කොරෝනාව සමුගන්නා ලකුණු! | Page 3 | සිළුමිණ

කොරෝනාව සමුගන්නා ලකුණු!

කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය සමත්ව ඇති හෙයින් අප්‍රේල් 20 සිට දිවා කාලයේදී තෝරාගත් දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව දිනපතා පෙ.ව. 6.00ට ඉවත් ඇඳිරි නීතිය ඉවත් කර යළි රාත්‍රී 8.00ට පැනවීමට අවධානය යොමු වී තිබේ.දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කළ ද රාජ්‍ය අංශවල තෝරාගත් සේවකයන්ගෙන් 20% ක ප්‍රමාණයක් රැකියා ස්ථාන කරා ගෙන්වීමට සැලසුම් කෙරෙන බව ද දැන ගන්නට ඇත.

ආරම්භයක් ලෙස දැනට රෝගීන් වාර්තා වී නැති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීම සිදු වනු ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ රට වසා තැබීම සැම දා කළ නොහැකි බවත් එසේ වුවත් ඒ සියලු කටයුතු සිදු කරන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙනු ලබන නිර්දේශ දැඩි ලෙස සැලකිල්ලට ගනිමින් බව කීවාය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේද රට තුළ මේ වන විට කොරෝනා වයිරසයෙන් කිසිදු බලපෑමක් නොවූ දිස්ත්‍රික්ක ප්‍රමුඛ කරගෙන නැවත වතාවක් කර්මාන්ත ආරම්භ කිරීමට සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීමට ක‍්‍රියාමාර්ග සකස් කරන බවයි. ඒ සඳහා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සෘජුවම සම්බන්ධ වන බවද ඔහු පැවසීය. මාතලේ, නුවරඑළිය, හම්බන්තොට, කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොලොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලින් මේ දක්වා කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී නැත.

විශ්වවිද්‍යාල හා පාසල්ද මැයි මස 11 වැනිදා සිට පියවරෙන් පියවර ආරම්භ කිරීමට අදාළ අංශවලට බලය පවරා ඇත.

අතවශ්‍ය රාජකාරි පිණිස යන අය වෙනුවෙන් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කෙරෙන අතර සති දෙකක් යන තුරු පොදු ප්‍රවාහනය ගාස්තුවලින් නිදහස්ව පවත්වා ගෙන යෑමටත් අත්‍යවශ්‍ය රාජකාරි සඳහා යන අයට පමණක් එම ප්‍රවාහන සේවා භාවිතයට අවසර ලබා දෙන බවද පසුගිය සිකුරාදා පැවති විශේෂ සාකච්ඡාවකදී ප්‍රවාහන ඇමැතිවරයා තීරණය කර තිබේ. ඒ සම්බන්ධ අවසන් තීරණය එළැඹෙන බදාදා (22) ලබා දෙනු ඇත.

එසේම සියලු අපනයන කර්මාන්ත නිෂ්පාදන නැවත ආරම්භ කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය ද කටයුතු යොදා ඇත. කෙසේ වෙතත් කොරෝනා අධි අවදානම් කලාප ලෙස නම්කර ඇති කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක මෙන්ම යාපනයේ හා මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකද ඇඳිරි නීතිය ඉවත් කිරිම සම්බන්ධව කිසිදු තීරණයක් ගෙන නැත.

 

 

Comments