අපේ සිනමාවේ කිතුණු කැරළිකරුවා | සිළුමිණ

අපේ සිනමාවේ කිතුණු කැරළිකරුවා

විශාල පිරිසකට දෙඅත් දිගු කර ඔවුන්ව ඉහළට ඔසවා තැබූ උදාර දේව පුත්‍රයකු මේ මොහොතේ ගිලන් යහනක වැතිර සිටි. ඒ තම දිවි ගමනේ අසූ නවවැනි වසර සපුරණ ගරු අර්නස්ට් පෝරුතොට හිමිපාණන් ය. වෛද්‍යවරුන් හා හෙදියන් හරුණු කල මේ මොහොතේ එතුමන් අබියස නිරන්තරයෙන් රැඳී සිටින්නේ පුරා දාහත් වසක් තිස්සේ පියතුමන් බලා කියා ගනිමින් එතුමාගේ රියදුරු ලෙස සේවය කරන චන්දන ය.

වැඩිපුර ම සිනමාව ගැන ලියන්නෙකු වශයෙන් මෙම ලියුම්කරුට ද මෙම විෂය අරබයා එතුමා ගැන ලිය යුතු කරුණු ගණනාවක් තිබේ. නමුත් සිනමා ඉතිහාසයේ සහ එතුමාගේ දිරි ගැන්වීම් වලින් යම් ස්ථාවරයකට පැමිණි සිනමාකරුවන්ගේ හදවත් වල රැඳී ඇති දෙයින් ඔබ්බට ගොස්, විශිෂ්ට ගණයේ මනුෂ්‍යයකු වශයෙන් එතුමා ගැන කතා කළ හැකි අප නොදන්නා කාරණා ද බොහෝ ය.

මේ ආකාරයට කලාවෙන් පරිබාහිරව පෝරුතොට පියතුමන් ගැන වූ විශිෂ්ටතම හැඳින්වීම සිදු කෙරුණේ තම කුඩා කාලයේ සිටම එතුමා ගැන දන්නා හඳුනන අයෙකු වූ මහාචාර්ය ඇන්ටන් මීමන අතිනි. ඩේලි මිරර් අන්තර්ජාල පුවත්පතට ලිපියක් සපයමින් ඔහු කියා සිටින්නේ “පෝරුතොට පියතුමන්ගේ හදවත එතුමාගේ සිරුරට වඩා විශාල” බවය.

මහාචාර්ය මීමනගේ අර්ථ දැක්වීමට අනුව තමාට විරුද්ධ මත දරන්නවුන් කෙරෙහි කිසිදු අමනාපයක් ඇති නොවීම එතුමන්ගේ විශිෂ්ට ගුණාංගයකි. එතුමන් ගැන නරකම දේ පවසන අය තුළ ම පවතින හොඳ ගැන කීමටත්, ඔවුනගේ ජයග්‍රහණ අගය කිරීමට හා ඒ ගැන ප්‍රීතිවීමටත් තරම් නිහතමානීභාවයක් මෙතුමා තුළ විය.

තවදුරටත් මහාචාර්ය මීමනගේ ලිපියට අනුව මෙයට හේතුවී ඇත්තේ පියතුමන් සතුව ඇති නිරෝගී අධ්‍යාත්මික ප්‍රතිරූපයයි. මේ නිසා අන් අයගේ හොඳම දේ පිටතට ගෙන, තරාතිරම ගැන නොබලා ඔවුන් සතු දක්ෂතා ඔස්සේ ඔවුන් ව අර්ථවත් ඉලක්කයක් කරා හඹා යනු පිණිස පොලඹවන්නට එතුමාට හැකි වී ඇත. තවදුරටත් එතුමන් ගැන කතා කරන මහාචාර්ය මීමන සඳහන් කරන්නේ අර්නස්ට් පෝරුතොට යනු නිර්භීත, වේගවත්, ධෛර්යය සම්පන්න, දැඩි හා ඉක්මන් බුද්ධිමත් පුද්ගලයකු වශයෙනි.

