මහජන දත්ත ගබඩාවක වැදගත්කම | සිළුමිණ

මහජන දත්ත ගබඩාවක වැදගත්කම

ලෝකය බිහිවු දා සිට මහපොළවේ විවිධ සත්ව කොට්ඨාශ විවිධ වු උපද්‍රවයන්ට මුහුණ දුන් අවස්ථා අපට ඉතිහාසය පිරික්සීමේ දී හමුවන්නේය. වරෙක විවිධ වු වසංගත රෝග මෙන්ම විවිධ වු උපද්‍රව ඒ අතර ප්‍රමඛතාවයක් ගන්නේය.

බුදුන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන්ට අනුව බැලු කල ඉපදෙන සියලු සත්වයා මියෑදෙන අතර එය කර්මය හා කර්ම ඵලය ලෙස උන්වහන්සේ විග්‍රහ කර තිබේ. බුද්ධ දේශනාවේම පැහැදිලි වන ආකාරයට කෙනෙකු මෙලොව උපත ලද දා සිටම අටලෝ දහමට නතු වීම සිදුවන්නේය.

දුකක් මෙන්ම සැපක් අපේක්ෂා කිරීම එහි ගැබ්වී තිබුණ ද මෙලොව සැවොම සැප පමණක් අපේක්ෂා කරති. කෙසේ වෙතත් ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා ලංකාවේ මිනිසුන්ට ශක්තියක් ඇති බව නම් අවස්ථා ගණනාවක දී අපේ ඉතිහාසය ඔප්පුකර ඇත.

මුලික වශයෙන් ගත් කල අද අදවන විට මුහුණ දී ඇති ගැටලු අතරේ මහජනතාවට අවශ්‍ය සේවා සැපයීම,ඒවා නිසි අයුරින් පවත්වාගෙන යෑම මෙන්ම ක්‍රියාත්මක කිරීම ආදී කරැණු සම්බන්ධයෙන් අද වනවන විට ගැටලු රැසක් පැන නැගි ඇති බව මැදහත් සිතින් යුක්තව අපි විසින් පිළිගත යුතුය.

ඊට හේතුව වී ඇත්තේ කරන හැමදේම හොඳ යැයි පවසා වෙන්නට යන විනාශය වළක්වා ගැනීමක් සිදු නොකර සියල්ලන්ම විනාශ වීම අනුවණ කමක් වන බැවිනි.

ඉතිහාසය අපට කියාදුන් බැමිණිතියා සාය, කරකොළ සාය, මැලේරියා, ලාදුරු වැනි රෝග තත්ත්වයන් පිළිබදව විමසීමේ දී මිය ගිය ගණන් පිළිබඳව බොහෝ තොරතුරු පවතින්නේය.

සුද්දාගේ පාලන කාලයේ පවා ගම් පිළිබදව මෙන්ම නගර පිළිබඳව බොහෝ තොරතුරු එවකට රාජ්‍ය නිලධාරීන් සතුව පැවතියේය.

අද වන විට තොරතුරු තාක්ෂණයක් පිළිබද කතා කරන යුගයක (data bass) ලොවම විශ්ව ගම්මානයක් යැයි කියා ගන්නා සමයක අප අතින් සිදුවු වැරදි මොනවාද යන්න විමසිය යුතුය. රටක් පිළිබද සිතන්නට පෙර ගමක් ලෙස ගත්කල ඒ ගමේ අවශ්‍යතා සපුරාලීම සදහා රාජ්‍ය නිළධාරීන් කොපමණක් කටයුතු කරයි ද?

කෘෂිකර්ම නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන නිලධාරි, සංවර් ධණ නිලධාරි, වසම් භාර පොලිස් නිලධාරියෙක්, සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙක් ඇතුළු බොහෝ පිරිසක් එක් ග්‍රාම සේවක වසමකට රාජකාරී සඳහා යොදවා තිබේ.

