ධි පවුල්වලට, ආබාධිත සහ වකුගඩු රෝගීන් සිටින පවුල්වලට, ජීවනෝපාය අහිමි වූ පවුල්වලට හා එම අනු පවුල්වලට රජය ලබාදෙන රුපියල් පන්දහසේ විශේෂ දීමනාව පවුල් ලක්ෂ 55කට ලබාදී ඇත. ඒ සඳහා රජය වෙන් කරන ලද සම්පූර්ණ මුදල රුපියල් කෝටි 2800කට අධික ය.

ඒ පිළිබඳ සිළුමිණට කරුණු දැක්වූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි පැවැසුවේ මුල් අදියර යටතේ සමෘද්ධි පවුල් 25,77,650කට හා වැඩිහිටි දීමනා ලෙස පවුල් 569,982කට රුපියල් 5000 බැගින් ලබා දී ඇති බවයි. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ආබාධිතයන් සිටින පවුල් 108,422කට හා වකුගඩු රෝගීන් සිටින පවුල් 38,301කට ද රුපියල් පන්දහසේ දීමනාව ගෙවා ඇත.

එම වැඩසටහනේ දෙවැනි අදියර යටතේ ජීවනෝපාය අහිමි වූ පවුල් ලක්ෂ 20කට පමණ අප්‍රේල් මස 20 සිට 23 දක්වා රුපියල් 5000 බැගින් ලබාදීමට පියවර ගත් බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඊට අමතරව තෙවැනි අදියර යටතේ අනු පවුල්වලට, පෞද්ගලික ආයතනවල තාවකාලික රැකියා කරන මේ මස වැටුප් නොලැබුණ අයට හා විශ්‍රාම වැටුප පන්දහසට අඩු අයට රුපියල් පන්දාහේ දීමනාව ගෙවීමට පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල කටයුතු කෙරිණි. ඒ අනුව එවැනි පුද්ගලයන් සහිත පවුල් ලක්ෂ 2-3 පිරිසකට එම දීමනාව ලබාදීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගන්නා ලදී.

එම කටයුතු සඳහා දුෂ්කරතා මැද රට පුරා සමෘද්ධි නිලධාරීන් හා සමෘද්ධි කළමනාකරුවන් 25,000ක් හා ග්‍රාම නිලධාරීන් 14,000ක් කැපවීමෙන් කටයුතු කරන බව ද සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය

 

Comments