‘අහස් නවයේ පාලම’ ඉදි කර සුද්දන් මවිත කළ අපේ අප්පුහාමි | Page 3 | සිළුමිණ

‘අහස් නවයේ පාලම’ ඉදි කර සුද්දන් මවිත කළ අපේ අප්පුහාමි

 

• පළමු කෝච්චිය යනකම් අප්පුහාමි පාලම යට නිදා ගත්තාලු

 

• ඔහු කිසිදිනෙක පාසල් ගොස් නෑ

 

• තෑගි වශයෙන් අප්පුහාමිට රිදී කාසි මලු අටක් ලැබිලා

 

ලොව විස්මිත නිමැවුම් ඇත්තේ අතේ ඇගිලි ගණනට ය. ඒ අතරිනුත් නිර්මාණාත්මක නිිමැවුම් ඇත්තේ ඊටත් අඩුවෙනි. ලංකාව ඉංග්‍රීසීන්ගේ යටතට පත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ වැවිලි තමන්ගේ රට වෙත අපනයනය කිරීමට අගනුවරට ගෙන එන ක්‍රමවේද තිබුණේ නැත. රේල් පාරේ අවශ්‍යතාව එන්නේ ඒ ආකාරයට ය. එහෙත් කඳුහෙල් බහුල මාර්ගයේ රේල්පාර සෑදීම ලේසි වන්නේ නැත. තැනින් තැන තාක්ෂණයටත් වඩා අවශ්‍ය වූයේ නිර්මාණශීලීත්වය ප්‍රමුඛ වූ හැඩතලය. දෙමෝදර පාලම ගොඩනැඟීමේ තාක්ෂණික අවශ්‍යතාව මතුවන්නේ ජයගැනීමට අපහසු භූගෝලීය විෂමතාවක් සමඟිනි. මේ සුද්දාටත් තාක්ෂණය ඉගැන්වූ දෙමෝදර පාලමේ සැලසුම් ශිල්පියා වූ අපේ අප්පුහාමිගේ කතාවය.

 

දෙමෝදර ඔස්‌සේ දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ගැටලුවකට එහි ඉදිකිරීම් සිදුකළ සුදු ජාතිකයන් මුහුණදී ඇත. භු විෂමතාව අනුව බණ්‌ඩාරවෙල සිට සැතපුම් 3 1/2 ක පමණ අමතර දුරක්‌ දුම්රිය මාර්ගය ඉදිකිරීමට සිදුවී ඇත.එසේ නොමැතිව එම ස්‌ථානයෙන් දුම්රියක්‌ ධාවනය කිරීමට නොහැකියයි සිතමින් ඒ පිළිබඳ කල්පනා කරමින් සිටියදී දෙමෝදර කඳු මුදුනෙහි හරක්‌ බලමින් සිටි ගොපල්ලා අපූරු අදහසක්‌ ඉදිරිපත් කළේය.සිය හිසෙහි ජටාව බඳින ආකාරය පෙන්වා කන්ද වටා එම ආකාරයට දුම්රිය මාර්ගය ඉදිකිරීම සුදුසු බව ඔහුගේ උපදේශය විය.

ඒ අනුව කන්ද වටා ගොස්‌ දුම්රිය ස්‌ථානයට යටින් උමගකින්ද ගොස්‌ දුම්රිය ධාවනය කිරීමට සුදුසු දුම්රිය මාර්ගයක්‌ ඉංග්‍රීසි පාලකයන් විසින් ඉදිකරන ලදී.ජනප්‍රවාදයේ එලෙස අදහසක්‌ පැවතියද ඉංග්‍රීසි ඉංජිනේරුවන් ද මවිත කරමින් එම දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා උපදෙස්‌ ලබාදෙන ලද්දේ සුප්‍රකට ඉංජිනේරු ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර මහතා විසිනි. මෙහි ඇති උමග එම දුම්රිය ස්‌ථානය යට පිහිටීමද තවත් විශේෂත්වයකි. අඩි 416 ක්‌ හෙවත් මීටර් 170 ක්‌ පමණ එම උමග දිගින් යුතුය. කොළඹ සිට ගමන් ගන්නා දුම්රිය මාර්ගය කි.මී. 277.64-277.814 අතර එම දුම්රිය උමග ඉදිකොට තිබේ. මෙම දුම්රිය මාර්ගය කන්ද වටා ගමන් කරන්නේ ආනතියකින් යුතුවය. අඩි 44 ට අඩි 1 ක්‌ ලෙස එහි ආනතිය තබා ඇත.