වත්මනේ කොරෝනා රෝගී තත්ත්වයත් සමග මතුවී ඇති ගැටලු කෙරෙහි අවධානය යොමු කරමු.

අද වන විට සමස්ත මහජනතාවට සිය අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ දී රජයට ඔවුනොව්න්ගේ තොරතුරැ නිසි පරිදි නොමැතිවීම බරපතල ගැටලුවක් බවට පත් වී තිබේ.

අපේ රටේ ව්‍යවසනයක් සිදුවු විට මෙන්ම ඕනෑම අවස්තාවක භාවිතයට ගත හැකි තොරතුරු මුලාශ්‍රයන් (data bass) අප රට තුළ නිර්මාණය කළ නොහැකිද?

මේ වනවිටත් ලංකාවේ බොහෝ පිරිසක් දත්ත සම්ප්‍රේක්ෂණය කිරීම සඳහා විවිධ මෙවලම් භාවිත කරති. කුඩා කුඩා කණ්ඩායම් විසින් සිදුකරනු ලබන මෙම ක්‍රියාවලිය අද වන විට පුළුල් කිරීමේ අවශ්‍යතාව අත්‍යාවශ්‍ය කාරණාවක් බවට පත්වී තිබේ.

ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන අන්තර්ජාල පහසුකම් වලින් සමන්විත අතර ඇතැම් ආයතන මේ වන විටත් අන්තර්ජාල ඔස්සේ විවිධ සේවා සපයමින් සිටියි.

එහෙත් හදිසි අවශ්‍යතාවක දී අවශ්‍ය වන මහජන තොරතුරු වර්ගීකරණයකින් යුතුව ලබාගැනීමේ ජාල ගත සේවාවක් අප රටේ තවමත් නිසි පරිදි නොමැත. පොදු කාරණාවක් ලෙස ගත් කල ඔවුන්ගේ මුවින් පිටවු කරැණු අතර බහුලව දක්නට ලැබුණේ ‘අපි කඩිනමින් අවශ්‍ය පියවර ගන්නවා “ වැනි වදන්ය.

මහජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේ කුඩා ඒකකය වන ගම පිළිබදව ගත් කල රාජ්‍ය ආයතන නිළධාරීන් වැඩි ප්‍රමාණයක් කටයුතු කරනු ලබයි.

ඔවුන්ට පහසුවෙන් වර්ගිකරණය කළ හැකි මහජන තොරතුරු එක් රැස් කිරීම අපේ රටේ සිදු නොවුයේ මන්ද යන්න ගැටලුකාරී තත්ත්වයකි.

අධ්‍යාපන මට්ටම්, රෝගීන්, මහජන ආධාර ලබන්නන්, රණවිරැවන්, කුඩා දරැවන්, වැඩිහිටියන්, සමාජ සේවකයින්, රාජ්‍ය නිලධාරීන්, ආගමක නායකයින්, වෘත්තිකයින් මෙන්ම ව්‍යාපාරිකයින් වැන්නන්ගේ තොරතුරු අද වන විට අප සතුව තිබුණේ නම් ඕනෑම ව්‍යාවසන කාරි තත්ත්වයක දී ඔවුන්ට සහන සැලසීමේ කාර්යය ඉතා පහසු වනු ඇත. මෙවැන්නන් සම්බන්ධයෙන් විශාල ලිපි ලේඛන පවත්වා ගෙන යාම අවශ්‍ය වන්නේද ?

අද වනවිට භාවිත වන ඉලෙක්ට්‍රෝනික මෙවලම් හරහා දත්ත ගබඩා කර තැබීමේ පහසු ක්‍රම ඕනෑතරම් අප අතරට පැමිණ තිබේ. මේ වන විටත් ලංකාවේ බොහෝ පිරිසක් ජංගම දුරකතන භාවිතයට හුරු වී තිබේ.

