ලාංකික ජන සංගීතයේ ජීවමාන කලාප තුනක් | Page 2 | සිළුමිණ

ලාංකික ජන සංගීතයේ ජීවමාන කලාප තුනක්

හර්බට් චාල්ස් ජේකබ් පීරිස් උපත ලද්දේ 1899 මාර්තු 28 දා ය. හෙතෙම සංගීතය ස්වකීය ඒකායන ජීවන ප්‍රධානය කර ගත් සංගීතඥයෙකි. ඔහුගේ පියා ශ්‍රීමත් ජේම්ස් පීරිස් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි, ජාතික නිදහස් සටනේ පුරෝගාමී නායකයෙකි. ධන ධාන්‍යයෙන් ආඪ්‍ය පීරිස් පවුල එංගලන්තයේ පදිංචි ව ස්වකීය දරුවන්ට නිසි අධ්‍යාපනයක් දීමට වගබලා ගති. ජේකබ් පීරිස් එංගලන්තයේ ෙට්‍රන්ට්බ්‍රිජ් පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබා ගත්තේ ය. මේ කාලය ඇතුළත ඔහු ලන්ඩනයේ රාජකීය සංගීත විද්‍යාලයෙන් ගායනය සහ වාදනය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබී ය.

සිය නිවසෙහි පැවැති පරිසරය ද ජේකබ් පීරිස්ගේ අනාගත සංගීත දිවිය හැඩගැසිමට පසුබිමක් විය. ඔවුන්ගේ නිවසෙහි පැවැත්වුණු සාදවලට ආණ්ඩුකාරවරයා සහ ආර්යාව, යටත් විජිත ලේකම්වරයා සහ බිරිඳ, හමුදාපති, පෙරදිග ඉන්දියා හමුදා කණ්ඩයේ අද්මිරාල්, කොළඹ අගරදගුරු වැනි ප්‍රභුවරු පැමිණියහ. රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු ඔහුගේ සොයුරියක විසින් පියානෝවෙන් අපරදිග සම්භාව්‍ය සංගීත ඛණඩයක් වාදනය කෙරෙන අතර ඒ වන විට නින්දට සූදානම් ව සිටි කුඩා ජේකබ් පීරිස් යහනින් නික්ම දැව කැටයමින් අලංකෘත පියගැට පෙළ අතරින් විසිත්ත කාමරය දෙසට නෙත් යොමා එහි නැ‍ඟෙන සංගීත රාවයට වසඟ ව සවන් දෙමින් එදෙස බලා සිටීමට පුරුදුව සිටියේ ය. අවුරුදු පහ හය වන විට සවන වැකෙන සංගීතයේ තනුව හඳුනාගැනීමට තරම් වැටහීමක් ඔහුට තිබුණු අතර සංගීත සංවේ දී සුසර සවන් ඇතැයි පවුලේ අය දැන ගත්හ. එහෙත් ඒ එඩ්වර්ඩියානු කාලයේ පිරිමි ළමයින් සංගීතය ඉගෙනීම සඳහා දිරිමත් නොකෙරිණ.

ජේකබ් පීරිස්ගේ ප්‍රියතම විෂය වූයේ සංගීතය යි. ඊට එක් හේතුවක් වූයේ කඩා වියෙහි අසනීප තත්ත්වයෙන් පසු වීම නිසා ක්‍රීඩා කිරීමට අවස්ථා අහිමි වීම යි. ලන්ඩනයේ දී සමෙහි වර්ණය නිසා ඔහුට අවමන් විඳීමට සිදු වූ වාර අපමණ ය. සංගීතය විෂයෙන් තම දස්කම් දක්වා එමගින් තම පැහැය පරයා සමතකු ලෙස නැඟී සිටීමේ අභිලාෂය ඔහුගේ සිතෙහි ජනිත විය. පාසලේ දී වයලීන වාදනයෙන් ද පාසල් ගායන කණ්ඩායමේ කැපී පෙනෙන සාමාජිකයකු ලෙස ද ප්‍රකට වීමට ජේකබ් පීරිස් සමත් විය.

