මේ සොබාදහම ඔබට දුන් නිවාඩුවක් | Page 2 | සිළුමිණ

මේ සොබාදහම ඔබට දුන් නිවාඩුවක්

උපදෙස්- විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ගාල්ල- කරාපිටිය ශික්ෂණ රෝහල

කොරෝනා වයිරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ලෝකයේම ජනතාව භීතියට පත්ව තිබෙන පසුබිමක ශ්‍රී ලාංකිකයන්ටද නිවෙස් තුළම රැඳී සිටින්නට සිදුවී ති‍බෙනවා. ඒ, වයිරසය ව්‍යාප්ත වීම වැළක්වීම සඳහා පුද්ගල හමුවීම් සීමා කිරීමේ අරමුණින් පසුගිය 20 වැනිදා සිට රට පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නිසයි. සෞඛ්‍ය, ආරක්ෂක අංශ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල නියැලී සිටින සියලු දෙනා මේ අවස්ථාවේ පවා සියලු පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම් උපරිමයෙන් ඉටු කරමින් සිටින පසුබිමක මෙම වයිරසය පැරදවීම සඳහා රජය සෙසු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ නිවෙස් තුළටම වී රැඳී සිටින ලෙසයි. ඉදිරි සති දෙක මෙරට වයිරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් දැඩි තීරණාත්මක කාලයක් බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙන අතර සෑම පුරවැසියකුගේම වගකීම වන්නේ සෞඛ්‍ය අංශවල සහ රජයේ උපදෙස් නිසි පරිදි පිළිපැදීමයි.

ඒ අනුව සියලු ගමන්බිමන්, මිතුරු හමුවීම්, සාද, සම්භාෂණ ආදියෙන් වැළකී නිවෙස් තුළම වයිසරයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය වී තිබෙනවා. එම තත්ත්වය තුළ සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් පවා කෙටිකාලීනව කිසියම් මානසික පීඩාවකට ලක්වීම මෙන්ම විෂාදය ආදී මානසික රෝගවලින් පෙළෙන්නන්ගේ ඒ තත්ත්වය තවත් උත්සන්න වීම පවා සිදුවිය හැකියි. එවැනි තත්ත්වයකින් වැළකී සුබවාදී ‍ලෙස මෙම අසීරු කාලයට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව අප ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතාගෙන් විමසුවෙමු.

"මෙය අපි කාටත් තරමක අසීරු කාලයක්. ශාරිරීක සෞඛ්‍යය ගැන වගේම මානසික සෞඛ්‍ය ගැනත් සැලකිලිමත් වීම ඉතා වැදගත් වනවා. විශේෂයෙන් නිවෙස් ගතකරන මෙම කාලය තුළ මානසික සුවතාව රැකගැනීම සඳහා කළ හැකි බොහෝ දේ තිබෙනවා.

වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුද්ගල දුරස්ථභාවය අවශ්‍ය වුවත් දුරකථනයෙන් නෑ හිත මිතුරන් ඇමතීමට ඔබට බාධා පමුණුවා නැහැ. බොහෝ ස්මාට් දුරකථනවල වීඩියෝ කෝල් පහසුව තිබෙන නිසා ඔබට දුර සිටින නෑ හිතමිතුරන් සමඟ පවා මුහුණට මුහුණ බලාගෙන කතාකළ හැකියි. ඒ තුළ සමීපතමයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන දුක, පාළුව සමනය කර ගත හැකියි.

ඒ වගේම ඔබට මෙම කාලය තුළ නිවෙසින් පිටත ගමන්බිමන් යෑමට නොහැකි වුවත් නිවෙස සහ ගෙවත්තේ ක්‍රියාකාරී විය හැකියි. දිනපතා යම් කාලයක් ශාරිරීක සුවතාවල යෙදීම, ඇවිදීම වැනි ක්‍රියාකාරම්වල යෙදිය හැකියි.

