මරුවා ගේ එළිපත්තේ ගෙවන ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ | සිළුමිණ

මරුවා ගේ එළිපත්තේ ගෙවන ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ

‍ ජනයාගෙන් හිස්වූ ඉතාලියේ නාපොලි නගරයේ දර්ශනයක්

 

මා යුරෝපයේ ශ්‍රී ලාංකික ස්ථිර පදිංචි කරුවෙකි. එදිනෙදා පුවත් පත් ද රුපවාහිනිය වැනි ජන මාධ්‍ය ද ඇසුරින් සාමාන්‍ය පුරවැසියකු හැටියට මම දන්නා තරමින් මේ වසංගතය ගැන කතා කරමි. අද ඉතාලියේ ජිවත් වන ජනතාව ඇත්තෙන් ම මරුවා පෙනි පෙනී ජීවත් වනවා යැයි කීම ඇතිවාට වැඩි කියමනක් (අතිශයෝක්තියක්) නො වේ. 

සියලු වෘත්තිකයෝ ද ශ්‍රමිකයෝ ද ස්වේච්ඡා නිවාස අඩස්සියක පසු වෙති. පාසල් සිසුවෝ ද සරසවි සිසුවෝ ද අන්තර්ජාලය හරහා නිවසේ සිට ම උගනිති.

ඇතැම් වෘත්තිකයෝ නවීන ශිල්ප ක්‍රම උපකාරයෙන් ගෙවල සිට ම සිය රාජකාරි ඉටු කරති. එහෙත් සුළු ව්‍යාපාරික බහුතරය ද කම්කරු රැකියා නියුතු බහුතරය ද අසරණ ව රැකියා ස්ථානවල හා නිවාසල කොටු වී දෑත් බැඳගෙන ඈනුම් හරිති. කම්හල්වල දුම් රොටු ද වාහනවල කිළිටි දුම් ද නොදකින වා තලය පිරිසුදු ව ඇතැයි පරිසර විද්‍යාඥයෝ හෙළි කරති.

බිඳ වැටෙන ජන ජීවිතයට රුකුල් දෙනු පිණිස රජය විසින් මුදල් වෙන් කෙරිණි. බොහෝ රැස්වීම සිදු කෙරෙනුයේ ඇසිදිසි හමු (වීඩියෝ හමු ) හැටියට ය. පවුලක් සඳහා අහාර වියදම් හැටියට ඉයුරෝ තුන්සියයක් වැනි මුදලක් නගර සභාව හරහා ද රැකියා වැටුප් අහිමි වූවන් සඳහා ඉයුරෝ හයසියයක පමණ මුදලක් අර්ථසාධක අරමුදල් භාරය හරහා ද රජය විසින් මුදා හැරිණි.

 

ඉතාලියේ කොරෝනා පැතිරීම

චීනයෙන් ආරම්භ වූ කොරෝනා හෙවත් කොවිඩ් -19 වසංගතය නිසා මේ වන විට ඉතාලියේ මිය ගිය ලේඛන ගත සංඛ්‍යාව දළ වශයෙන් 14000ක් පමණ වේ.

යුරෝපයේ ඉහළ ම ආර්ථිකයක් හිමි රටක් ලෙස සැලකෙන ඉතාලියට මේ රෝගය පාලනය කර ගැන්මට නොහැකි වූයේ ඇයි ද යන්න ලෝකයට ම ප්‍රශ්නයක් වී තිබේ. ජපානය හැරුණුකොට වයසක ජනගහනය වැඩි ම රට ඉතාලියයි. යුරෝපයේ සෑම සීත කාලයක ම වයසක අය ඉම්ෆ්ලුවන්සාවට භාජන වෙති. ඒ සඳහා ආරක්ෂක එන්නතක් නොමිලයේ රජය විසින් හැම වැඩිහිටියකුට ම ලබා දෙයි. ඉම්ෆ්ලුවන්සාවෙන් යම් මරණ ප්‍රතිශතයක් ද වාර්ෂික ව වාර්තා වෙයි. ඒ හෙයින් වසංගත රෝග තත්ත්වය සැහැල්ලුවට ගත් හෙයින්දෝ වසංගතය ඔඩු දිවී යැයි විචාරකයෝ කියති. චීනය විසින් වසංගත මාරාන්තික බව හෙළිනොකිරීම ද මරණ දත්ත අව ම කර පෙන්නීම ද නිසා ඉතාලි සුවතා බලධරයනට කරණු වටහා ගැනීමට භාධක විය.

