සේවක අයිතීන් සුරක්ෂිත කරමු | සිළුමිණ

සේවක අයිතීන් සුරක්ෂිත කරමු

සමස්ත මානව සංස්කෘතියේම පැවැත්මට අභියෝග කරන පුංචි වයිරසයක් ලෝකයේ චින්තන ස්වරූපයත්්, ඇගයීම් හා වටිනාකම්වල මෙතෙක් කියැවීමත්් වෙනස් කර ඇත. ලෝකයම බිහිසුණු ව්‍යසනයකට පත්ව සිටින මොහොතක මෙතෙක් සමස්තය නීර්ණය කළ ආර්ථික වටිනාකම් රැස ක්‍රමයෙන් මානුෂික ඇගයුම් ක්‍රමයක් දක්වා රූපාන්තරණය වෙමින් තිබේ. ඒ සොබාදහමේ කියැවීම මනුෂ්‍ය වර්ගයාගේ ආධ්‍යාත්මික සුබ සිද්ධිය වෙනුවෙන් වුව ද; භෞතික අභිවෘද්ධිය සලසන ආර්ථිකයට නම් හොඳ කලදවසක් උදා වී නැත.

ලෝකයේ සමස්ත ආර්ථික යාන්ත්‍රණය බිඳ වැටෙන්නට ගත වූයේ සති තුනකටත් අඩු කාලයකි. The Economic Times වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කළේ ලොව වටා මිලියන 26කගේ රැකියා අහිමි වීමට නියමිත බව ය. 5.6ක අවම අගයක සිට මිලියන 24.7ක උපරිමය දක්වා ගෝලීය විරැකියාව වැඩි විය හැකිය. මේ අනුව 2020 අවසන් වන විට සේවය නිමාකරන සේවක පිරිසට ඇමරිකානු ඩොලර් බිලියන 860 ත් ට්‍රිලියන 3.4 ත් අතර විශාල ආදායමක් අහිමි වීමට නියමිත ය. ආර්ථික ක්‍රියාකාරකම් පහත වැටීම හේතුවෙන් ආදායම් අඩුවීම නිසා සමාජ ආරක්ෂණ අයිතීන් රහිතව දෛනික කුලී පදනමේ සිට ස්ථිර නොවන කොන්ත්‍රාත් හා කම්කරු, සංක්‍රමණික රැකියාවල නියුතු පුද්ගලයන්ගේ රැකියා අර්බුදයට ලක් වේ. අන්තර්ජාතික කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් ට අනුව මෙය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් පමණක්ම නොවේ; ගෝලීය ශ්‍රම වෙළෙඳපොළේ අර්බුදයකි.

ගෝලීය ශ්‍රම බලකායෙන් 81% ක සේවා ස්ථාන මේ මොහොත වනවිට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇත. ස්ථිරව හෝ තාවකාලිකව මේවායෙහි වැඩකරන සේවකයන්ද ඉවත් කර ඇත. ඔවුන්ගේ රැකියාවේ පැවැත්ම තහවරු කිරීම පිළිබඳ කිසිම ප්‍රායෝගික බලාපොරොත්තුවක් නැත. මේ අනුව දළ ඇස්තමේන්තු ප්‍රකාර ව රැකියා අහිමි වන ලෝක ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසන පරිද්දෙන් කෝටි 20කට අධිකය.

ලංකාවේ ආර්ථික තත්ත්වය ද මීට නොදැවෙනි නැත. ලංකාවේ ශ්‍රම බලකාය ලක්ෂ 85කි. ඉන් ලක්ෂ 36 ක් පුද්ගලික අංශයේ වන අතර; ලක්ෂ 34ක් ස්වයං රැකියාවල නිරත වෙති. ලක්ෂ 15 ක් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරති. ආර්ථිකය අඩපණ වීමේ මූලික ස්වරූපය ලෙස පුද්ගලික අංශයේ සේවකයන්ගේ රැකියා අවදානමට ලක් වී තිබේ. මේ වනවිට ඇගලුම් ක්ෂේත්‍රයේ සෘජු ශ්‍රමික බලකාය ලක්ෂ හතර ඉක්මවන අතර; වක්‍ර ශ්‍රම බලකාය ලක්ෂ 15ක් පමණ වේ. මේ අතර ඇගළුම් ක්ෂේත්‍රයේ නැවත රැකියාවලට කැඳවිය හැක්කේ 30% ක පමණ ප්‍රමාණයක් බවත් ඒ අනුව 70%කට රැකියා අහිමි වීමේ තර්ජනයක් මතුව ඇති බවටත් කියනු ඇසේ. 70% කට රැකියා රැකියා අහිමි වීම යනු පවුල් ලක්ෂ 13 කට පමණ යැපුම් මාර්ග අහිමි වීමකි. ඇගළුම් ක්ෂේත්‍රය ලංකාවේ ආරම්භ කර දශක ගණනාවකි. දශක ගණනාවක් පුරා ලාබ ඉපැයූ ක්ෂේත්‍රයක් මාසයක් වැසූ පමණින් කඩා වැටෙනවා කීම එක්තරා විහිලුවකි. අනෙක් අතට ආණ්ඩුව පසුගිය කාලය පුරා පෞද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා අති විශාල බදු සහන පැකේජ ද ලබා දුණි. වැට් බදු සංශෝධනය ඇතුළු බදු සහන නිසා රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකක් රජයට අහිමි වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය කාලයේ ප්‍රකාශ කර තිබිණි. එවන් තත්ත්වයක් යටතේ මාස දෙකක වැටුප් ගෙවා ගත නොහැකිව සේවක කප්පාදුකම් කරන මේවැනි ආයතන කොරෝනාව පිට දමා තමාගේ පටු අරමුණු ඉටු කරගන්නට සැරසෙන්නේදැයි කුකුසක් මතු වීම ස්වාභාවික ය. රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක ඔවුන් කල දුටු කල වළ ඉහ ගැනීමට සූදානම් වීම අභාග්‍ය සම්පන්න කරුණකි.