එහෙත් ඉන් ලබාගත හැකි බොහෝ සේවා පිළිබඳව ඔවුන් දන්නේ අල්ප වශයෙනි. කෙසේ වෙතත් අපේ රටේ බැංකු වල බොහෝ කටයුතු නිවසේ සිටම සිදුකර ගත හැකි අයුරින් ඔවුන්ගේ සේවා හන්වා දීම මේ වන විටත් මහජනතාව අත්විදිමින් සිටිති.

වත්මනේ පැන නැගි ඇති හදිසි තත්ත්වය යටතේ මහජනතාව ආරක්ෂා කිරීම සදහා රජය ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටියි.

නිවෙස් වල සිටින රෝගීන්ට බෙහෙත් ලබාදීම වැනි කාරණා වලදි රෝගීන් පිළිබද නිශ්චිත තොරතුරු හා ඔවුන්ගේ රෝග නිදානයන් පිළිබදව තොරතුරු අද වන විට අදාළ ආයතන වලට යොමු කිරීමට මහජනතාවට සිදුව තිබේ. අප ඉහතින් සදහන් කළ ආකාරයට ජාල ගත සේවා පැවතියේ නම් අදාළ රෝගීන් පිළිබද තොරතුරු ඉල්ලීමටත් පෙර ඒ හා සම්බන්ධ ආයතන දැනුවත් වීම සිදුවන්නේය. උදාහරණයක් ලෙස ලංකාවේ ක්‍රියාත්මක බැංකු වල ඒ ටි එම් යන්ත්‍ර ක්‍රියාවලිය අධ්‍යනය කරන්න.

ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ගනුදෙනු කරැවෙකුට සිය මුදල් ලබාගැනීමට ඔවුන් සිය සේවා පුළුල් කර තිබේ.

එමෙන්ම ඔහු ලබාගත් මුදල් මෙන්ම ඉතිරිව ඇති මුදල් පමණක් නොව ගනුදෙනු කළ ආකාර පිළිබද තොරතුරු පවා පහසුවෙන් ගනුදෙනු කරැවකුට ලංකාවේ ඕනෑම බැංකුවකින් ලබාගත හැකිය.

අත්‍යාවශ්‍ය ඖෂධ ලබාගන්නා රෝගීන් සම්බන්ධයෙන් ද මෙැවනි ක්‍රියාවලියක් අනුගමනය කිරීමට අපට හැකි වුයේ නම් මේ වන විට අප රටේ ඖෂධ හල් අසල රෝගීන්ට පෝලිමේ ඉන්නට අවශ්‍ය වන්නේ නැත.

යමෙක් සිය ප්‍රදේශයෙන් බැහැර වන්නේ ද යමෙක් වෙනත් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට පැමිණ කල් ගෙවන්නේ ද යන කාරණා වලදි ඔවුනොවුන් පිළිබද තොරතුරැ කල් වේලා ඇතිව දැන ගැනීම තුළින් බොහෝ කාරණා වලදි වැයවන කාලය මෙන්ම මුදල් ද අපට ඉතිරි කර ගත හැකිය.

උදාහරණයක් ලෙස බොහෝ විදෙස් රටවල ක්‍රියාත්මක ජාල ගත තොරතුරු සම්බන්ධව විමසීමේ දී පුද්ගලයෙකු පදිංචි දිස්ත්‍රික්කයෙන් පිටවන අවස්ථාවක දී ඔහු භාවිත කරන ජංගම දුරකතනයෙන්ම තමන් ඇතුළුවන නව ප්‍රදේශයේ ආරක්ෂක අංශ සම්බන්ධ ජාල වලට තොරතුරු සම්ප්‍රේෂණය වෙයි.

එපමණක් ද නොව යම් පරීක්ෂා කිරීමක දි පුද්ගලයෙකුගේ හැදුනුම්පත් පරික්ෂාව, රැකියාව විමසීම මෙන්ම යන්නේ කොහෙද කුමක් සඳහාද යන්න විමිසීම ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන ක්‍රියාවලියකි.