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රදේශය කරා පැමිණෙන කිසිවකුගේ නෙත් සිත් වසඟ කරගත් ස්ථානයක් වේ නම් ඒ අහස් නවයේ පාලමයි. කිසියම් අයෙක් මෙම පාලම යටින් හිඳ ආරුක්කු නවය අතරින් බැලූ විට ‘අහස නවයක්’ දිස් වේ. එබැවින් එකල ගැමියන් මෙය අහස් පාලම නමින් හඳුන්වා ඇත. නමුත් අද බොහෝ දෙනා මෙය දන්නේ දෙමෝදර ආරුක්කු නවයේ පාලම කියාය. මෙම පාලම දැකිය හැක්කේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී ය.

පාලම පිහිටි ස්ථානයට ළඟාවිය හැකි මාර්ග කිහිපයක් ඇත. බදුලු මාර්ගයේ දෙමෝදර හන්දියේ සිට ආරුක්කු නවයේ පාලම අසලට පැමිණිය හැකි මාර්ගය ඉන් එකකි. එසේම දෙමෝදර දුම්රිය ස්ථානයේ සිට කි.මී. 2ක් පමණ ආපස්සට පැමිණ හෝ ඇල්ල දුම්රිය ස්ථානයේ සිට කි.මී. 2ක් පමණ ඉදිරියට ගමන් කිරීමෙන් මෙම ස්ථානයට ළඟා විය හැකි ය. මීට පිවිසිය හැකි අනෙක් මාර්ගය නම් ඇල්ල නගරයේ සිට නමුණුකුල පාරේ කිලෝමීටරයක් පමණ ගිය තැන හමුවන කෝවිල අසලින් වැටී ඇති මාර්ගය යි. විදේශිකයන් මෙන්ම සංචාරය සඳහා පැමිණෙන වැඩි දෙනා කැමැත්තක් දක්වන්නේ මේ මාර්ගයේ ගමන් කිරීමටය. අපේ ගමන් මඟ වැටී තිබුණේ ද එම මාර්ගයේය.

මෙම පාලම ‘අහස් නවයේ පාලම’, ‘ආරුක්කු නවයේ පාලම’, ‘ගල් පාලම’, ‘දෙමෝදර පාලම’ ආදී නම්වලින් හ‍ඳුන්වති. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ඇල්ල සහ දෙමෝදර යන දුම්රිය ස්ථාන දෙක අතර ගොටුවල හි මෙම ආරුක්කු නවයේ පාලම ඉදිකර ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 3100ක් පමණ ඉහළින් පිහිටා ඇති මෙය උසින් අඩි 99.6ක් ද, පළලින් අඩි 25ක් ද සහ දිගින් අඩි 300කින් ද යුක්ත වේ.

මෙම පාලම ඉදි වූ ආකාරය ගැන ජනප්‍රවාද ගත රසවත් කතාවක් වන්නේ “අප්පුහාමි” බාසුන්නෑහේ පිළිබඳ කතාවය.