 

එක්වරම හිස එසවීම

මෙහි දී පවසන්නට ඇති ප්‍රධානතම කරුණ වන්නේ කොවිඩ් - 19 හෙවත් කොරෝනා රෝගය එක්වර ම රටක් තුළ හිස එසවීම යි.

චිනයේ මෙන් ම ඉතාලියේ සිදුවූයේ ද ලැව් ගින්නක් මෙන් අනපේක්‍ෂිත ව වහවහා පැතිර යාමයි.

චීනයෙන් හටගත් මේ වයිරසය ඉතාලියට පැමිණ ඇත්තේ චීනයේ සංචාරය කළ ජර්මන් ජාතිකයකු ගෙන් බවට මේ වන විට අනුමාන කෙරේ.

එහෙත් ආරම්භක දිනවල එනම් ජනවාරි මාසයේ මුල් කාලයේ දී ඉතාලි සංචාරයේ නිරත චීන ජාතිකයින් දෙදෙනකුට මේ රෝගය ස්ථිරව ම සෑ දී ඇති බව තහවුරු වීමත් සමඟ එම රෝගීන්ට අවශ්‍ය පරිදි ප්‍රතිකාර ඉහළින් ම කරන ලදී. ඔවුහු සුවපත් වූ හ . එසේ වුවත් පසු ව සති කිහිපයකට පසු ව රෝගයෙන් දෙ‍දෙනෙක් මිය යාම නිසා ඒ ගැන පෙරට වඩා උනන්දුවෙන් කටයුතු කරන්නට ඉතාලි රජය උත්සුක විය . ඒ වන විට ලෝකයේ රටවල් කිහිපකට පමණක් මේ රෝගය පැතිර තිබූ අතර රෝගය පැතිර යාම සම්බන්ධ ව ලෝකයේ ජනතාව අතර පවා එතරම් දැනුමක් තිබුණේ ද නැත.

 

ආතරයිටිස් ඖෂධ ලබාදීම

එහෙත් එක්වර ම සිය ගණනක් රෝගීන් ආසාදිතයින් බවට හඳුනා ගැනීමත් සමඟ මේ තත්ත්වය උග්‍ර විය. එක් පිරිසක් හඳුනාගෙන ප්‍රතිකාර කරන විට පසු දින ඔවුන් ඇසුරු කළ තවත් පිරිසක් රෝගීන් අතරට එක් විය. උදාහරණයක් ලෙස උතුරු ඉතාලියේ සේවය කරන රියැදුරකුට මේ රෝගය ආසාදිත වී දකුණු පෙදෙසට පැමිණිය හොත් ඔහු ගෙන් නිවසේ සිටින බිරියට, දරුවන්ට හිත මිතුරන්ට මෙන් ම ඔවුන් හරහා තවත් විශාල පිරිසකට මේ රෝගය පැතිර යතියි අනුමාන කරන ලදී. ඒ අනුව එක් අයකු ගෙන් මාසයක් තුළ 500කට අධික පිරිසකට මේ රෝගය පැතිර යනු ඇතැයි අනුමාන කෙරිණි. අතර ඒ අනුව සති දෙකක කාලයක් තුළ 250කට ආසන්න පිරිසකට රෝගය පැතිර යන්නට ඇත. ඒ හරහා රෝගය ආසාදිත වූ පුද්ගලයන් සංඛ්‍යාව අතිවිශාල ලෙසින් වර්ධනය විය.

රෝගීන් සඳහා ලබා දුන්නේ “ආතරයිටිස්“ රෝගයට ලබා දෙන සාමාන්‍ය ඖෂධ වන අතර එය චීනයේ ද රෝගීන්ට ලබා දී තිබූ ඖෂධයකි. එහෙත් නොසිතූ විරූ ලෙසින් දහස් ගණනින් වයිරසය ආසාදිත වූවන් වැඩි වන විට රෝගය පාලනය කර ගැනීම අසීරු විය.

 

ජනමාධ්‍යවලින් ඉතාලි රජයට දොස්

අප පෙර සඳහන් කළ මිය ගිය පුද්ගලයන් දෙදෙනා වාර්තා වූයේ වෙනිතෝ සහ ලොම්බාර් දී පළාත්වලිනි. ආරම්භයේ දී ඉතාලි රජය මේ සම්බන්ධ ව අවධානය අඩුවෙන් යොමු කළ බවට මාධ්‍ය විචාරකයෝ කී හ . විශේෂයෙන් ම “ජනවාරි මාසයේ දී රජය පියවරක් ගත්තා නම් මෙහෙම දෙයක් නොවෙන්න තිබුණා . ආගමනය විගමනය පාලනය කිරීම සහ දේශසීමා වසා දැමීම “වර්ගවාදය” හෝ “ෆැසිස්ට්වාදය”හෝ නොවන බව රජය තේරුම් ගත්තේ නැහැ යි“, විචාරකයෝ රජයට දබර ඇඟිල්ල දිගු කළහ.

