ගෙදර ඉන්න දරුවන්ට නිවසේදිම ඉගෙනුම් අවස්ථා | සිළුමිණ

ගෙදර ඉන්න දරුවන්ට නිවසේදිම ඉගෙනුම් අවස්ථා

 ලෝකයේ දියුණු රටවල්ද මේ වන විට කොරෝනා වසංගතයෙන් ගොඩ ඒමට නොහැකි පරිදි මේ ව්‍යසනයේ දරුණුම කාල පරිච්ඡ්දය ගෙවමින් පසුවෙති. ලංකාවේ පළමු කොරෝනා අසාධිතයා වාර්තා වීමෙන් අනතුරුව මේ වන විට ලංකාවේ ජනගහනයට සාපේක්ෂව මේ ව්‍යසනයේ භයානක පැති කඩකට මුහුණ දිමේ අවදානමට අප රට පත් වෙමින් පවතින බව වෛද්‍ය විශේෂඥයින්ගේ මතය වී ඇත්තේය. කෙසේ වෙතත් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධනය ලංකාවට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් පවසා තිබුණේ මේ වසංගතයෙන් බේරීමට සාර්ථක හා ඉහළම වටිනාකමකින් යුතු ක්‍රමෝපායන් ගත් ලොව මුල් රටවල් තුන අතරට ශ්‍රී ලංකාවද පත්ව ඇති බවයි. ලංකාවාසීන්ට එය තරමක සතුටුදායක පුවතක් වුවත් වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ එවනි අගය කිරීමක් සිදු කළද අපට සතුටු විය හැකි මට්මටමක අප රට නොතිබෙන බවය. ඊට හේතුව වන්නේ මෙහි අවදානම තවමත් අප සතුව ඇති අතර, දිනෙන් දින රෝග ව්‍යාප්තියේ අඩුවක් දක්නට නොතිබෙන නිසාය.

කෙසේ වෙතත් ලංකාවේ මුල්ම කොරෝනා රෝගියා වාර්තා වීමෙන් අනතුරුව රජය විසින් ගත් අති සාර්ථකම ක්‍රියා මාර්ගය වුයේ සමස්ත ලක්ෂ 40 කට වැඩි පාසල් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අටියෙන් ලංකාවේ සියලු පාසල් සිය මුල් කාර්තුවේ නිවාඩුව සති කිහිපයකට කලින් ලබා දිමයි. මේ කටයුත්තට දෙවරක් නොසිතා රජය අත ගැසූවේ ලංකාවේ මුල්ම කොරෝනා රෝගියා වාර්තා වූ දිනයේදීමය. ඒ වන විට එම රෝගියාගේ දරුවකු කොළඹ ජනප්‍රිය පාසලක උගැන්මත්, ලංකාවේ අනාගතය හිමි දරු පරපුර ආරක්ෂා කර ගැනීමේ එකම ක්‍රියා මාර්ගයත් මෙය වූ හෙයිනි. ලංකාවේ සියලු පාසල්වල අවුරුදු නිවාඩුව අවසන් වීමට නියමිත වූ අප්‍රේල් 20 වැනිදා දක්වා මේ නිවාඩුව දීර්ඝ වූ අතර කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් ලංකාවේ සියලු දරුවන්ගේ පමණක් නොව සමස්ත අධ්‍යාපනය ලබන්නන්ගේ අධ්‍යාපන අවස්ථා තාවකාලිකව නතර විය. පෙර වසරේදි පාස්කු ප්‍රහරය හේතුවෙන් පාසල් දරුවන්ට මෙවැනිම අතපසු වීමක් සිදු වුවද ඒ තත්ත්වය මෙතරම්ම දරුණු වූයේ නැත. මෙවර පාසල් දරුවන්ට සිය පෞද්ගලික පන්ති, දහම් පාසල් අධ්‍යාපනය පමණක් නොව අමතර දැනුම ලබා ගැනීමට හෝ ගෙදරින් එළියට බැසීමේ අවස්ථාද අහිමි විය. දරුවන් පාසල් නිවාඩුවේදි සිය පොත් පත් පවා නැතුව ගෙදර නවතින්නට සිදුවූයේ හදිසියේම නිවාඩුව ලබා දීම හේතුවෙනි.