එකල උඩරට දුම්රිය මාර්ගය නිම කරමින් පැමිණි සුදු ජාතිකයන්ට ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබ්බෙහි තිබුණු මහා නිම්නය වංගුවක් වූ හෙයින් පාලමක් දැමීම අසීරු කාර්යයක් වී තිබිණ. එහි තිබුණු සංකීර්ණතාවය නිසා ඊට පිළියමක් සෙවූ බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා යකඩ පාලමක ආකෘතියක් සකසා එය එංගලන්තයට යවා නිමවා මෙරටට රැගෙන ආවේය. ඇල්ල සිට දෙමෝදර අතර දුම්රිය මාර්ගය සැතපුම් 169 කණුව අසලින් කඳු දෙකක් යා කර මෙම යකඩ පාලම යොදා සම්බන්ධ කිරීම ඔහුගේ අභිප්‍රාය විය. නමුත් ගෙන එන ලද යකඩ පාලම මෙම ස්ථානයට ගෙනැවිත් සවි කිරීමට උත්සාහ කිරීමේදී එය දිගින් අඩු වූයෙන් එම කාර්ය අසාර්ථක විය. විශාල වියදමක් දරා සිදු කළ මෙම කාර්යය අසාර්ථක වීමත් සමඟ සුදු ජාතික ඉංජිනේරුවරයා මහත් අසීරුතාවකට පත් වූ අතර ඔහුගේ රැකියාව ද අහිමිවන තත්ත්වයට පත් විය. තම කාර්යය අසාර්ථක වීමෙන් මහත් ලැජ්ජාවට පත් ඉංජිනේරුවරයා දිව තොරකර ගැනීමට සිතා සිටියදී පී.කේ. අප්පුහාමි නම් ගැමියකු ඔහුගේ පිහිටට පැමිණියේය. හෙතෙම වැලිමඩ කැප්පෙටිපොළ පෙල්ලවින්නේ උපන්නෙකි.

අප්පුහාමි තමන්ගේ අත්දැකීම් හා පළපුරුද්ද යොදා ගනිමින් මේ සඳහා වෙනත් අදහසක් ඉදිරිපත් කළේය. ඒ අනුව නිම්නය පහළ මඩ වගුර කළු ගල්වලින් පුරවා අත්තිවාරම සකස් කර ඒ මත ආරුක්කු නමයකින් යුක්තව පාලමක් ඉදිකිරීමට යෝජනා විය.

අප්පුහාමිගේ අදහසට ඉංජිනේරුවරයා එකඟ වුවද ඇත්තෙන්ම එය කළ හැකි කාර්යයක්දැයි සැක පහළ කළේය. තමන්ට මේ සඳහා වැටුප් අවශ්‍ය නොවන බව පැවසූ අප්පුහාමි තම සහයට අවශ්‍ය සේවකයන් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. අනතුරුව ඔහු මත විශ්වාසය තුබූ ඉංජිනේරුවරයා ඒ සඳහා අවශ්‍ය සේවකයන් සහ අමුද්‍රව්‍ය ඔහුට ලබාදීමට කටයුතු කළේය.

කඳු දෙක මුදුනේ පිහිටි කළු ගල් ඩයිනමයිට් යොදා පුපුරවා ඒ ගල් කුට්ටි සේවකයන් යොදා වේගයෙන් පහතට පෙරළා මඩ වගුරේ පතුලටම ගිල්වා අත්තිවාරම සකස් කර තිබේ. ඒ මත මේ ආරුක්කු නමයකින් යුතු අලංකාර පාලම ඉදිකර තිබේ.

එසේ දුම්රිය මාර්ගය ඉදි කළ ද දුම්රියක් ධාවනය කිරීමට තරම් එම පාලම යෝග්‍ය දැයි ඉංජිනේරුවරයාට සැක සිතිණ. දුම්රිය දරාගැනීමට තරම් ශක්තියක් පාලමේ තිබේදැයි තමා තුළ බිය මුසු සැකයක් ඇති බව ඉංජිනේරුවරයා අප්පුහාමිට දන්වා සිටියේය. ඊට පිළිතුරු ලෙස අප්පුහාමි බාසුන්නැහේ පාලමේ ආරුක්කුවක් යට නිදාගන්නා බව පැවසීය. කිව් ලෙසම පළමු දුම්රිය ගමන සිදු වෙද්දී අප්පුහාමි සරමක් එලා එහි වැතිරී සිටියේලු. දුම්රිය පාලම මතින් ධාවනය වී මෙන් පසුව පහළට පැමිණි ඉංජිනේරුවරයා ඔහු වැළඳගෙන සිය සතුට ප්‍රකාශ කර ඇත. ගොටුවල ගම්මානයේ ඉදි වූ මෙම දෙමෝදර ආරුක්කු නවයේ පාලමේ විශේෂත්වය වන්නේ පාෂාණ, ගඩොල් සහ සිමෙන්ති පමණක් මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගෙන තිබීමය.