තොරතුරු තාක්ෂණය ඔස්සේ ඉන් ඔබ්බට ගිය බොහෝ දේ සිදුකළ හැකි බව මේ වනවිටත් ගල්ෆ් කලාපයේ ආරක්ෂක අංශ ද ඔප්පුකර හමාරය.

පුද්ගලයෙකුගේ ඇගිල්ලක් පරිඝනකයේ තැබු සැනින් ඔහු පදිංචි රට, භාෂාව, රැකියාව, ගමන්කර ඇති වෙනත් රටවල් පිළිබද විස්තර මෙන්ම සිදුකරන ලද පෙර වැරදි සම්බන්ධ තොරතුරු ඇතුළු විශාල තොරතුරැ ප්‍රමාණයක් ආරක්ෂක අංශ වලට තත්ත්පර ගණනක දි පහසුවෙන් ලබා ගත හැකිය.

එමෙන්ම ඔවුනොවුන් පිළිබදව අනවශ්‍ය වැටහීම් පවා තත්ත්පර ගණනකින් ඉවත්කර ගත හැකි වන අතර, බොහෝ විට පුද්ගල අනවබෝධය වැනි කාරණා වල දි මහජනතාවට සිදුවන හිරිහැර ආදිය අවම කර ගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයි.

ලංකාව වැනි රටකට මෙම තත්ත්වය කෙතරම් දුරකට ප්‍රායෝගික වන්නේද යන්න පිළිබදව සලකා බලද්දි ගම්‍ය වන්නේ එය ඉතා පහසුවෙන් සිදුකළ හැකි කාරණාවක් බවයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසම ආදී ආයතන මහජන තොරතුරු රැස්කරන අතර ඔවුන් ඔවුන්ගේ කාරණා සඳහා පමණක් ඒවා භාවිත කරති. නුතන සමාජ ක්‍රියාවාලින් වලදි නවීන තාක්ෂණය භාවිතය මගින් යම් රෝගීයෙකු ලබාගත් ඖෂධ ප්‍රමාණය හා ඉතිරි වී ඇති ඖෂධ ප්‍රමාණ පවා එ්වා නිකුත් කරන ආයතන වලට පහසුවෙන් දැනගත හැකිවන අතර නව ඖෂධ නිකුත් කිරිමේ නිර්දේශ පවා බොහෝ රටවල සිදුකරනු ලබන්නේ අදාළ වෛද්‍යවරැ ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණයෙනි.

එබැවින් අප විසින් ද එවැනි තත්ත්යකට ළගා විය යුතුය.

ගමේ ග්‍රාම නිලධාරිගේ සිට සෙසු නිලධාරීන්ට සිය වසම් මට්ටමින් ලබාගත හැකි සමාජ තොරතුරු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත ගඩඩාවක තැන්පත් කළ හැකි අතර, එය පළාත් මට්ටමට මෙන්ම ජාතික මට්ටම දක්වා ව්‍යාප්ත කළ හැකිය. ඒ හරහා අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ දී මෙන්ම ඕනෑම පොදු කටයුත්තක දී මෙම ජාල ගත තොරතුරු හරහා කාලය ශ්‍රමය අඩුවෙන් වැය කරමින් මහජන සේවා සැපයීම් සිදුකළ හැකි වන්නේය.

නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ කටයුතු කළහොත් පුද්ගලයෙකු ගේ උපතේ සිට මරණය දක්වා සියලු අවස්ථා කළමනාකරණය, සේවා සැපයීම් මෙන්ම සෙසු අවශ්‍යතා ඉටුකරලීම කෙරෙහි දත්ත ගබඩාවක වැදගත්කම ඉතා වැදගත් වනු ඇතැයි මේ ලිපිය කියවන ඔබට වැටහී යනු ඇත.

Comments