Covid_19 - ලොව පුරා පවතින තත්ත්වය | සිළුමිණ

Covid_19 - ලොව පුරා පවතින තත්ත්වය

කොරෝනාවෛරසය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් අඟහරුවාදා (අප්‍රේල් 7) දින තුළ පමණක් මරණ 1800 ට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ අතර, එය එක් දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව, එරට මුළු මරණ සංඛ්‍යාව 13,000 කට ආසන්න වී තිබේ.

මේ වන විට එක්සත් ජනපදයේ කොරෝනාවෛරස් රෝගීන් 398,000 කට වඩා සිටින අතර එය ලෝකයේ රටවල් අතර වැඩිම සංඛ්‍යාව වේ. ගෝලීය වශයෙන් කොරෝනාවෛරස් රෝගීන් ගණන මිලියන 1.4 ඉක්මවා ඇත.

කෙසේවෙතත්, මාධ්‍ය හමුවකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ එක්සත් ජනපදය රෝග "වක්‍රයේ" (curve) මුදුනට පැමිණීමට ඉඩ ඇති බවය.

ප්‍රකාශයට පත් කරන ලද මරණවලින් විශාල ප්‍රමාණයක් වාර්තා වන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයෙනි. ඇමරිකාවේ වෛරසය ව්‍යාප්ත වූ කේන්ද්‍රස්ථානය ලෙස සැළකෙන එහි අඟහරුවාදා (අප්‍රේල් 7) දින මරණ 731 ක් වාර්තා විය.

නිව්යෝර්ක්හි පමණක් සිටින රෝගීන් ගණන මුළු ඉතාලියේම සිටින රෝගීන් ගණන අභිබවා යමින් තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ දත්ත අනුව, ශ්‍රී ලංකාව තුළ බදාදා (අප්‍රේල් 08) කොරෝනාවෛරස් රෝගීන් 189 ක් සහ මරණ 07 ක් වාර්තා වී තිබේ.

එමෙන්ම, පුද්ගලයන් 44ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

බදාදා (අප්‍රේල් 8) වන විට කොරෝනාවෛරසය වැළදී ඇතැයි සැකකෙරෙන රෝගීන් 228 ක් රෝහල්ගත කර සිටිති.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොරෝනාවෛරස ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව රජය පවසයි.

සෙසු සියලු දිස්ත්‍රික්කවල බ්‍රහස්පතින්දා (අප්‍රේල් 09) උදෑසන 06.00 ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04.00 ට යළි පනවනු ලැබේ. මෙම දිස්ත්‍රික්කවල එසේ යළි පනවන ඇඳිරි නීතිය අප්‍රේල් 14 උදෑසන 06.00 ට ඉවත් කොට එදිනම සවස 04.00 සිට නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මැදපෙරදිග තත්ත්වය

යුදෙව් ජනතාවගේ ප්‍රධාන ආගමික නිවාඩු සමයක් එළඹෙන බැවින් පෙර ඊශ්‍රායලය පුරා බලපැවැත්වෙන පරිදි එරට ජනයා නිවාසවලට සීමා කර (lockdown) තිබේ. සිකුරාදා දින දක්වා නගර අතර ගමනාගමනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. ඊශ්‍රායල ජාතිකයින් 9,400 කට වැඩි සංඛ්‍යාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙන බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර මේ වන විට 71 දෙනෙකු මියගොස් තිබේ.

ඊජිප්තුවේ රෝගීන් 1,450 ක් හා මරණ 94 ක් වාර්තා වී ඇති අතර දෙසතියකින් පමණ ආරම්භ වීමට නියමිත රාමසාන් මාසය තුළ ආගමික ඒකරාශී තහනම් කරන බව රජය නිවේදනය කර තිබේ.වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ඩොලර් බිලියන 5 ක ණය ආධාරයක් සඳහා කර ඇති ඉල්ලීම පිළිගන්නා ලෙස ඉරානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉල්ලා තිබේ.ණය අනුමත කිරීමේදී "කිසිදු වෙනස්කොට සැළකීමක් සිදු නොකළ යුතු" බවට ජනාධිපති හසන් රුහානි අනතුරු අඟවා තිබේ. එක්සත් ජනපදය පවසා ඇත්තේ ඉරානය මෙම ණය මුදල සම්බාධකවලට එරෙහිව යොදා ගැනීමට කටයුතු කරනු ඇති බවය. කොවිඩ් -19 වෛරසයෙන් වඩාත් දරුණු ලෙස පීඩාවට පත් වූ රටවල් අතර ඉරානය ද සිටින අතර මේ වන විට රෝගීන් 62,589 ක් සහ මරණ 3,872 ක් වාර්තා වී තිබේ.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා රජය පනවා ඇති නීති අනුගමනය කිරීමට අපොහොසත් වුවහොත් ඉදිරි සති කීපය තුළ පුද්ගලයින් 200,000 ක් දක්වා ප්‍රමාණයකට වෛරසය ආසාදනය විය හැකි බවට සෞදි අරාබියේ සෞඛ්‍ය ඇමතිවරයා අනතුරු අඟවා තිබේ. සෞදි අරාබිය තුළ අවම වශයෙන් රෝගීන් 2,795 ක් වාර්තා වී ඇති අතර 41 දෙනෙකු මියගොස් තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති තවමත් දැඩි සත්කාර ඒකකයේ

"ඔහුගේ තත්ත්වය ස්ථාවරයි, සුව පහසුව සිටිනවා. ඔහු හොඳ ආත්මශක්තියකින් සිටිනවා. ඔහුට ඔක්සිජන් ලබා දුන්නත්, ශ්වසන අධාරක යන්ත්‍රයට (වෙන්ටිලේටර්) සම්බන්ධ කර නැහැ," බ්‍රිතාන්‍යය විදේශ ඇමතිවරයා පැවසීය.