මෙයට උදාහරණයක් ලෙස ඔහු විසින් උපුටා දක්වන්නේ තමා පිලිපීනයේ අධ්‍යාපනය ලබන කාලයේ එතුමාගෙන් ලැබුණු තැපැල් පතකි. පියතුමා එහි සඳහන් කර ඇත්තේ “ඔබ මුදුනටම පැමිනෙණ තෙක් ආපසු හැරී නොබලන්න” යනුවෙනි. මෙනයින් බලන කල අනන්‍යයන් අරබයා විශිෂ්ටතම දිරි ගන්වන්නෙකු ලෙස එතුමාට හිමි ස්ථානය ප්‍රශංසනීය වූවෙකි.

මහාචාර්ය ඇන්ටන් මීමන පියතුමා ගැන ප්‍රකාශ කරන කාරණා ප්‍රායෝගිකව උපයෝගී කර ගනිමින් අප රටේ සිනමා ඉතිහාසයට විශාල දායකත්වයක් සපයන්නට ද අර්නස්ට් පෝරුතොට පියනමට හැකි වී තිබේ.

ඒ අතරින් එක් කරුණක් වන්නේ හැටේ දශකයේ මුල් අවුරුද්දේ දී දෙවැනි වතිකානු මන්ත්‍රණ සභාව විසින් යෝජනා කරන ලද ක්‍රිස්තියානි චාරිත්‍ර දේශීියකරණයට ලක් කිරීමේ යෝජනාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු සඳහා මුල් වීමය.

පල්ලිය තුළට ගොක් කොළ තොරණ ද, මඟුල් බෙර වාදනය සහ පෝරුවේ චාරිත්‍ර ද එක් වූයේ ඉන් අනතුරුව ය. මේ සඳහා පසු කලෙක ඝාතනයට ලක් වූ මීගමුවේ අබා කොස්තා පියතුමන් මෙන් ම මින්සිරි පෙරේරා පියතුමන් ද මෙතුමන් හා පෙළ ගැසුණහ.

ඒ සමඟ ම “ගිහියා” සහ “65 කිතුනු පෙරළිය” නමින් කෘති දෙකක් රචනා කිරීමට ද එතුමෝ අමතක නොකළහ. පෑළියගොඩ මීසම බාරව කටයුතු කළ එතුමා වටා ඈෂ්ලි රත්නවිභූෂණ, සිරිල් බී පෙරේරා, ප්‍රසන්න සිල්වා සහ සුසන්ත තිසේරා ආදීහු එකරාශි වූයේ මේ කාලයේ ය.

එතුමන් විසින් කොටුව මල්වත්ත පාරේ පිහිටි හය වන පාවුලු පාප් මධ්‍යස්ථානයේ නොමිලේ චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹුවේ මේ කාලයේ ය.

ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, ආදී වශයෙන් වූ තරුණ පරපුරේ සිනමා ලැදි විශාල පිරිසකට හොඳ චිත්‍රපට නැරඹීමේ පිපාසය සංසිදවා ගැනීමේ අවස්ථාව ඒ අනුව උදා විය. ලෝක ප්‍රකට “බැට්ල් ෂිප් පොටෙම්කින්’‘ ආදී චිත්‍රපට බොහෝ දෙනෙකුට මුල්වරට නරඹන්නට ලැබුණේ මෙහිදී ය.

මෙහි සිටි මාටින් ඔගස්ටේ නැමැති පියතුමානන් සතුව දුර්ලභ වටිනා චිත්‍රපට එකතුවක් පැවැති අතර, ඔහුට ගෞරවයක් වශයෙන් මධ්‍යස්ථානයෙහි කුඩා සිනමා හල “මාටින් ටිකිරි’‘ සිනමා හල යනුවෙන් නම් කෙරිණි.

එය ද පෝරුතොට පියතුමන්ගේ යෝජනාවක් අනුව සිදු වූවෙකි. සඳුදා, බදාදා සහ සිකුරාදා මෙහි චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණු අතර, ඉරිදා සහ පෝ දිනවල සම්මන්ත්‍රණ සහ සිනමා පාඨමාලා ද පැවැත්විණි.

