විකුණු අලවලට මුදල් නොලැබීමෙන් අර්තාපල් ගොවියෝ කබලෙන් ළිපට | Page 2 | සිළුමිණ

විකුණු අලවලට මුදල් නොලැබීමෙන් අර්තාපල් ගොවියෝ කබලෙන් ළිපට

ඕනෑම භාණ්ඩයක මිල තිරණය කරන්නේ නිෂ්පාදකයාය. නමුත් දේශිය ගොවි නිෂ්පාදනයේ මිල තීරණය කරන්නේ අතර මැදි වෙළෙන්දාය. දහදුක් විඳ වගා කරන ගොවියාගේ නිෂ්පාදනවලට වෙළෙන්දා මිලක් නොදෙන විට ගොවීහු තමන්ගේ වගා අර්තාපල් අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලා මහමඟ අරගල කරති. 2018 - 19 අර්තාපල් වගා කන්නයේ මිල පහත වැටීම නිසා පසුගිය රජය මැදිහත් විමෙන් ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිතිය මගින් මිලදි ගත් අර්තාපල්වලට 20 % ක පමණ මුදලක් වසරකට වැඩිකාලයක් ගතවී ඇතත් මෙතෙක් ලබා නොදිම නිසා තමන් මහත් පීඩාවකට පත්ව ඇති නිසා කඩිනමින් අදාළ මුදල ලබාදීමට මැදිහත් වෙන ලෙසට වැලිමඩ සානුවේ අර්තාපල් ගොවින් රජයෙන් ඉල්ලා සිටි.

පසුගිය 2018 යල අර්තාපල් වගා කන්නයට අයත් අර්තාපල් මිල පහත යෑම නිසා එවකට පැවැති රජයේ මැදිහත් විමෙන් ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිතිය මඟින් වැලිමඩ සානුවේ අර්තාපල් මිලට පියවර ගන්නා ලදි. ඒ අනුව වැලිමඩ හා ඌවපරණගම යන ප්‍රදේශවලදි කිලෝව රුපියල් 95කට මිලදි ගැනීමටත් එයින් රුපියල් 03ක් කොමිස් මුදලක් පාරිභෝගික සමුපකාර සමිතිය විසින් ගොවින්ගෙන් අය කර ගෙන ඇත. ඒ වුවත් එම සමුපාකර සමිතිය ගොවීන්ට නිකුත් කර ඇති ලදුපත්වල අර්තාපල් කිලෝවක මිල රුපියල් 92 ක් ලෙසට සටහන් කර ඇතැයි ගොවියෝ පවසති. එසේම සාමාන්‍යයෙන් බිල් පතට අදාළ මුළු මුදල සටහන් කර කොමිස් මුදල බිල්පතින් අඩු කර පෙන්විය යුතු මුත් එම මිලට ගැනිමේ දී කොමිස් මුදල සටහන් කර නැති නිසා එම අත යට ගනුදෙනුවක් සිදුවන්නට ඇතැයි ගොවියෝ සැක කරති. අර්තාපල් ණය පදනමින් ලබාගෙන ඇති අතර ගොවින් 300ක් පමණ පිරිසකට රුපියල් කොටි 21720487. 33 ක පමණ මුදලක් ගෙවීමට ඇතැයි වැලිමඩ - ඌවපරණගම ඒකාබද්ද ගොවි පෙරමුණ පවසයි.

බොරලන්ද ඊ.ඒ. සේනාරත්න ගොවි මහතා (65)