අප බොහෝ දෙනෙක් මේ අනපේක්ෂිත නිවාඩු කාලය උදාවීමට පෙර බොහෝ අවිවේකී ජීවිත ගත කළ අයයි. ඒ නිසාම අප බොහෝ දෙනකුට ජීවිතයේ අතහැරුණු දේවල් තිබෙනවා. මම හිතන්නේ මේ විවේක කාලය අපට අපගේ ජීවිත දෙස නැවත හැරී බැලීමට,

තමන්ගේ ජීවිතයේ අතහැරුණු දේවල් ගැන සිතා බැලීමට ලැබුණු කාලයක්. එසේ අතහැරුණු දේවල් නැවත ජීවිතයට ළඟාකර ගැනීමේ හැකියාව පිළිබඳ විමසා බැලීමට මේ විවේකයේදී අපිට අවස්ථාවක් සැලසී තිබෙනවා. ඔබේ ජීවිතය තුළ ඔබට මඟහැරුණු අධ්‍යාපන කටයුතු, විනෝදාත්මක කටයුතු මේ කාලය තුළ නැවත ආරම්භ කළ හැකියි.

පොත්පත් කියවීම, චිත්‍රපට නැරඹීම, සංගීතය රසවිඳීම වගේම පොතක් ලිවීම වැනි දෙයක් පවා මේ කාලය තුළ ඔබට සිදුකළ හැකියි. එවැනි දෙයක නිරතවීම තුළින් මේ විවේක කාලය ඔබට හරවත් ලෙස ගතකළ හැකියි. විශේෂයෙන් අන්තර් ජාලය කියන්නේ දැනුම් ගබඩාවක්. ඔබට එයින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමටත් මේ කාලය හොඳ අවස්ථාවක්.

ඒ වගේම ඔබේ ජීවිතය තුළ සිදුවූ වැරදි, අඩුපාඩු ගැන සිතා බලන්නත් මෙය හොඳ කාලයක්. ඒ තුළින් ඔබට ඔබේ ඉදිරි අනාගතය වඩා සුබදායී ලෙස හසුරුවා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම අනාගතය ගැන සැලසුම් කරන්නත් මේ විවේකය ඔබට කදිම අවස්ථාවක් කරගත හැකියි.

අවිවේකී බව නිසා අපි බොහෝ දෙනකුට පරිසරය සමඟ ගතකිරීමට ලැබෙන අවස්ථාව අඩුයි. පැළයක් සිටුවන්න, ගසකට සාත්තු කරන්න, මල් පිපෙන හැටි බලන්න, කුරුලන්ගේ කිචිබිචිය අහන්න අවිවේකී තරගතාරී ජීවිත රටාව තුළ බොහෝ දෙනකුට ඉඩක් ලැබෙන්නෙ කලාතුරකින්. නමුත් මේ විවේක කාලය අපට නැවත සොබාදහම සමඟ එකතුවිය හැකි කාලයක්.

ගෙවත්තට ගිහින් ගස්වල මල් පිපෙනවා බලන්න, පැළයක් සිටුවන්න, ගස්වලට වතුර ටිකක් දමන්න පුළුවන්. පෝචිචිවල හෝ එළවළු වගාවක් පටන්ගැනීමත් අනාගතයට ඵලදායී ක්‍රියාවක්. එළිමහනේ හෝ නිවෙසේ වැඩකටයුතු කරන විට හදිසි අනතුරු වළක්වා ගැනීම ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යයි. මේ දිනවල ඔබට වෙනදා වගේ හිතේ හැටියට ආහාරපාන ගැනීමට නොලැබෙනවා විය හැකියි. ඒ නිසා තිබෙන දේවල්වලින් අරපිරිමැස්ම ඇතිව ආහාර පිළියෙළ කර ගත යුතුයි.

ඒ වගේම අලුත් වට්ටෝරුවලින් ආහාරවේලට විවිධත්වයක් ඇතිකරගත හැකියි.

පෝෂ්‍යදායී ආහාර ගැනීම, හැකිතරම් ජලය පානය කිරීම, ව්‍යායාම් වගේම ප්‍රමාණවත් නින්දක් ලැබීම ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට ඉවහල් වෙනවා. ඒ නිසා මේ විවේක කාලයේදී ඒ ගැනත් ඔබේ අවධානය යොමුකරන්න.

