ලෝක ප්‍රකට නවකතාකරුවන්ගේ කොරෝනා අනාවැකි | Page 2 | සිළුමිණ

ලෝක ප්‍රකට නවකතාකරුවන්ගේ කොරෝනා අනාවැකි

අද මුළු ලොවම භීතියට පත් කරමින් ලොව පුරා පැතිරී යන කොරෝනා හෙවත් කොවිඩ් - 19 මාරාන්තික වයිරසය පිළිබඳව මීට වසර 38 කලින් එක්තරා නවකතාකරුවකු නවකතාවක් පළකර ඇති අතර වසර 2018 දී ඇමෙරිකානු ලේඛිකාවක විසින් ද අනාවැකියක් පළකර තිබුණි.

එම පොත් දෙක නම් ඇමෙරිකානු ලේඛක ඩීන් කුන්ට්ස් විසින් 1981 වසරේදී ලියන ලද ‘අන්ධකාරයේ ඇස්’ නමැති නවකතාව වන අතර අනෙක වන්නේ ඇමෙරිකානු ලේඛිකාවක වන ‘සිල්වියා බ්‍රවුන්’ 2008 වසරේදී ලියන ලද ‘එන්ඩ් ඔෆ් ඩේට්ස්’ නමැති ලෝක අවසානය පිළිබඳ අනාගත වාක්‍ය ඇතුළත් ග්‍රන්ථයයි. කොරෝනා වසංගත තත්ත්වයට සමාන තත්ත්වයක් පිළිබඳ එම පොත් දෙකෙහිම විස්තර කෙරෙයි.

ඩීන් රේ කුන්ට්ස් ජනප්‍රිය ඇමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රාසජනක කථා නිර්මාණකරුවෙකි. 1945 ජූලි 9 දින පෙන්සිල්වේනියාවේ උපත ලද ඔහුගේ ළමා කාලය දුක් කරදරවලින් පිරී පැවතිණි. පෙන්සිල්වේනියාවේ ෂීපෙන්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළ ඔහු පසු ලේඛනකරණයට පිවිස සාර්ථක විය. ඔහු පිළිබඳව වැඩි වශයෙන් ම මිනිසුන් කතාබහ කළේ 1981 ප්‍රකාශයට පත් කළ ‘අන්ධකාරයේ ඇස්’ නමැති නවකතාව නිසා ය. කොවිඩ් 19 වයිරසය මගින් ලොව පුරා ඇති කළ තර්ජනයට සමාන තත්ත්වයක් පිළිබඳව කතාවක් මෙහි ඇතුළත් විය.

කුන්ට්ස් අන්ධකාරයේ ඇස් නවකතාව ලියා ඇත්තේ ලී නිකොල්ස් යන අන්වර්ථ නමකිනි. 1981 මැයි 10 දින එක්සත් ජනපදයේදී ප්‍රකාශයට පත් කළ කුඩා (පොකට්) ප්‍රමාණයේ ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ නවකතාවක් වූ එය එම වසරේදී වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ අතර පසු සංස්කරණවලදී ඩීන් කුන්ට්ස් යන නමින් ම ප්‍රකාශයට පත්කර ඇත.

‘අන්ධකාරයේ ඇස්’ නවකතාවේ සඳහන් පරිදි කඳු නැඟීමේ කඳවුරකට සහභාගි වූ සියලු ම පිරිස මිය යන අතර මේ අභිරහස සොයා යෑමේදී ජීව විද්‍යාත්මක ප්‍රහාරයකින් පිරිස මිය ගොස් ඇති බව සොයා ගැනේ. නවකතාවේ පළමු සංස්කරණයේදී සඳහන් වන්නේ සෝවියට් විද්‍යාගාරයකදී නිෂ්පාදිත ගෝර්කි 400 ප්‍රබල ජීව විද්‍යාත්මක විනාශකාරී වයිරසය මුදාහැරීමෙන් පැය 24 ක් තුළ ආසාදනයට ලක් වූවන් මිය යන බවය.