මම පාරම්පරික අර්තාපල් වගා කරන ගොවියෙක්. මම සෑම වසරකම මහා කන්නයේ අර්තාපල් වගා කරනවා. එම අස්වැන්නෙන් වැඩි කොටසක් බීජ කර යල් කන්නයේදි කුඹුරුවල වගා කරනවා. එසේ කුඹුරුවල වගා කරන අස්වැන්න විකුණලා තමයි මහා කන්නයේ හා යල් කන්නයේ ආදායම උපයා ගන්නේ. 2018 යල් කන්නයේ අර්තාපල් අස්වනුවල මිළ පහත යෑම නිසා අර්තාපල් ගොවින් දැඩි අසිරුවට පත් වුණා. එම අවස්ථාවේ දී හිටපු ඇමැති රවින්ද්‍ර සමරවීර මහතා රජයේ මැදිහත් විම මත ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිතිය විසින් අර්තාපල් මිලට ගන්න ඉදිරිපත් වුණා . අර්තාපල් කිලෝවට රුපියල් 95ක් නියම කළා. එම මුදලින් කිලෝවට රුපියල් 03ක කොමිස් මුදලක් අපෙන් අය ගැනිමටද පියවර ගත්තා. ණය පදනමින් බිල්පත්වලට කිලෝව රුපියල් 92 ලෙසින් සටහන් කරමින් මිලට ලබාගත් මගේ අර්තාපල්වලට රුපියල් 60000/ ක පමණ මුදලක් ගන්න තිබෙනවා. පසුගිය 2018 ඔක්තෝබර් මාසයේ සිට එම මුදල ලබාගන්න පෙරුම් පුරනවා . අපි මෙම මුදල ලබා දෙන ලෙසට කොතෙක් ඉල්ලූවත් නිසි පිළිතුරක් නොලැබෙන නිසා මෙයට මැදිහත් වෙන්න කියා ඇමැති රවින්ද්‍ර සමරවීර මහතාගෙන් ඉල්ලා සිටියා. වසරකට වැඩි කාලයක් ගතවෙලා පෙනෙන මානයක මුදල් ලැබෙන පාටක් නැති නිසා කිසිදු එළවළුවක් වගා කරන්න මුදල් නැතිකමින් ගොවිතැනින් ඉවත් වෙලා දැන් ත්‍රී රෝද රැකියාවේ නියැළෙනවා.

බොරලන්ද හීන්නාරංගොල්ල ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික කේ.ජයසේන ගොවි මහතා (66) අපේ එකම අදායම රැඳී තියෙන්නේ අර්තාපල් වගාවෙන්. අපි කදු කන්නයේ විදේශ බීජ අර්තාපල් කිලෝ 50 වගා කරන්න රුපියල් 30000 පමණ මුදලක් වැයවෙනවා. එම වගාවෙන් ලැබෙන අස්වැන්නෙන් වැඩි කොටසක් යලට කුඹුරුවල වගාවට බීජ ලෙසට සකසා ගන්නවා. පසුගිය 2018 වසරේ යල් කන්නයේ අර්තාපල් කිලෝව රුපියල් 45 - 50 අතර මිල පහත වැටීම නිසා අර්තාපල් ගොවීන් වැලිමඩ නගරයේ දැඩි විරෝධතාවක් දැක්වුවා. එහි ප්‍රතිඵලයක් ලෙසින් පාරිභෝගික සමුපකාර සමිතිය කිලෝව රුපියල් 95/ කට මිලදි ගන්න ඉදිරිපත් වුණා. එම මුදලින් රුපියල් 03ක් එම සමුපකාර සමිතිය ලබා ගෙන අපිට රුපියල් 92/ ක මුදලක් ලබා දෙන බවට පැවසුවා. අපේ අර්තාපල් අල ණය පදනමින් ලබාගෙන පසුව මුදල් දෙන බවට පොරෝන්දු මත අපේ අල ටික මිලට ගත්තා. මට එසේ විකුණු අල හොන්ඩර 100ටවලට තව රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක පමණ මුදලක් තව ගන්න තිබෙනවා. වසරකට වැඩි කාලයක් එම මුදල ගන්න විදින දුක දන්නේ උඩ ඉන්න දෙවියන් විතරයි. වැඩි මුදලක් ගන්න රජයට අයත් සමුපකාරයකට ණයට අල දීලා අපි අද කබලෙන් ළිපට වැටිලා. අපි ණයට පොහොර බෙහෙත් අර ගෙන වගා කර අස්වනු විකුණා එම වෙළදුන්ට මුදල් දෙන්නේ. දැන් එම වෙළදුන් අපෙන් ණය ඉල්ලනවා.

එම මුදල් ගෙවනකල් අපිට වෙන ගොවිතැනකට අවශ්‍ය පොහොර බෙහෙත් ණයට දෙන්නේ නෑ. එනිසා අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. අපිට හිමි මුදල් ටික කඩිනමින් ලබාදෙන ලෙසට ඉල්ලනවා. හීංනාරන්ගොල්ල ගොවි සංවිධාන සභාපති ඩී.පී. කරුණාරත්න ගොවි මහතා (68)