“එය සිදුවුණේ රජය විසින් දුර්වල ඇගැයීමක් කර තිබු නිසයි. එය චීනයෙන් පැමිණි පුද්ගලයන් හෝ පුපුරා යන ස්ථාන පිළිබඳ නිරෝධායනවලින් ආරම්භ කළ යුතු ව තිබුණා. ලෝකයේ විවිධ රටවල් සමඟ අපට සම්බන්ධතා ඇති හෙයින් වයිරසය නැවැත්විය නොහැකි බව පැහැදිලියි, කෙසේ වෙතත් සැබෑ නිරෝධායන ක්‍රම වයිරසය පැතිරීම වළක්වා ගැනීම පිණිස වැදගත්” ජන මාධ්‍ය විවේචන කළහ .

 

ඉතාලියේ ජාතික ප්‍රතිපත්ති

ඉතාලියේ හැම රෝගියකු ම රෝහල් යන්නේ නැහැ. ඔවුන් සිය නිවෙසේ සිට ම ප්‍රතිකාර ගන්නවා.“ මේ තමයි හැබෑව .ඉතාලිය කිසිදු විටෙක ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා කටයුතු නොකරන රටකි. රට වැසියා ගේ නිදහස ගැන සැම විට ම ඉහළින් ම සිතා කටයුතු කරයි. රටේ පවත්නා ජාතික ප්‍රතිපත්ති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු අවස්ථාවක ඉක්මවා කටයුතු නො කරයි. ඉතාලියේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ද ජාතික ප්‍රතිපත්තියක් ලෙසින් පවත්වා ගෙන යන්නකි. කුමන හේතුවක් මත හෝ එම ප්‍රතිපත්තී කඩ කරන්නේ නැත. විශේෂයෙන් ම සෞඛ්‍ය ආම්පන්න හෝ ඖෂධ හෝ කිසිදු ලෙසකින් අඩු ප්‍රමිතියකින් සකස් කරන්නේ හෝ ආනයනය කරන්නේ හෝ නැත. ඒ අනුව මේ වයිරස් රෝගය පැතිර යාමත් සමඟ රටට ආනයනය කරනු ලබන වෛද්‍ය උපකරණවල විශාල හිඟයක් ද ඇති විය. එම හිඟය නිසා ප්‍රමිතිගත සෞඛ්‍යාරක්ෂිත ආම්පන්න ආරක්ෂක මුව ආවරණ ආදිය අඩුවීය.

පසුගිය මාර්තු මාසය අවසන් වන විට ඉතාලියේ වෛද්‍ය්වරුන් පමණක් 63 දෙනෙක් මිය ගිය හ.. එය ඉතාමත් ම කනගාටුදායක ය. ඒ කෙසේ වෙතත් මොන ම තත්ත්වයක් යටතේ හෝ ප්‍රමිතියෙන් අඩු කිසිදු වෛද්‍ය උපකරණ භාවිත කරන්නට ඉතාලි රජය කටයුතු කරේ ද නැත. රටේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එතරම් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යයි.

එ මෙන් ම ඉතාලියේ විදේශ ප්‍රතිපත්තිය ද මෙහි දී පෙන්වා දිය යුතු ය. ඉතාලියේ දී මිය යන කිසිවකු ගැන ඔවුන් ස්වදේශ විදේශ ජාති ආගම් භේද ලෙසින් සලකන්නේ ද නැත. ඒ ඉතාලි මියගිය අයෙක් පමණක් යනුවෙන් හඳුන්වයි.

 

“ලොක් ඩවුන්“ නොකිරීම

චීන ජාතිකයින්ට අයත් අලෙවි සල් සෑම නගරයක ම පාහේ දක්නට ලැබෙයි . හැත්තෑ පන්දාහක් (75000)ක් පමණ වන චීන ජනගහනයක් වන ඉතාලි අග නගරය වන රෝමයේ වෙසෙති. චීන ජාතිකයන්ට ම ඇරුණු වෙන ම වීදි ද රෝමයේ දක්නට ඇත. වයිරසය පැතිර යාමෙන් පසුව චීන පොලිසියේ ස්වේච්ඡ කණ්ඩායමක් ඒ චීන ජාතිකයන් ගේ සහායට චීනයෙන් පැමිණිය හ .