1989 න් පසු කතුවරයාගේ නමින් ම ඩින් (කුන්ට්ස්) පළකර ඇති මෙම පොතේ මෙම වයිරසය වුහාන් - 400 ලෙසට නම් කර ඇති අතර දෛවෝපගත ලෙස පසුබිම් ප්‍රදේශය චීනයේ වුහාන් ලෙස වෙනස් කර ඇත. සම්පූර්ණයෙන් ම අහම්බයක් විය හැකි මෙම හැඳින්වීමට හේතුව චීනයේ වුහාන්වල සැබවින් ම විශාල ජීව විද්‍යාත්මක පර්යේෂණ විද්‍යාගාරයක් තිබීම විය හැකිය. එසේ ම පොතේ සඳහන් වුහාන් 400 වයිරසය හා නූතන කොවිඩ් 19 වයිරසය අතර වෙනස්කම් රැසක් දක්නට ඇත. වූහාන් - 400 පොතේ මරණ අනුපාතිකය 100% වන මුත් කොවිඩ් - 19 මරණ අනුපාතිකය 4% අඩු අගයක පවතී. පොතේ සඳහන් වන්නේ මොළයේ පටක විනාශ කිරීමෙන් ක්ෂණික මරණය ළඟා කරවන්නක් ලෙසින් වන මුත් කොවිඩ් - 19 උණ කැස්ස, ශරීර උෂ්ණත්වය ඉහළ යෑම, හුස්ම ගැනීම අපහසුතා ආදී රෝග ලක්ෂණ පෙන්වයි.

එසේම සිල්වියා බ්‍රවුන්ස්ගේ එන්ඩ් ඔෆ් ඩේස් අනාගත වාක්‍යයෙන් ද කොරෝනා ගැන අනාවැකි‍යක් පළකර තිබිණි.

එක්සත් ජනපදයේ මිසුරි ප්‍රාන්තයේ කැන්සාස් සිටිහි උපත ලැබූ ඇය වයස අවුරුදු 5 සිට තමන්ට විවිධ අාධ්‍යාත්මික ශක්තීන් දර්ශනය වන බව කියා සිටි අතර අවු. 35 දි 1994 දී මානසික කියවීම ලබාදීමට පටන්ගෙන ඇත. තමන්ට ස්වර්ගයේ දේවදූතයන් හා ආත්මීය මාර්ගෝපදේශකයන් සමඟ ගනුදෙනු කිරීමට හැකි බවත් ඔවුන්ගෙන් අනාගත කියවීම් ලබාගත හැකි බවත් ප්‍රකාශ කරමින් විශාල වශයෙන් ධනය ඉපයීමට පටන්ගත්තාය.

මේ සම්බන්ධයෙන් පොත් හතළිහකට අධික සංඛ්‍යාවක් පළකර තිබූ අතර ඉහළ අලෙවියක් දක්වමින් ඇයගේ අාධ්‍යාත්මික කියවීම් ලබාගැනීම සඳහා සිවු වසරක් ඉදිරියට දිවෙන පොරොත්තු ලේඛනයක් තිබුණි. 2008 වසර වනවිට ඇයගේ විනාඩි 30 පමණ දුරකතන සංවාදයක් සඳහා ඩොලර් 750ක් පමණ අය කළ බව ද කියවේ. සමාගම් දෙකක ප්‍රධානියා වෙමින් 2016 පමණ වන විට ඩොලර් මිලියන 3කට අධික වාර්ෂික ලාභයක් උපයාගත් ඇය ගුවන්විදුලි හා රූපවාහිනී වැඩසටහන්වල ද නිතර ම වූවාය. කෙසේ වෙතත් අසත්‍ය අනාවැකි පැවසීම සහ නොමඟ යැවීම් සම්බන්ධ ඇයට දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර 1992 දී අපරාධ චෝදනා ද එල්ල වී සොරකමකට වරදකාරිය ද වූවා ය.

නමුත් මෙම සියලු කාරණා මධ්‍යයේත් ඇගේ ජනප්‍රියත්වය නොනැසී පැවතුණු අතර විශාල අනුගාමිකයන් පිරිසක් ඇය වටා විය. විවාහයන් 4කට ඇතුළත් වූ ඇය 2013 නොවැම්බර් 20 මිය යන විට 77 වියෙහි පසු විය.