2015 ටපෙර පැවැති රජය අර්තාපල් වෙළඳ පොල කඩා වැටෙන විට ආනයන බද්ද වැඩි කරනවා. එසේම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මැදිහත්ව ලංකා ස. තො. ස. ආයතනය මැදිහත්ව කිලෝව රුපියල් 80 බැගින් අත්පිට මුදලට අර්තාපල් මිලට ගත්තා. නමුත් පසුගිය රජය සමයේ පාරිභෝගික සමුපකාර සමිතිය 2018 යල් කන්නයේ අර්තාපල් මිලට ගත්තේ ණය පදනමින් . 2018 සැප්තැම්බර් මාසය අවසන් වන තෙක් සියලූ මුදල් ගෙවීම් අවසන් කරලා .නමුත් 2018 ඔක්තෝබර් 01 සිට 09 දක්වා අතර ණය පදනමින් ගත් අලවලට මුදල් ගෙවීමේ ගැටලුවක් වෙලා තියෙන්නේ . එසේ ණය පදනමින් ලබා ගත් අර්තාපල්වලින් 67% ක මුදලක් අපිට ගෙවනු ලැබුවා. නමුත් දැනට අවුරුද්දකට පමණ කාලයක් ගත වෙලත් ඉතිරි 20% මුදල ගොවින්ට නොගෙවීම ඉතා අසාධාරණයි.

ඒ අනුව මටද තව රුපියල් 80000 /ක පමණ මුදලක් ගන්න තියෙනවා. අඩු මුදලට බාහිර මුදලාලි කෙනෙකුට විකුණුවා නම් මට ඔය මුදලට වඩා අඩු පාඩුවක් තමයි සිදු වන්නේ . වැලිමඩ - ඌවපරණගම ගොවිජන එකමුතුවේ සභාපති ඩබ්ලිව්. ඇම්. ගුණවර්ධන මහතා

වැලිමඩ සානුවේ අර්තාපල් වගා කන්නවලදි මිල පහත වැටීමෙන් ගොවින් දැඩි ආර්ථික අපහසුවට පත්වෙනවා. එයට හේතුව පිටරට අර්තාපල් වෙළඳපොළට අසීමිතව ලැබිමයි. අස්වනු සමයේ ආනයන බද්ද වැඩි කළාට පලක් නෑ. ඒ වන විට පිටරට අල අසීමිතව ආනයනය කර තිබීම නිසා දේශිය අල මිල පහත වැටෙනවා. අනික ආනයන බද්ද වැඩි කිරීමත් සමගම වෙළඳපොළේ ඇති පිටරට අල මිල ද වෙළඳුන් වැඩි කරමින් වක්‍රව තවත් වැඩි ලාභයක් උපයනවා. පෞද්ගලික වෙළදුන් අල ගොවින් හා පාරිභෝගිකයන් ගසා කනවා. එයින් මුදාගන්න කියා 2018 යල් කන්නයේ අල මිලට ගන්න ඉදිරිපත් වුණා.එම පාරිභෝගික සමුපකාර සමිතිය ණය පදනමින් අර්තාපල් මිලට ගැනිමට පියවර ගත්තා. අන්තිමට එම සමුපකාර සමිතිය විසින් ගොවියාට මුදල් නොගෙවා අමාරුවේ දමලා. සාමාන්‍යයෙන් අර්තාපල් කිලෝ 50ක් වගා කරන්න දල වශයෙන් රුපියල් 30000/ කට වැඩි මුදලක් වැය වෙනවා.

එයින් 70%ක් වැය වෙන්නේ බීජ අර්තාපල්වලටයි. 2019- 20 වගාකන්නයේ විදේශ බිජ අර්තාපල් කිලෝ 50ක් රුපියල් 17000ක් 18000ක අතර මිලක් වෙනවා. එසේ විශාල මුදලක් වැය කරමින් වගා කරන අර්තාපල් මිල පහත වැටුණාම අපි විරෝධතා පවත්වමින් ගොවින්ට සහනයක් ලබාදීමට රජයට බලපෑම් කරනවා. ඒ අනුව පාරිභෝගික සමුපකාර සමිතිය එසේ අර්තාපල් මිලට ගන්න ඉදිරිපත් වෙන්නේ. එය ඉතා හොදයි. නමුත් ණය පදනමින් අල මිලට ගෙන එයින් 20% ක පමණ මුදලක් වසරකට වැඩි කාලයක් මුදල් ගෙවිම පැහැර හැරලා.