“සුපර් 8” සිනමා කෘති පිළිබඳ ව දැඩි උනන්දුවක් ඇති වී තිබූ තරුණ පරපුරට මෙකී පාඨමාලා මහත් සේ ප්‍රයෝජනවත් වූ අතර, ඒවා මෙහෙයවනු ලැබුවේ ඇන්ඩෲ ජයමාන්න විසිනි. මේ ස්ථානයෙන් වැඩිම ප්‍රයෝජනයක් අත්පත් කරගත් සිනමාකරුවා ලෙස කැපී පෙනෙන්නේ ධර්මසිරි බණ්ඩානායක ය. එවකට රබර් පාලන දෙපාර්තමේන්තුවේ සේවය කළ ධර්මසිරි මේ වන විට තමා නිර්මාණය කරමින් සිටි ඒකාධිපති නාට්‍ය පිටපතේ කටයුතු වැඩි කොටසක් සඳහා ඉඩ හසර ලබා ගත්තේ ද මෙම පාවුළු පාප් මාධ්‍යස්ථානයෙනි.

සිනමාව අරබයා බොහෝ ඓතිහාසික කටයුතු වල සහ පුද්ගලයන්ගේ ගමන් මඟ පිළිබඳ ව සවිමත් පදනම වූයේ අර්නස්ට් පෝරුතොට පියතුමන් වුවත්, අත්‍යවශ්‍යම තන්හිදී පවා එතුමන් ගැන සඳහන් වන්නේ ඉතා අඩුවෙන් වීම බරපතළ කනගාටුවට කරුණකි.

මෙම ලිපි සැකසීම සඳහා තොරතුරු රැස් කිරීමේ දී අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදය විසින් ප්‍රකාශයට පත් කරන ලද එහි “ඉතිහාසය සහ උත්තමාචාර හේතු පාඨ” යන ග්‍රන්ථය කියවනු ලැබූව ද පෝරුතොට හිමිපාණන් ගැන එහි සඳහන් වන්නේ ඉතා සැකෙවිණි.

එබැවින් පියතුමන් ගැන වූ මෙම ලිපිය සැකසීම සඳහා තොරතුරු ලබා ගැනීමට සිදු වූයේ මා හිතවත් මාධ්‍යවේදී පීටර් කැනියුට් පෙරේරා සහ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණි වේරගම යන දෙපළගේ සහයෝගයද ලබා ගනිමින් බව කෘතඥපූර්වක ව පැවසිය යුතුව ඇත. මේ දෙදෙනාම පියතුමන් සමඟ කටයුතු කර ඇති අතර, කැනියුට් පෙරේරා එතුමන් පිළිබඳව කුඩා ග්‍රන්ථයක් රචනා කිරීමට ද දායක වී ඇත.

ගාමිණි වේරගම පවසන පරිදි එතුමා තුළ වූ සුවිශේෂී ගුණාංගයක් වන්නේ සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සිතිය හැකි නිදහස් චින්තනය හා නිර්භීතභාවයයි. පීටර් කැනියුට් පෙරේරාගේ අදහස වන්නේ අදටත් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව හෝ අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදය යයි කී සැණින් එක්වරම සිහියට නැගෙන්නේ අර්නස්ට් පෝරුතොට නාමය බවය.

තමන්ගේ නම සහිත ලේබලය අලවා නොගත්ත ද සමස්ත සිනමාවේ අභිවෘද්ධිය උදෙසා එතුමන් විසින් කරන ලැබූ නිශ්චිත වැඩ කොටසක් ද සකස් කරනු ලැබූ ශක්තිමත් පදනමක් ද තිබේ.

මා පෙර සඳහන් කර පරිදි ඕසීඅයිසී ඉතිහාස වාර්තාවේ නිසි පරිදි සඳහන් නොවූව ද, එහි මුල් ම ජාතික අධ්‍යක්ෂවරයා ලෙස පත් වූයේ අර්නස්ට් පෝරුතොට පියතුමන් ය.

එතුමාගේ කාලය තුළ දක්ෂ තරුණ චිත්‍රපටකරුවන් රැසකගේ නිර්මාණ තෝරා ගෙන ඒවා විදෙස් චිත්‍රපට උළෙල වලට යැවීමෙන් ඔවුන්ට මහත් ධෛර්යක් ලබා දුන්නා පමණක් නොව, විවිධ ඇගයීම් වලට ද ලක්වීමට ද ඉඩ ප්‍රස්තා ලබා දුන්නේය.

ටයිටස්ගේ “හඳයා” චිත්‍රපටයට ඉතාලියේ දී ඉහළම සම්මානයක් හිමි වූයේ ද පෝරුතොට පියතුමන්ගේ එම වැඩ පිළිවෙල හේතු කොට ගෙන ය.