එළඹෙන අගෝස්තුවේ ලංකාවේ තවත් දරු පිරිස් දෙකොටසකට ප්‍රධාන විභාග දෙකකට මුහුණ දිමට සිදුව ඇත. ඒ අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නිසාවෙනි. නමුත් තවමත් මේ සිසුන් දෙපිරිසකගේම පළමු වාර වැඩ කොටස් අවසන්ව නැත. විභාගයට මුහුණ දිමට පෙර ඔවුන් සම්පූර්ණ කළ යුතු වු විෂය මාලා තවත් ඉතිරිව ඇත. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට මෙහි ඇති අභියෝගය විශාලය. මේ නිසා උසස් පෙළ විභාගය පමණක් නොව ශිෂ්‍යත්ව විභාගය කල් යැමට ඉඩ ඇතැයි පළවූ වාර්තා සම්බන්ධයෙන් මේ වන විට රජයද නිශ්චිත පිළිතුරක් දී ඇත. එනම් මේ විභාග කල් දැමිමේ කිසිදු තීරණයක් ගෙන නැති බවය.

පාසල් දරුවන්ගේ අඩපණ වු අධ්‍යාපන කටයුතු නිවසේ සිට කරන්නට මේ වන විට රජය විශේෂ ක්‍රියා මාර්ගයක් ගෙන ඇත්තේය. එය වඩාත් පහසු වී ඇත්තේ දරුවන්ගේ මවුපියන්ද මේ වන විට නිවසේ ගත කිරිමත් ඔවුන්ට ඒ වෙනුවෙන් වෙහෙස විමට කාලය ඇති නිසාත්ය. ඊට අමතරව මෙරට අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනුව අදාළ කාර්යය සාධක බලකාය ස්ථාපනය කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණි. දැනට උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වයන් හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය කිසිදු අයුරකින් පසුබෑමකට ලක් නොවී අඛණ්ඩව ඉදිරියට පත්වාගෙන යමේ ක්‍රමවේද යොදා ගැනිමේ අවශ්‍යතාවය අවධානයට ලක්කරමින් මෙම අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කර ඇති බව සඳහන්ය. එමෙන්ම මෙරට ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික අධ්‍යාපන ක්ෂේත්‍ර කාලීන අවශ්‍යතාවන්ට උචිත වන සේ නවීකරණය කිරිමද මෙම කාර්යය සාධක බලකාය ස්ථාපිත කිරිමේ අරමුණ වී තිබේ.

පාසල් දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු පාසලේදි මෙන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසුවේ මෙවන් අදහසකි.

“ පාසල් දරුවන්ට සිය නිවාඩු කාලය වඩාත් අර්ථවත්ව ගත කිරිමට අවශ්‍ය පහසුකම් අපි මේ වන විටත් සම්පූර්ණ කර තියෙනවා. විශේෂයෙන්ම ඊ - තක්සලාවෙන් ඉගෙනුම් ක්‍රියාවලිය අපි ශක්තිමත් කර තියෙනවා. 2020 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික ප‍ත්‍ර උසස් පෙළ විභාගය කල් දමා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වන පුවත්වල කිසිදු සත්‍යතාවක් නැහැ. අදාළ විභාගය සම්බන්ධයෙන් එබඳු තීරණයක් ගෙන නැති බව අවධාරණයෙන් පැවැසීය යුතුයි. මුළු ලොවම ඛේදජනක ඉරණමකට ඇද දමා ඇති නව කොරෝනා (COVID -19) ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අප රටක් හා රජයක් ලෙසින් වඩාත් විද්‍යාත්මකව හා ධෛර්යසම්පන්නව මුහුණ දෙමින් සිටිනවා. “ ඒ අධ්‍යාපන ඇමැතිවරයාගේ අදහසයි.

දරුවන්ට මේ කාලය තුළ වඩාත් අර්ථවත්ව ගත කළ යුතු ආකාරය පිළිබඳ පසුගියදා අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මේ සාකච්ඡාවේදි ගත් තීන්දු තිරණ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් විත්‍රානන්ද මහතා පැවැසූයේ මෙවන් අදහසකි.

“ මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දරුවන්ට ගෙදර සිට සිය පාඩම් කරගෙන යාමට ඊ - තක්සලාව ආරම්භ කර තියෙනවා. මෙම ඊ - තක්සලාව හරහා සැම විෂයකටම අදාළ විෂය මාලා ආවරණය කරනවා. මේ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ විද්වතුන්ගේ සහයත් අපි ලබා ගන්නවා. ඒ වගේම අපි ළමයින්ට කියලා තියෙනවා චිත්‍ර අදින්න, කෙටි කතා ලියන්න කියලා. අපි ඒවා මුද්‍රණය කරන්නත් බලාපොරොත්තු වෙනවා.“

බොහෝ පාසල් දරුවන්ගේ පාඩම් මේ වන විට වට්ස් - ඇප් හරහා දරුවන්ට යවා ඇත්තේය. අද සෑම නිවසකට ස්මාර්ට් ජංගම දුරකතන ඇති නිසාවෙන් මේ කටයුත්තට බොහෝ පාසල් අත ගසා ඇති අතර එමඟින් දරුවන්ගේ අතහැරුනු පාඩම් පියවා ගැනිමට උදා වි ඇත. එසේ නොමැති දරුවන්ට ඊ - තක්සලාව හරහා ඉගෙනිම් කටයුතු නිවසේ සිට අඛණ්ඩව කර ගෙන යාමට අවස්ථාව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකසා ඇති අතර මේ කටයුතු ඉදිරියේදි තවත් විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

ඉදිරියේ ප්‍රධාන විභාග දෙකකට මුහුණ දෙන දරු පිරිසක් තවමත් සිය අධ්‍යාපන කටයුතු කර ගෙන යන්නේ විභාගයේ කිසිදු වෙනසක් නොවන බව දන්නා නිසාය. උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ හා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ විභාග කටයුතු ඉදිරියේදි කෙසේ සිදුවේද යන්න නිශ්චිත තින්දුවක් ලැබෙනුයේ රටේ පවත්නා තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය බලධාරීගේ උපදෙස් අනුවය. කෙසේ වෙතත් මේ වන විට විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්විමට නියමිතව තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා ඇත්තේය. මේ පිළිබඳ විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවැසුවේ මෙවන් අදහසකි.

“ අපට සැම කටයුත්තක්ම තීරණය කරන්න සිදුවී ඇත්තේ සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මතයි. දැනට උසස් පෙළ විභාගය පැවැත්විමට නියමිත දිනවල කිසිදු වෙනසක් සිදු කර නැහැ. ඒත් මේ සියල්ලම තිරණය වන්නේ රටේ ඉදිරි තත්ත්වය අනුවයි. ඒ නිසා විභාග දින නියමයන් පිළිබඳ අපි යම් තීරණයක් ගන්නවා නම් ඒ සඳහා තව සති දෙකක් අපි බලා සිටිය යුතුයි. දැනට උසස් පෙළ විභාගයේ දිනයන්හි කිසිදු වෙනසක් සිදු කොට නැහැ.

මෙවර විභාගයට පෙනි සිටින දරුවන්ට අවස්ථා දෙකක දී විවිධ පසුබෑමකට ලක් වුණා. එකක් පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය. දෙවැන්න මෙම වසංගත තත්ත්වය. සමහර පාසල්වල විෂය ආවරණය වි නැහැ. මේ සියල්ල දෙසත් අපි අවධාරණය කළ යුතුයි. මේ නිසා අපි දරුවන්ට කිසිදු ආකාරයේ අසාධාරණයක් වන්නට ඉඩ තියන්නේ නැහැ. මෙවර අපි ශිෂ්‍යත්ව විභාගය හා උසස් පෙළ විභාගය ඇයැදුම්පත් කැදෙව්වේ ONLINE ක්‍රමයට. මේ නිසා වෙනදට සකසනවට වඩා කෙටි කාලයකින් අපි දත්ත පද්ධතිය සකසා අවසන් කළා. මේ නිසා අපිට තව ඇත්ත් ඉල්ලම් පත්‍රයට දත්ත ඇතුළත් කර එය තහවුරු කිරීමේ කටයුත්ත පමණයි. කෙසේ වෙතත් මම දරුවන්ට කියන්නේ විභාගය කල් ගියත් නැතත් තමන්ගේ පාඩම් කටයුතු කරගෙන යන්න කියා. මේ කාලය හොඳින් නිවසට වී පාඩම් කරන්න පුළුවන්. ඉදිරියේදි අතිරේක කාලයක් ලැබුණොත් අඩුපාඩු සම්පුර්ණ කර ගත හැකියි. ... “ ඒ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතාය. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ ඊ තක්සලාව හරහා විභාගයට සූදාම් වීමේ අවකාශය සිසුන්ට ලබා දි ඇති බවයි.