1919 වර්ෂයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ජෝන් විද්‍යායතනයට ඇතුළත් වන ජේකබ් පීරිස් එහි දී වයලීන් වාදකයකු ලෙස සහ ගායක කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කැපී පෙනෙන චරිතයක් විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරතුර දී ම ලන්ඩනයේ රාජකීය සංගීත විද්‍යාලයට බැඳී වයලින් වාදනය සහ ගායනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබී ය. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය නිම කළ ජේකබ් පීරිස් 1923 වර්ෂයේ දී විනිප්‍රිඩා ද සිල්වා මෙණෙවිය සමඟ විවාහ විය. ලාංකියන් වූ ඇයගේ පවුල ලන්ඩනයේ ස්ථිර පදිංචිකරුවන් වූ අතර විනිප්‍රිඩා මැනවින් සංගීතය ප්‍රගුණ කොට තිබිණ. ජේකබ් පීරිස් 1924 දී සිය බිරිය සමඟ ලංකාවට පැමිණ වර්ෂ තුනක පමණ කාලයක් නීතිඥ වෘත්තියේ නියැළී සිටියේ ය. 1928 වර්ෂයේ දී තව දුරටත් සංගීතය හැදෑරීමේ අරමුණෙන් ඔවුහු නැවත වරක් ලන්ඩනය බලා නික්මුණහ. ලන්ඩනයේ පිහිටි ගායනය පිළිබඳ වෙබර්.ඩග්ලස් විද්‍යායතනයට බැඳී ගායනය පිළිබඳ ප්‍රවීණත්වය ලබා Associate of the Rroyal Ccollege of Music කඩඉම සමත් විය. එම වර්ෂයේ දී ම ජේකබ් පීරිස් යෝර්ක් ආදිපවරයාගේ ආර්යාව අභිමුව සිංහල නාඩගම් ගීත සහ නේපාල ජන ගායනා ද ඇතුළත් ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට තරම් ගායන නිපුණත්වයක් අත් කර ගෙන සිටියේ ය. ඔවුහු 1929 වර්ෂයේ සංගීත අධ්‍යයන කටයුතු සාර්ථක ලෙස නිම කොට නැවත ලංකාවට පැමිණියහ. ජේකබ් පීරිස් ලාංකික සංගීතයේ අක්මුල් සෙවීමේ අදිටනින් ලංකාවේ විවිධ පළාත්වල ඒ වන විට නොනැසී පැවැති ජන ගී ගවේෂණය ආරම්භ කළේ ය. ජන සංගීත ගවේෂණ පර්යටනය ඔහු හුදකලාව ම ආරම්භ කළේ ය. ලාංකික ජන සංගීතයේ ජීවමාන කලාප තුනක් ඔහුගේ අවධානයට බඳුන් විය. උඩරට වන්නම්, ජන ගී සහ පහතරට රබාන ආශ්‍රිත සංගීතය ඒ කලාප තුන ය. එක් එක් කලාපයට අදාළ ජන ගායනා එක්රැස් කොට එම නාදමාලා ප්‍රස්තාරගත කළේ ය. ජන ගී පිළිබඳ පුළුල් නිරීක්ෂණ ඇතුළත් Music of Sri lanka කෘතිය තත් විෂයෙහි ඔහුගේ ප්‍රමාණිකත්වය විදහා දක්වන ශාස්ත්‍රීය පරිශ්‍රමයකි.

ලක්දාස් ද මැල් පියතුමාගේ ඇරයුමෙන් ජේකබ් පීරිස් විසින් බද්දේගම ක්‍රිස්තුරාජ දෙව් මැදුරේ ජන දේව මෙහෙය සඳහා දේශීය තනු නිර්මාණය කර දෙන ලදී. ඒ වන විට ජේකබ් පීරිස් ගවේෂණය කරමින් සිටි ජන නාද මාලා අතුරින් වන්නම්වල නාද ආකෘතිය උපයෝගි කර ගනිමින් ඔහු විසින් නිර්මිත ගීතාවලිය ලාංකික සංගීතයේ සන්ධිස්ථානයකි.

1930 වර්ෂයේ දී ජේකබ් පීරිස්ගේ පියාගේ අකල් වියෝවෙන් පසු සිය බිරිය සමඟ කල්කටාවේ ඉන්දියානු සංගීත විද්‍යායතනයට බැඳුණු පීරිස් එස්රාජය සහ සිතාරය ප්‍රගුණ කොට ශාස්ත්‍රීය රාග වාදනය කිරීමේ පරිචය ලබා ගත්තේ ය. ඊට අමතර ව ජේකබ් පීරිස් ශාස්ත්‍රීය ගායනය ද ප්‍රගුණ කෙළේ ය. කල්කටාවේ සංගීත අධ්‍යාපනය නිම කළ පීරිස් යුවළ ඊළඟට සිය සංගීත අධ්‍යයනය සඳහා ශාන්ති නිකේතනයට පිවිසුණහ. ශාන්ති නිකේතනයේ දී රබීන්ද්‍ර සංගීතය හදාරා තාගෝර්ගේ බෙංගාලි ගීත විස්සකට අධික ප්‍රමාණයක් බටහිර ස්වර ලිපිවලට නැ‍ඟීමට ජේකබ් පීරිස් සමත් විය.

ශාන්ති නිකේතනයෙන් නික්මෙන පීරිස් යුවළගේ ඊළඟ අරමුණ වූයේ ටිබෙට් ජන ගී එක් රැස් කොට අධ්‍යයනය කිරීම ය. නේපාල ජන ගීවල ස්කොට්ලන්ත ජන ගායනාවල මෙන් ස්වර පහක පරාසයක් තිබෙන බව ඔවුහු හඳුනා ගත්හ. ඔහු මේ චාරිකාව අවසානයේ ස්වකීය සංස්කෘතික මූලයන් ඉන්දියාවේ දී සොයා ගත් බව පැවසී ය. ඉන්දියානු සංචාරය අවසානයේ තම සංස්කෘතිය පෙරදිග සිංහල සංස්කෘතිය බව අභිමානයෙන් යුතුව පිළිගත් ජේකබ් පීරිස් 1932 දී හර්බට් චාල්ස් ජේකබ් පීරිස් යන නම ‘දේවාර් සූර්යසේන’ යනුවෙන් වෙනස් කර ගත්තේ ය. එය ද ඔහුගේ පෙළපත් නාමයේ අන්තර්ගත වූ මූලයන් ආශ්‍රයෙන් නිර්මාණය කර ගත්තකි.

ඔවුන් විසින් මේ මහාර්ඝ සංස්කෘතික මෙහෙවර ඉටු කරන ලද්දේ වරප්‍රසාදිත පෞද්ගලික ජීවන වෘත්තිය ද අත්හැර දමමිනි. එවන් ඓතිහාසික යුග කාරක මෙහෙවරක් කළ දේවාර් සූර්යසේන නාමය ඉතිහාසයෙන් මැකී යාම ඓතිහාසික සරදමකි.

 

Comments