ධර්මසිරි බණ්ඩාරනායකගේ ප්‍රථම නිර්මාණය වූ “හංස විලක්” චිත්‍රපටය අධ්‍යක්ෂවරුන්ගේ කුළුඳුල් කෘතිවලට සම්මාන පුද කිරීම සඳහා බටහිර ජර්මනියේ පැවැති “මෑන් හයින්’‘ උළෙලට ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාකර දුන්නේ ද පෝරුතොට හිමියන් විසිනි.

“හංස විලක්’‘ චිත්‍රපටය සඳහා එහි දී සම්භාව්‍ය චිත්‍රපට සඳහා පිරි නැමෙන ඩිප්ලෝමා සහතිකය පිරිනැමුණු අතර, පසු කලෙක ධර්මසිරි පවසා තිබුණේ පෝරුතොට පියතුමන් නොසිටින්නට ජීවිතයේ කිසි දිනකවත් එවන් අවස්ථාවක් උදා නොවන බවය.

මේ හැරෙන්නට එතුමාගේ කාලය තුළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස්ගේ “රන්සළු” මහගමසේකරගේ “තුංමන් හන්දිය” ටයිටස් තොටවත්තගේ “හාර ලක්ෂය’‘, මණික් සන්ද්‍රසාගරගේ “කළු දිය දහරා”, ටයිටස් තොටවත්තගේ “සිහසුන”, කේ.ඒ. ඩබ්ලිව් පෙරේරාගේ “ලසඳා”, වසන්ත ඔබේසේකරගේ “වල් මත්වූවෝ”, ධර්මසේන පතිරාජගේ “එයා දැන් ලොකු ළමයෙක්”, ඩබ්:.ඒ.බී. ද සිල්වාගේ “හුළවාලී”, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “ගෝඩ් කිං” සහ කෙටි චිත්‍රපටයක් වූ එස්.බී. කුලසේකරගේ “තනිව ආ ගමනක්” ආදී නිර්මාණ වලට අන්තර්ජාතික නියෝජනය සඳහා ඉඩ ලැබුණේ එතුමාගේ මූලිකත්වයෙනි. එමෙන් ම ටෙහෙරාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙල සඳහා ධර්මසිරි පතිජගේ “අහස් ගව්ව”ද මෑන් හයින් උළෙල සඳහා රෝයි ද සිල්වාගේ “තණ ගිරවී” සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ “අධිෂ්ඨානය” සහ ෂෙල්ටන් පයාගල හා චන්ද්‍රරත්න මාපිටිගමගේ “මලට නොඑන බඹරු” යන චිත්‍රපට වලට ද ඒ අවස්ථාව උදා කර දුන්නේ එතුමා ය.

අන්තර්ජාතිකව නිර්මාණය වූ බොහෝ චිත්‍රපට ඇසුරු කොට ඒ සම්බන්ධව ගැඹුරු දැනුමක් සහිතව සිටි මෙතුමා ශ්‍රී ලංකාවේ සිනමාව සම්බන්ධව ආගමික වශයෙන් අර්බූදකාරී අවස්ථා පැනනැඟුන විට කෘතිය වෙනුවෙන් පෙනී සිටිමින් එම ගැටලු නිරාකරණය පිණිස කටයුතු කළේ ය.

මහාචාර් සුනිල් ආරියරත්නගේ “ක්‍රිස්තු චරිතය” සඳහා විජය කුමාර තුංග යොදා ගැනීම මෙන් ම “දෙවියනි ඔබ කොහිද” චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා රඟපෑ පූජකතුමාගේ චරිතය අරබයා ද ඇතිවූ ගැටලු වෙනුවෙන් වෙනුවෙන් එතුමා පෙනී සිටියේ ය.

මේ ආකාරයට ම ජාතික රූපවාහිනියේ ටෙලි නාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ ද ක්‍රිතු දහම ගැටලු පැනනැඟුණු සෑම විටකම කෘතියේ කලාත්මක ගුණයට හානියක් සිදු නොවන අයුරින් ඒවා විසඳීමට පෝරුතොට පියතුමන් සමත් වූ බව ගාමිණි වේරගම පවසයි.