වැලිමඩ හා ඌවපරණගම අර්තාපල් ගොවින්ගෙන් එම සමුපකාරය කිලෝ ග්‍රෑම් 2046582ක් මිලට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් 188285544 කි. එයින් ගොවින්ට රුපියල් 166565056. 67 ගෙවා ඇත. දැනගන්න ඇති ආකාරයට ගොවින් 300ක් පමණ පිරිසකට 2019 -03 -25 වන දිනට රුපියල් 21720487.33ක මුදලක් ගෙවන්න තිබෙනවා. එම මුදල් ලබාගැනීමට ඇති ගොවින්ට ඉදිරි වගා කටයුතු කිරීමට මුදල් අහේනිය නිසා නොහැකි වෙලා. 2018 -19 මහා කන්නයට අර්තාපල් ගත නොහැකිව වගාව අතහැරලා .එනිසා 2019 යල්කන්නයේ කුඹුරුවල වගාවට බීජ අර්තාපල් නොමැතිව ගොවින් දැඩි අසිරුවට පත් වුණා. ගොවියන් දහදුක් විද ණය වෙලා වගා කර සමුපෙට ණය පදනමින් විකුණු අර්තාපල්වලට හිඟව පවතින මුදල කඩිනමින් ඔවුන්ට ලබා දීමට බල කරමින් අපේ ගොවිජන එකමුතුව සමස්ත ලංකා ගොජන සම්මේලනයේද සහය ඇතිව 2019 03. 25 වන දින කොළඹ පාරිභෝගික සමුපකාර සමිතිය ඉදිරිපිටදි විරෝධයක් දැක්වූවා.

එහිදි එම සමුපයේ සභාපති රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතා මාසයක් ඇතුළත ගොවීන්ට ගෙවීමට ඇති 21720487ක මුදල් ගෙවන බවට ලිඛිතව පොරොන්දු වුණා. නමුත් පෙබරවාරි මස මුල දක්වා එම මුදල් ගෙවීම පැහැර හැර තිබෙනවා. එම සමුපකාරය ගොවින්ගෙන් කිලෝවට රුපියල් 03ක කොමිස් මුදලක් අය කරගෙන තිබෙනවා. ඒ අනුව මිලට ගත් අර්තාපල් කිලෝ 2046582ට කොමිස් ලෙසින් රුපියල් 6139746ක් එම සමුපකාරය උපයාගෙන තිබෙනවා.

එම ශුද්ධලාභයට අමතරව පාරිභෝගිකයන්ට අර්තාපල් අලෙවි කරමින් එම සමුපකාරය ලාභ ලබා තිබෙනවා. එසේම සාමාන්‍යයෙන් බිල් පතට අදාළ මුළු මුදල සටහන් කර කොමිස් මුදල බිල්පතින් අඩු කර පෙන්විය යුතු මුත් මෙම මිලට ගැනිමේ දී කොමිස් මුදල සටහන් කර නැති නිසා එම අත යට ගනුදෙනුවක් සිදු වන්නට ඇති බවට අපි සැකරනවා. එවැනි තත්ත්වයක අහිංසක වගා ගොවියන්ට මුදල් නොගෙවීම බරපතළ අසාධාරණයක් බව කියන්න ඕනෑ. ගොවියන් ඉල්ලන්නේ තමන්ගේ අර්තාපල්වල මුදල පමණයි. නිසි ලෙසට නම් එම සමුපකාරය අදාළ මුදලත් සමඟම පොලි මුදලක්ද ගොවියන්ට ගෙවිය යුතු වුවත් ගොවින් ඉල්ලන්නේ ලැබීමට ඇති හිඟ මුදල කඩිනමින් ලබා දෙන ලෙසටයි.

පසුගිය රජය ගොවීන් අමාරුවේ දමා ඇති බැවින් එම මුදල් ගෙවන ලෙසට අදාළ සමුපකාරයට බල කරන ලෙසට වත්මන් රජයෙන් ඉල්ලා සිටිනවා. යැයි සභාපති ඩබ්ලිව්. ඇම්. ගූණවර්ධන මහතා පැවැසීය.

වැලිමඩ ප්‍රාදේශිය ලේකම් චමින්ද වීරසිංහ මහතා –

2018 යල්කන්නයට අදාළ අර්තාපල් සඳහා ගොවින්ට ලබාදීමට ඇති හිඟමුදල ගෙවා අවසන් කර නැති නිසා එම හිගමුදල කඩිනමින් ගෙවා අවසන් කරන ලෙසට බදුල්ල දිස්ත්‍රීක් ලේකම් මගින් අදාළ අංශ දැනුවත් කර තිබෙනවා. ඉදිරියේදි එම මුදල් ගෙවා අවසන් කරන බවට විශ්වාස කරනවා“ යැයි ප්‍රාදේශිය ලේකම්වරයා පැවැසීය.

 

Comments