රෝග ව්‍යාප්තිය වර්ධනය වත් ම සියලු ඉතාලි ජාතිකයින්ට නිවස්වල රැඳී සිටින ලෙස රජය දැනුම් දුන්නේ ය. අග්‍රාමාත්‍ය ජුසෙප්පේ කොන්තේ ප්‍රකාශ කළේ, ඉතාලියේ වසා දැමීම හේතුවෙන් සමස්ත යන්ත්‍රණනය ම බිඳවැටිය හැකි බවත් එම නිසා ඉතාලිය වසා දැමීමෙන් ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කඩා නොදමන බවත් ය . කොවිඩ්-19 වයිරසයේ ව්‍යාප්තිය අවසන් වූ පසු පෙර සේ ඉතාලියට නැඟී සිටිමට හැකි වනු ඇති බව තමන් අපේක්ෂා කරන බව ද ඉතාලි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ නිසා නගර වසා දැමීම හෝ ඇදිරි නීතිය පැනවීම හෝ කර නැති අතර බස් රථ ඇතුළු ප්‍රවාහන සේවා ද පැවැත්වේ. ඒ අත්‍යවශ්‍ය කටයුතු සඳහා යන එන අය උදෙසා ය. වෛද්‍යවරයා හමුවට හෝ වෙනත් හදිසි අවශ්‍යතා වෙනුවෙන් යන එක සුළු පිරිසක් වෙනුවෙනි ඒ පොදු ප්‍රවහන සේවා. එහෙත් බහුතර බස් රථවල මගීන් නැතිව රියැදුරා පමණක් යනු දක්නට ඇත.

සුපිරි වෙළෙඳ සල් මෙන් ම ෆාමසි ද විවෘත ය. සුපිරි වෙළෙඳ සල්හි පොරකෑමක් නැත. අත්‍යවශ්‍ය දේ ලබා ගැන්මට පමණක් එහි ගමන්කරන්නට ජනතාව විසින් කටයුතු කරනු ලබති . කිසිවෙක් පෝලිම් ගැසී රැඳී නොසිටිති.

ඔවුහු තම වාරය පැමිණෙන තුරු විසිරී සිටිති. සුපිරි වෙළෙඳ සල් වෙත ඇතුළු වීමට පෙර දුරස්ථ ඉලෙක්ට්‍රොනික උණ මනුවෙකින් පාරිභෝගිකයන් පිරික්සුමට ලක් කෙරේ.

අංක ලබා ගැනීම අනවශ්‍යය. ඔවුන් සිදු කරන්නේ අවසානයට පැමිණි තැනැත්තා කවුරුන් ද යන්න දුර සිට විමසා බැලීමයි. ඔහු හෝ ඇය හෝ අත එසවීමෙන් තමා අවසන් පුද්ගලයා යැයි පළ කරන අතර ඒ තැනැත්තා ඇතුළු වීමෙන් පසුව ඇතුළට යාමට ඉතාලි ජාතිකයෝ ස්වයං ශික්ෂණයක් ඇත්තෝ හ.

වැඩිහිටියන්ට ඉහළම සැලකිල්ලක්

රටේ නීතියට මෙන් ම ප්‍රතිපත්තියට ගරු කරන්නට සියලු දෙනා එක්ව කටයුතු කිරීමෙන් මේ අවස්ථාවේ මේ රෝගයෙන් ගැලවීමට ඔවුහු කටයුතු කරති. පාප් වහන්සේ පවා දේව මෙහෙය සිදු කෙළේ තනි ව ම ය.

කොරෝනා වෙනුවෙන් ම වෙන් කළ රෝහල්හි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙත දිනපතා ම තෑගිබෝග ලබා දීමෙන් ජනතාව විසින් ඔවුන් නිත්‍ය ඇගැයීමකට ලක් කරනු ලබති . එ මෙන් ම සුවිසිතුරු සුබ පැතුම් පත් එවමින් ඔවුන් ගේ චිත්ත ධෛර්යය උත්තේජන කරති. බොහෝ දෙනා හෙද හෙදියන් ඇගැයුමට පාත්‍ර කරන ලද්දේ ඉතාලි වීරයින් ලෙසිනි. ඉතාලියේ සෞඛ්‍ය අංශ හැකි උපරිම ලෙසින් කිසිදු විවේකයක් පවා නොලබා රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා සිය මෙහෙවර සපුරනුයේ” මිනිසා ගේ පර ම යුතුකම මිනිස් ජීවිත සඳහා අභය දානය ය “ යන නවමු ආප්ත වැකියක් බිහිකරමිනි.