සිනමාවට සමගාමීව එතුමෝ සිනමා විචාර කලාවක් ගොඩනැඟීම උදෙසා ද පුරෝගාමී වූහ. මහාචාර් චන්ද්‍රසිරි පල්ලියගුරු, එඞ්වින් ආරියදාස, සිරිල් බී පෙරේරා, රැලෙක්ස් රණසිංහ, ඈෂ්ලි රත්නවිභූෂණ ආදීන් ඒ සඳහා එක් රැස් කරමින් ඕසීඅයි සම්මාන උළෙලේ හොඳම ආධුනික සිනමා විචාරකයා සඳහා “ජයවිලාල් විලේගොඩ” සම්මානය පුදකරන ක්‍රමවේදයක් සම්පාදනය කරනු ලැබූවේ මේ අනුවය.

මේ අවස්ථාවේ දී එතුමන් අතින් සිදු වූ තවත් විශිෂ්ට කාර්යයක් ලෙස සැලකිය හැක්කේ අදටත් සිනමාව හදාරන්නන්ගේ ගෞරවයට පාත්‍ර වී තිබෙන “සිනෙසිත්” සඟරාව කතෝලික සිනමා පර්ෂදය විසින් ප්‍රකාශය පත් කිරීමය.

ඉන් අනතුරුව තරුණ කම්කරු ව්‍යාපාරය ආරම්භ කර “රසංජලී” සංවිධානය පිහිටවු එතුමා ලෙස්ලි බොතේජු, සිරිල් බී පෙරේරා, අයිවෝ ඩෙනිස් ආදීන්ට විවිධ කලා නිර්මාණ සඳහා ඉඩ සලසා දුන්නේය.

සියලු කටයුතු අවසන මේ වන විට ලුනාව මීසම බාර පියතුමන් ලෙස කටයුතු කළ එතුමන් උපත ලැබුවේ 1931 හලාවත මාරාවිල දීය.

අර්නස්ට් ඇලෙක්සැන්ඩර් පෝරුතොට දරුවා කිතුනු පූජකවරයෙකු වීම ගැන කැරළිකාර ගුරුවරයෙකු වූ ඔහුගේ පියා තුළ කිසිදු කැමැත්තක් තිබුණේ නැත. පී.ජේ. ප්‍රනාන්දු නම් වූ ඔහු පල්ලියට අයත් පාසැලේ ගුරුකමේ අස්වී තිබුණේත් වැටුප් ගෙවීමේ අක්‍රමවත් භාවය ගැන සිය විරෝධය පළ කරමිනි.

අර්නස්ට් පෝරුතොට සිසුවා සෙමනේරියට ඇතුල්වීමට ගිය සම්මුඛ පරීක්ෂණයේ දී එහි ප්‍රධානියා අසා තිබුණේ “උඹ අසවල් ප්‍රනාන්දු ගුරාගේ පුතා නේද?” කියා ය.

අර්නස්ට් සිසුවා ද නොපැකිලිව “ඔව්’‘ යයි පැවසීය.

“එයාගේ පුතා නම් උඹ හොඳ එකෙක් වෙන්න ඕනෑ’‘ මඳ සිනහාවක් පාමින් පැවසූ ප්‍රධාන පියතුමා අර්නස්ට් සිසුවා ව සෙමනේරියට බඳවා ගත්තේ ය. එතුමා පැවසූ පරිදි අර්නස්ට් පෝරුතොට තාත්තාගේ ම හොඳ පුතෙක් වූවේ ය. ඒ නිසා ම සිනමාව හා කලාව අරබයා කැරළිකරුවෙක් ද වූවේ ය.

මහාචාර්ය වෝල්ටර් මීමන සිය ලිපියේ සඳහන් කරන පරිද්දෙන් ම ක්‍රිස්තුන් වහන්සේගේ මේ දැවැන්ත ශ්‍රාවකයා, බුදුන්ව අගය කරන්නා, වේගවත් රාජාලියා, යන ගෞරව නාමයන් සියල්ලටම අත්‍යන්තයෙන් ම ගැළපුණු විශිෂ්ට ම කතෝලික මිනිසා යනාදියට හිමිකම් කී ඔහුට මේ මොහොතේ දී අප සැවොම නීරෝගී සුව පතමු.

Comments