මේ අතර, එංගලන්තයේ වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂඥ වෛද්‍යවරයකු වන ඇන්ටන් සෙබස්තියන්පිල්ලෙයි කොවිඩ් -19 වැළඳීමෙන් මියගොස් තිබේ.

70 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය ඇන්ටන් සෙබස්තියන්පිල්ලෙයි 1967 දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලබා පසුව විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස ලන්ඩන් නුවර රෝහලක දීර්ඝ කාලයක් සේවයේ නිරත වී තිබේ.

මේ වන විට එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 6,159ක් මියගොස් ඇති අතර, ආසාදිතයන් 55,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වේ.

උතුරු කොරියාව

උතුරු කොරියාවේ පුද්ගලයින් 709 ක් පමණ පරීක්ෂාවට ලක් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එරට කොරෝනාවෛරස් රෝගීන්ගෙන් "සම්පූර්ණයෙන්ම නිදහස්" බව උතුරු කොරියාව නිවේදනය කර තිබේ.

පරීක්ෂාවට ලක් කළ පුද්ගලයන්ගෙන් 11 දෙනෙකු විදේශිකයන් වන අතර 698 ක් එරට වැසියන් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උතුරු කොරියානු නියෝජිත ආචාර්ය එඩ්වින් සැල්වදෝර් රොයිටර් පුවත් සේවයට පැවසීය.

උතුරු කොරියාවේ ජනගහනය මිලියන 25 ක් පමණ වන අතර, මෙයින් අදහස් කෙරෙන්නේ ජනගහනයෙන් ඉතා සුළු කොටසක් පමණක් පරීක්ෂාවට ලක් කර ඇති බවය.

ජර්මනිය: 100,000 ඉක්මවයි

බෝවන රෝග පිලිබඳ ආයතනයක් වන රොබට් කෝච් දත්ත වලට අනුව, නව ආසාදිතයන් ගණන 4,003 කින් ඉහළ යාමත් සමග, ජර්මනියේ දැනට තහවුරු වී ඇති කොරෝනාවෛරස් රෝගීන් ගණන 103,228 කි.

නමුත් මරණ සංඛ්‍යාව 1,861 ක් තරම් අඩු මට්ටමක පවතින බව වාර්තා වේ.

ජර්මනියේ මරණ අනුපාතය සාපේක්ෂව අඩු වන්නේ පරීක්ෂණ සිදු කිරීමේ වේගවත් ක්‍රමවේදය නිසා විය හැකි බව බොහෝ විශේෂඥයෝ පවසති. ජර්මනිය සතියකට කොරෝනාවෛරස් පරීක්ෂණ 350,000 ක් පමණ පවත්වයි. එය වෙනත් යුරෝපීය රටවලට වඩා බොහෝ වැඩි ගණනකි.

වූහාන් නැවත විවෘත වේලොව සෙසු රටවල ජනයා ක්‍රම ක්‍රමයෙන් නිවාසවලට කොටු වෙද්දී , පසුගිය දෙසැම්බර් මස මෙම වෛරසය ප්‍රථමයෙන් මතු වූ චීනයේ වූහාන් නගරයේ ජනයා වෙත පනවා තිබූ සීමා ලිහිල් වෙමින් පවතී.

සෞඛ්‍ය සම්පන්න යැයි තහවුරු කළ පදිංචිකරුවන්ට සහ අමුත්තන්ට දැන් නගරයෙන් පිටව යා හැකිය. දුම්රිය, මාර්ග සහ දුම්රිය සම්බන්ධ වීම් ද නැවත ආරම්භ වී තිබේ.මිලියන 11 ක ජනගහනයක් සිටින වූහාන් නගරය වසා දමා සති 11 ක් ගතවී ඇත.

වෛරසය පැතිරීම ආරම්භ වූ දා සිට චීනයේ පුද්ගලයින් 3,300ට වැඩි පිරිසක් මිය ගොස් ඇත. ඔවුන්ගෙන් බහුතරය වූහාන් පිහිටා ඇති හුබෙයි පළාතෙන් වාර්තා විය. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව චීනයේ 81,740ට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ජපානය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

ජපානය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මාසයක් පුරා පැවතීමට නියමිත හදිසි තත්ත්වයේ පළමු දිනය ගෙවමින් සිටිති.

ටෝකියෝ අගනුවර, වරාය නගරයක් වන ඔසාකා සහ තවත් ප්‍රාන්ත පහකට මෙම හදිසි තත්ත්වය බල පැවැත්වේ. හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම තුළ පාසල් සහ ව්‍යාපාර වසා දැමීමට ආණ්ඩුකාරවරුන්ට බලය ලැබේ. කෙසේ වුවත් අදාළ ආයතන ඊට අනුකූලත්වයක් නොදැක් වුව ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීමේ හැකියාවක් නොමැත.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත අනුව මේ වන විට ජපානයේ රෝගීන් 3,906 ක් සහ මරණ 92 ක් වාර්තා වී තිබේ.

Comments