ජාතියේ ගෞරවය හිමිවිය යුතු බැංකු හා මූල්‍ය අංශ සේවකයෝ | Page 2 | සිළුමිණ

ජාතියේ ගෞරවය හිමිවිය යුතු බැංකු හා මූල්‍ය අංශ සේවකයෝ

කෝවිඩ් - 19 වසංගතයෙන් අප රටත්, ජනතාවත් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරා කටයුතු කරන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධාන සෑම අංශයකම පිරිස් වෙත ජාතියේ උත්තමාචාරය පිරිනැමිය යුතුය. ඒ පිළිබඳව කිසිදු විවාදයක් අප සමාජයේ මතුවී නැත.

මේ අන්දමට ම ඔබේත් මාගේත් ගෞරවාදරය හිමි විය යුතු සුවිශේෂී පිරිසක් සිටිති. ඒ කොරෝනා ව්‍යවසනය හමුවේ ඊට නොසැලි, නොබියව මුහුණදීමට තම සේවාව සපයන පිරිසකි. ඔවුහු වෙන කිසිවෙකුත් නොව, මෙරට බැංකු හා මූල්‍ය පද්ධතියේ බිඳ වැටීමකට ඉඩ නොතබමින් ක්‍රියා කරන බැංකු හා මූල්‍ය අංශයේ සේවයේ නියුතු පිරිස් වෙති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය සම්මානීත මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය නන්දලාල් වීරසිංහ, එච්. ඒ. කරුණාරත්න, මහින්ද සිරිවර්ධන යන මහත්වරු ප්‍රධාන මහ බැංකුවේ ඉහළ විධායක නිලධාරිහු, දෙපාර්තමේන්තු ප්‍රධානිහු බැංකු පද්ධතියේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරති.

මෙරට ක්‍රියාත්මක රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වානිජ බැංකු 26 හා විශේෂිත බලපත්‍රලාභි බැංකු 06 එකතුව 32ක් වන බැංකු පද්ධතියේ හා බැඳුණු ගනුදෙනුකාරභවතුන්ට තමන්ගේ මුදල් අවශ්‍යතා උපරිම පහසුකම් යටතේ සැපැයීම කෙසේ වෙතත්, දැනට රට තුළ පවතින ඇඳිරි නීතිය වැනි වාතාවරණයක් මධ්‍යයේ වුව අවම පීඩා හා අවම අපහසුතා මත ලබාදීමට බැංකු ප්‍රධානිහු කටයුතු කරති. එය මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක හා අත්‍යවශ්‍ය සේවා සපයන අන් සෑම දෙනාම සපයන සේවාවන් තරමට ම වටිනා එකක් බවට මේ මොහොතේ පත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියට කොරෝනා වෛරසය පැතිර යෑමෙන් වන පීඩා අවම කිරීම බැංකුකරුවාගේ බැංකුව ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේත්, මුදල් මණ්ඩලයේත් වගකීමයි. එමෙන් ම බැංකු පද්ධතියට අභියෝගයක් බිඳ වැටීමක් සිදු නොවන තැනට මේ කොරෝනා වෛරස් හානිය කළමනාකරණය කිරීම මහ බැංකුවේ එකම ප්‍රාර්ථනාව ද වී තිබේ.

ඊට අමතරව රජය විසින් මේ දිනවල රටේ සෑම ජන කණ්ඩායමකටම ලබා දෙන සහන සහ සාමාන්‍යයෙන් බැංකු හා මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කරන ගනුදෙනුකාර භවතුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලිම ද බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය ඉඩකඩ හා පරිසරය සකසා දීම මහ බැංකුවේ කාර්යයකි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලි අනුපාත පහත දැමීම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාත පහත දැමීම සිදුකළ බව එහි නියෝජ්‍ය අධිපති එච්. ඒ. කරුණාරත්න මහතා සඳහන් කෙළේය.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තෙ හා එහි මහා කළමනාකරු සුදත් ගුණසේකර මහත්වරු අප සමඟ කියා සිටියේ වර්තමානයේ ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක පවා තම ගනුදෙනුකාර භවතුන්ගේ මුදල් අවශ්‍යතා අවම පහසුකම් යටතේ ලබාදීමට තම කාර්ය මණ්ඩල හා බැංකු ශාඛාවල සේවක පිරිස් කටයුතු කරන බවයි. මෙහිදී තම බැංකුවේ ඒටීඑම් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හා අනෙකුත් විද්‍යුත් ක්‍රමවේද ඔස්සෙ ගනුදෙනුකාර සේවා ලබා දෙන බවය.

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය, ඉහළ කළමනාකාරිත්වය හා රටපුරා සෑම ගම්දනව්වකම පිහිටි තම ශාඛාවල, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හා විද්‍යුත් ගනුදෙනුකාර සේවා සපයන හා සෑම ජංගම ප්‍රචාරක රථයක්ම යොදාගෙන ජනතාවට මුදල් ලබා ගැනීමට පහසුකම් සපයා තිබෙන බවය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනිය කේශීලා ජයවර්ධන, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති උදය ශ්‍රී කාරියවසම්, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ සභාපතිනි නීතිඥ වසන්ති මංචනායක යන මහත්ම මහත්මීහු ද අප සමඟ ප්‍රකාශ කළේ, තම තම බැංකුවේ ශාඛා හැකි සෑම අවස්ථාවකම විවෘතකොට තබා හා ජංගම රථ යොදාගෙන ජනතාවගේ මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට සහාය වන බවයි.

සියයට 04ක් වැනි ඉතා අඩු පොලී අනුපාතයකට තෝරාගත් අංශ කිහිපයක කර්මාන්තකරුවන්ට කාරක ප්‍රාග්ධනය ලබාදීමට රජය යෝජනා කොට ඇත. මේ තුළින් එම අංශ යළිත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට රජය බලාපොරොත්තු වේ. එය සපල කරගැනීමට සහාය වෙමින් බැංකු ණය කඩිනමින් ලබාදීමට මේ දිනවල තම බැංකු පියවර ගන්නා බවද ඒවායේ ප්‍රධානිහු සඳහන් කර සිටියහ. මේ අන්දමට වඩාත් ජනතාවාදී බැංකු සේවාවක් සපයා දීමට විවිධ අභියෝග හමුවේ කටයුතු කරන මෙරට බැංකු හා මූල්‍ය අංශ සේවකයින්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු කරුණකි.

Comments