මේ විවේකී කාලය කාර් ය බහුල ඔබට ඔබේ දරුවන් ඇතුළු පවුලේ අය සමඟ ගතකිරීමට ලැබුණු අවස්ථාවක් බව සිතන්න. මෙම කාලය තුළ දරුවන්ද පීඩාවට ලක්විය හැකියි. ඒ නිසාම ඔවුන් වෙනදාට වඩා කලහකාරී ලෙස හැසිරිය හැකියි. නින්ද අඩුවීම වගේම නින්දෙන් මුත්‍රා පහවීම වැනි දේවල් සිදුවිය හැකියි. ඒ වගේම අනවශ්‍ය ලෙස රූපවාහිනියට සහ අන්තර් ජාලයට ඇබ්බැහි විය හැකියි. එම නිසා ඔබ දරුවන්ගේ හැසිරීම් ගැන වෙනදාට වඩා අවධානයෙන් සිටීම වැදගත්. ඔවුන් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීම අවශ්‍ය වුවත් මේ අවස්ථාවේදී එය ඔවුන්ට පීඩාකාරී ලෙස කිරීම සුදුසු නැහැ.

ඔවුන් සමඟ වැඩිපුර කාලය ගතකරන්න. විනෝද ක්‍රීඩාවල යෙදෙන්න. ආදරය, රැකවරණය නොඅඩුව ලබාදෙන්න. උද්ගත වී තිබෙන තත්ත්වය ගැන නිවැරදි දැනුම ලබාදෙන්න. ඒ වගේම අවිවේකී බව නිසා ඔබ ආගමික කටයුතුවලින් දුරස් වෙලා නම් මේ විවේක කාලය ඔබට ඒ සඳහාත් අවස්ථාවක් සලසා දී තිබෙනවා. නිවසේ සිටම ඒ කටයුතුවල යෙදෙන්න. එයින් පවුලේ එකිනෙකා අතර බැඳීම් අලුත් කරගන්නත් ඔබට අවස්ථාව ලැබේවි.

මේ දිනවල මත්පැන්, මත්ද්‍රව්‍ය ගැනීම සුදුසු නැහැ. දුම්පානයෙන් සම්පූර් ණයෙන් වැළකිය යුතුයි.

එසේ වැළකී සිටීම අසීරු නම් ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි. ඒ වගේම මේ දිනවල නින්ද නොයෑම, අධික ලෙස කෝපයට පත්වීම, අධික ලෙස බිය, දුක දැනීම, බියකරු සිහින දැකීම වැනි දැඩි පීඩාකාරී තත්ත්වයක් ඇතිවෙනවා නම් ඒ ගැන සමීප අයෙකුට පැවසීම වගේම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීමත් කළ යුුතුයි. ඒ වගේම එවැනි පුද්ගලයන් කොරෝනා රෝගය පිළිබඳ වැඩිපුර ප්‍රවෘත්ති නැරඹීමත් නොකළ යුතුයි.

ඒ වගේම මේ පිළිබඳ විශ්වාසදායක තොරතුරු පමණක් ග්‍රහණය කර ගත යුතු අතර මිත්‍යා මත, කටකතා සහ අසත්‍ය ප්‍රකාශ පිළිගැනීමෙන් සහ ඒවා අනුව කටයුුතු කිරීමෙන් වැළකී සිටීමත් මානසික සුවතාව පවත්වාගෙන යෑමට ඉවහල් වනවා. මෙම රෝගය වැලඳිය හැකි අවදානම් කාණ්ඩ ලෙස සැලකෙන වැඩිහිටියන් පිටස්තර පුද්ගලයන් සමඟ ගැටෙන ප්‍රමාණය අඩුකළ යුතුයි.

ඔවුන්ට නිසි පෝෂණයක් සහ දිනපතා ලබාගන්නා ඖෂධ නිසි පරිදි අඛණ්ඩව ලබාදෙමින් රැකබලා ගත යුතුයි. මේ ආකාරයට මේ අසීරු කාලය ඉවසීමෙන් බුද්ධිත්ව සහ කල්පනාකාරීව ගතකළහොත් අපිට මේ වසංගතයෙන් ආරක්ෂා විය හැකියි. ඒ සඳහා මේ කාලයේදී අපි සියලු දෙනා යම් කැපකිරීමක් කළ යුතුයි."

Comments