මේ අතර විදේශයන්හි රැකියාවල නිරත වුණු ලාංකිකයන් මෙරටට විදේශ විනිමය ඉපැයූ ප්‍රමුඛ සාධකයක් ව පැවතිණි. එහෙත් පවතින ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ විදේශයන්හි සේවයේ නියුතු බොහෝ පිරිසකට තම රැකියා අහිමි වීමට ඇති ඉඩකඩ විශාලය. ඒ අනුව රැකියා වියුක්තිකයන්ගේ ප්‍රමාණය තවත් ඉහළ යනු ඇත. බලාපොරොත්තුවේ සේයාවක් ව පවතින කෘෂිකාර්මික ප්‍රබෝධයට අවැසි පරිසරය සකස් කිරීමේ ලා රජය සක්‍රිය ව මැදිහත් වුවහොත් මේ උග්‍ර අර්බුදයෙන් යම් පමණකට ගොඩ ඒමේ හැකියාව ඇත. පැහැදිලි දිශානතියක් හා දැක්මක් ඔස්සේ ආර්ථිකය නඩත්තු කරගත නොහැකි වන ප්‍රධාන බලවේග අතර ප්‍රමුඛ තැනක් ගන්නේ වසංගත පැතිරීම ය. මෙවැනි වසංගතයක් අවසන් වූ ඉනික්බිති කාලයක් තිස්සේ මිනිස්සු විරැකියාව, දුගී බව හා කුසගින්න අත්විඳිනු ලැබීම අනිවාර්ය කරුණකි.

අරුන්දතී රෝයි පසුගියදා හරි අපූරු කතාවක් කීවේය. ඒ “ඉතිහාසය පුරාම වසංගත නිසා මිනිසුන්ට අතීතය බිඳ දමා ඔවුන්ගේ ලෝකය අලුතෙන් මවා ගැනීමට බල කෙරී ඇත. කොවිඩ් 19 ඊට නොවෙනස් තත්ත්වයකි. එය ලෝකයක් සහ තවත් ලෝකයක් අතර වන ද්වාරයකි“. ලෝකයක් හා තවත් ලෝකයක් අතර වන ද්වාරයට යෑමට අපට රාජ්‍ය අංශය පමණක් ශක්තිමත් වී නොහැකිය. මේ ව්‍යසනය අවස්ථාවේ මානව සම්පත රැක ගැනීමේ ලා අතිවිශිෂ්ට කැපවීමක් කළ රජයට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමේ ලා සියල්ලන්ගේම ශක්තිය ඇවැසි ය. එනිසා රාජ්‍ය හා පෞද්ගලික අංශ යම් කැපවීමක් කර හෝ අප මානව සම්පතට උදාවීමට නියමිත ආර්ථික ගැටලුවලට ශක්තියක් වන්නට හැකි නම් වසංගතයෙන් පසු සිටියාටත් වඩා ශක්තිමත් ව අපට නැඟී සිටීමට හැකිවනු ඇත.

රැක ගැනීමට අපහසු මානව සම්පතයි. දියුණු යැයි සම්මත රටවලට රැක ගැනීමට නොහැකි වූයේත් මානව සම්පතයි. අපහසු දේ කළ රජයට ඉදිරියේ ඇති දෙවැනි බාධකය වන ආර්ථිකය ජය ගැන්මට ශක්තිය දෙන්නැයි පෞද්ගලික අංශයෙන් අප ඉල්ලා සිටින්නේ ඒ නිසාය.

Comments