සිල්වියා බ්‍රවුන් 2008 ලින්ඩ්සේ හැරිසන් සමඟ එක්වී ‘එන්ඩ් ඔෆ් ඩේස්’ පොත එළිදැක්වූ අතර එය ලෝක අවසානය පිළිබඳ අනාවැකි ලෙස හඳුන්වා දී ඇත. නිව්යෝක් වෙළෙඳපොළේ උණු කැවුම් මෙන් විකිණී ගිය මෙම පොත ඉන් වසර 12කට පසු ලොව පුරා ආන්දෝලනයකට හේතු වනු ඇතැයි මොවුන් නොසිතන්නට ඇත. මෙහි 312 වන පිටුවේ වයිරස් ආසාදන වසංගත තත්ත්වයක් පිළිබඳ අපැහැදිලි අනාවැකියක් දක්නට ඇත. එය මෙසේ ය.

“වසර 2020 දී දරුණු වයිරස් රෝගයක් ලොව පුරා පැතිර යනු ඇත. පෙණහලු හා ශ්වසන නාළවලට දැඩි ලෙස හානි කරන මෙම වයිරසය සියලු ‍ඖෂධවලට ප්‍රතිචාර නොදක්වයි. රෝගයට වඩා පුදුම සහගත කරුණ වන්නේ එය පැමිණි විගසම අතුරුදහන් වීමයි. වසර 10කට පසු නැවත පැමිණ පහරදෙන මෙම වයිරසය නැවත සැඟව යයි.

කෙසේ වෙතත් ඇයගේ අනාවැකියේ අනුමාන වර්ෂය හා කොවිඩ් 19 වයිරසය පැතිරයෑමේ කාලසීමාව පුදුම සහගත ලෙස සමාන වී ඇති අතර රෝග ස්වභාවය ද සැලකිය යුතු මට්ටමක නිවැරැදිතාවකින් යුතුවේ. ඇතැම් විචාරකයන් පවසන්නේ, මෙය වසංගත තත්ත්වයන් චක්‍රීකරණය වීමේ රටාව නිවැරැදිව අධ්‍යයනය කරමින් සිදුකළ අනුමාන ප්‍රකාශයක් විය හැකි බවයි 2000 වසරේදී සාර්ස් වසංගතය පැතිරයෑමෙන් පසු මේ පොත ලියැවී තිබූ හෙයිනි.

‍වසර 2011 ඇමෙරිකානු සිනමාකරු ස්ටීවන් සොඩන්බර්ග් විසින් කොන්මජන් (වසංගතය) නම් සිනමා පටයක් නිර්මාණය කර ඇති අතර ඊට පසුබිම් වී ඇත්තේ ද ඩින් කුන්ට්ස් ගේ නවකතාවේ අන්තර්ගතයට සමාන කතාවකි. එකල ආදායම් වාර්තා තබමින් තිරගතවූ එම චිත්‍රපටය කොවිඩ් 19 වයිරසය හේතුවෙන් යළිත් විකුණුම් ලැයිස්තුවල ඉහළටම පැමිණ ඇත.

2019 දෙසැම්බර් මාසයේ කොවිඩ් 19 මාරාන්තික වයිරසය චීනයේ වුහාන්වලින් ඇරඹී චීනය පුරා ව්‍යාප්ත වෙද්දී බටහිර බලවතුන් ඇතුළු ලොව බොහෝ රටවල් චීනයට ඇඟිල්ල දිගු කළ ද ඉන් වැඩි කලක් යා නොදී ඉතාලිය, ඉරානය හා අනිකුත් රටවල් කරා ද ඇදී අද ගෝලීය වසංගතයක් බවට පත්ව ඇත්තේ දෛවෝපගත ලෙස ය.

චීනයේ වුහාන්වලින් ඇරඹී ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ් - 19 වයිරසය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලොව පුරා වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

මේ වනවිට 158000 අධික ආසාධිතයන් සංඛ්‍යාවෙන් හා 7000 අධික මරණ ලොව පුරා වාර්තා වන අතර මේ සම්බන්ධ තොරතුරුවලට ලොව පුරා අධික ඉල්ලුමක් ඇති වී ඇත. බොහෝ දෙනා ප්‍රබන්ධ කෘති සහ අනාගත කියවීම් සම්බන්ධ සෙවීම කරන්නට පෙලඹී ඇත. මෙවැනි වාතාවරණයක් තුළ සිල්වියා බ්‍රවුන්ගේ අනාවැකිය හා ඩින් කින්ට්ස් ගේ නවකතාවේ අන්තර්ගතයන් එකට ගැළපූ විට සෑදෙන්නේ අපූරු රසවත් සුසංයෝගයකි.

 

Comments