ඇතැම් සමාජ මාධ්‍ය විසින් පසුගිය දිනවල වාර්තා කර තිබුණේ ඉතාලියේ වයස අවුරුදු 70ට වැඩි අය නොසලකා ඇති බවකි. එය වූකලී සාවද්‍ය පුවතකි. ඉතාලිය තරම් වයෝවෘද්ධ පුද්ගලයන්ට සලකනු ලබන රටක් දකින්නට නැතැ යී කීම අතිශයෝක්තියක් නො වේ. ඉතාලියේ වයස අවුරුදු 67 සපිරුණු වහා ම ඒ තැනැත්තාට හෝ තැනැත්තියට හෝ අනිවාර්යෙන් ම විශ්‍රාම වැටුපක් හිමි වේ. එම තැනැත්තා හෝ තැනැත්තිය හෝ පෙර රැකියාවක් සිදු කළා ද රැකියාවක් සිදු නොකළා ද අර්ථසාධක අරමුදල් සංචිතයක් තිබේ ද යන්න අදාළ නොසැලකේ. එක ම සුදුසුකම වන්නේ වයස අවුරුදු 67ක වැඩිමහල්ලකු වීම පමණි.

ශ්‍රී ලාංකිකයෝ 110000ක් ඉතාලියේ

ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගැන ශ්‍රී ලංකාවේ ඇතැම් ජන මාධ්‍ය වැරැදි ප්‍රචාරය සිදු කිරීම ද එක්තරා අතකින් කනගාටුදායක ය. වසර 2018 ඉතාලියේ ලේඛන ගත සංඛ්‍යා අනුව නීත්‍යානුකූල ලෙසින් ශ්‍රී ලංකාවාසීහු 110000ක් පමණ ඉතාලියේ වාසය කරති. ඔවුහු වසරකට වරක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙති. ඒ අනුව දිනකට සාමාන්‍ය වශයෙන් 300ක පමණ පිරිසක් ගුවන් මඟින් ශ්‍රී ලංකාවට පැමිණීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. ඒ හැරෙන්නට කොරෝනා වැළඳීම නිසා ශ්‍රී ලංකාවට පැමිණීයා යැයි කීම පිළිගත නොහැකිය. ගුවන් යානයේ දී පැය 12ක් පමණ එක ම වායු සංසරණ ආවෘත පරිසරයක පැමිණෙන විට රෝගය ඇතියකු ගෙන් තව කෙනකුට වැළඳීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ ය.

ඉතාලියේ කම්පානියා ප්‍රදේශයේ පමණක් ශ්‍රී ලාංකික නිල අවසර ලත් පවුල් 15000ක් පමණ ජීවත් වේ. ඒ කිසිවකුට ගැටලුවක් නැත.

ඔවුන් සියලු පහසුකම් සහිතව සිටින අතර කුමන ආදායම් තත්ත්වයක් මත පැමිණිය ද ඉතාලියට පැමිණි පසුව ඔවුන්ට විශාල ආදායමක් උපයා ගැන්මට හැකියාව තිබේ. විපතක් ඇත ද නැත ද දුප්පත් විදේශිකයෝ ද ස්වදේශිකයෝ ද මාස් පතා වියළි සලාක කිරි චීස් ආදිය පුණ්‍යායතනවලින් ලබා ගනිති .

ඇත්තෙන් ම මේ වන විට ඉතාලියේ වෙසෙන ස්වදේශික හා විදේශික ජනතාව රජය විසින් ලබා දෙන උපදෙස් ඉහළින් ම පිළිපදිමින් ගෙවති අතවශ්‍යය ම කරුණකට හැරෙන්නට නිවසින් එළියට බසින්නේ නැත. ඒ රෝගය ව්‍යාප්තිය පාලනයට ඔවුන් විසින් ලබා දී ඇති සහාය යි.

ශ්‍රී ලංකාවේ වෙසෙන ජනතාවට පැවැසීය යුතු වන්නේ ද කොරෝනා යනු සැඟ ව සිට එක් වර ම ඉහළට එසවෙන භයානක රෝගී තත්ත්වයක් නිසා මේ වයිරසය සමඟ සෙල්ලම් කළ නොහැකි බවයි. ඔබ නිවසේ නොසිට එළියට බසින්නේ නම් ඔබකරන්නේ තමාත් තමා ආදරේ යැයි කියනා අයත් මරණයට ළං කිරීමට උත්සාහ දැරීමකි.

Comments