“ මේ මස 20 වැනිදා සැලසුම් කළ පරිදි පාසල් විවෘත කළ හැකිනම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙය ගෝලිය වසංගතයක්. සමහර රටවල යම් යම් දේ ජූලි දක්වා කල් දැමිමට සැලසුම් කර තියෙනවා. මේ නිසා පාසල් පටන් ගැනීම සම්බන්ධයෙන් අභ්‍යන්තර වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි. අද කලාප කාර්යාලවල වැඩ කටයුතු සිදු වන්නේ නැහැ. පසුගිය මාසයේ ගුරුවරුන්ට ගුරු වැටුප් ලැබුණා.

ඒත් ස්ථාන මාරු වු සමහර ගුරුවරුන්ට නියමිත වැටුප් ලැබී නැහැ. නිවසේ සිට වැඩ කිරීමේ හැකියාව තියෙන නිසා ඒ අයගේ කලාප කාර්යාලවල හිරවූ කටයුතු සිදු වුණොත් ඒ පිරිසටත් වැටුපක් ගත හැකි වනවා. ඒ වගේම යම් යම් රූපවාහිනි වැඩ සටහන් ඔත්සේ සිසුන්ගේ පාඩම් කටයුතු අඛණ්ඩව දිගටම ගෙන යාම සතුටුදායකයි. ඒ වගේම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් මට්ටමින් කළ හැක දේ කළ යුතුයි. වට්ස් ඇප් මාර්ගයෙන් හෝ පාඩම්කටයුතු පවත්වා ගෙන යායුතුයි. මේ කාලය තුළ දරුවන්ට එක් හොඳ දෙයක් සිදුවුණා. ඒ තමයි සිසුන්ව විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් ඈත් කිරිම. දරුවන්ගේ මනස දැන් සරල වෙලා. මවුපියන් වුවත් දරුවාට අනවශ්‍ය පීඩාවන්ට පත් නොකළ යුතුයි. මේ කාලය තුළ දරුවන්ට කියවිම හුරු කළ යුතුයි.

දරුවන්ට රස වින්දනයට හුරු කළ යුතුයි.....“ එසේ පැවැසූයේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාය. ඔහු පවසන පරිදි නොසිතු ලෙස රට පත්වු මේ ව්‍යසනය හේතුවෙන් යම් යම් ගුරුවරුන්ට ගැටලු පැන නැගි ඇති බවය. දැන් කලාප පළාත් අධ්‍යාපන කාර්යාලවල වැඩ නැවැතී ඇත. ඇඳිරී නිතිය හේතුවෙන් කිසිවකුටත් කිසිදු රාජකාරියකට යොමු විය නොහැකිය. නමුත් කලාප කාර්යාලවල සිරවූ මේ කටයුතු නිවසේ සිට ඉටු කර දි හෝ වැටුප් අහිමි වූ අයට සහනයක් සලසා දෙන ලෙසත්ය. මන්ද වැටුප හෝ නොමැතිව ගෙවන ජිවන අරගලය අති භයානක හෙයිනි. කෙසේ වෙතත් අනිකුත් සියලු ගුරු වැටුප් නිසි පරිදි ගෙවිමට රජය කාරුණික වි ඇත්තේය.

Comments