අප්පුහාමිගේ මේ ක්‍රියාව මහත් සේ අගය කළ සුදු ජාතික ඉංජිනේරුවරයා නොයෙක් අන්දමින් ප්‍රශංසා කර වැටුප් ලබාදී ඔහුගේ කාර්යය පිළිබඳව කොළඹ දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමටද කටයුතු කළේය.

පසුව කළ සේවය අගයමින් දුම්රිය දෙපාර්තමේන්තුව පී.කේ. අප්පුහාමිට රිදී කාසි පුරවන ලද මලු අටක් තෑගි කර තිබේ. ඔහු එම මුදලින් කොටසක් වැය කර මෝටර් රථයක් මිලදී ගෙන උපන්ගම වන පෙල්ලවින්නට හා එරබද්ද යන ගම්මාන දෙකේ සංචාරය කරන අතරතුර එම ග්‍රාමවාසීන්ට ආහාර වේලක් ලබාදී රිදී කාසියක් ද තෑගි කර ඇත.

පී.කේ අප්පුහාමි පාසල් ගිය අයකු නොවේ. උපතින් ගොවියකු වූ හෙතෙම කොහොඹයක්කංකාරිය, බලි, තොවිල් ආදි වූ යාතුකර්ම කටයුතුවලට සහභාගි වී ඇත. හෙතෙම නැටීමටත් බෙර වාදනයටත් උපන්හපන් හැකියාවකින් යුතු වූවෙකි.වර්තමානයේ බොහෝ ලාංකිකයන් මේ අප්පුහාමි බාසුන්නැහේ විශ්වකර්ම නිර්මාණකරුවකු ලෙස හඳුන්වයි. මේ අහස් නවයේ පාලම සකසා සුද්දන් මවිතයට පත් කිරීමට ඔහු සමත් විය.

එදා අප්පුහාමි හැදූ දෙමෝදර පාලම බලන්නට ගිය අපට පාදමේ සිට අඩි 50ක් පමණ ඉහළින් පිහිටි සිමෙන්ති මිශ්‍ර පාෂාණ කුට්ටිවල බාහිරව යොදා ඇති බදාම ස්ථර බොහොමයක් ගැලවී ගොස් තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකි විය. එසේම තවත් ස්ථාන රැසක පාෂාණ කොටස් ගැලවී යාමේ තර්ජනයට ලක්ව ඇත. ඉහළ සිට වැටෙන වැසි දිය ධාරා හේතුවෙන්, බදාම ස්ථරය ගැලවී පසුව, අභ්‍යන්තරය දක්වා ජලය කාන්දුවීම මීට එක් හේතුවක් වන්නට ඇතැයි, විශ්වාස කළ හැකිය. මේ ස්ථානයට පැමිණෙන ඕනෑම අයෙකුට පාලමේ ආරුක්කුවල ඉහළ කොන්ක්‍රීට් සහිත කොටස්වල අධික ලෙස ජලය රැඳී පහළට වැටෙන අයුරු දැකගත හැකිය. පාලමේ ඉහළ සිට නරඹන කෙනෙකුට මෙම තත්ත්වය දැකගත නොහැකි වීම හේතුවෙන් සෞන්දර්යාත්මක මෙන්ම ඓතිහාසික වටිනාකමකින් යුතු මෙය කාගේත් අවධානයට ලක් වී නැත. එනිසා කොරෝනා වසංගතය මෙරටින් තුරන් කළ විගස අදාළ බලධාරීන් මේ කෙරෙහි අවදානය යොමු කර අවශ්‍ය පිළියම් කරනු ඇතැයි විශ්වාස කරමු.

Comments