කෝටි 12,500ක මත්කුඩු ඇල්ලූ නාවික මෙහෙයුම | සිළුමිණ

කෝටි 12,500ක මත්කුඩු ඇල්ලූ නාවික මෙහෙයුම

අත් අඩංගුව ගත් මත් කුඩු තොගය නාවික හමුදාපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට පෙන්වමින්

සති කිහිපයක සිට සමස්ත ආරක්ෂක අංශ වැඩි අවධානයක් යොමු කර ඇත්තේ කොරෝනා වසංගතය මැඬ පැවැත්වීම පිණිසය. එමනිසා ඇතැම් ජාවාරම්කරුවන්ට එය පහසුවක් යැයි සිතෙන්නට පුළුවන. විශේෂයෙන්ම මුහුදු මඟින් සිදු කෙරෙන ජාවාරම් ජයටම කරගෙන යන්නට ඇතැම් පුද්ගලයන් සිතන්නට ඇත. ඒ නාවික හමුදාවද මේ වන විට වැඩි අවධානයක් කැපකිරීමක් කොරෝනා මැඬලීමට කෙරෙහි යොදවා ඇති බැවිනි.

එසේ වුවත් මීට සති කිහිපයකට පමණ පෙර නාවික හමුදා බුද්ධි අංශ වෙත විදෙස් ඔත්තුකරුවන්ගෙන් දැන ගන්නට ලැබුණේ ශ්‍රී ලංකාවට දුරින් පිහිටි ගැඹුරු මුහුදේදී මත් ද්‍රව්‍ය ප්‍රවාහනයට යම් පිරිසක් උත්සාහ කරමින් සිටින බවයි.

එම තොරතුර ලැබුණු දින සිටම නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදේශකත්වයෙන් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී. ඒ අනුව උපාය මාර්ගික ක්‍රමවේද අනුගමනය කරමින් ගැඹුරු මුහුදේ ආවේක්ෂණ කටයුතු සිදු කරන්නට නාවික හමුදාව විසින් කටයුතු කරන ලද්දේ ඉතා සැලසුම් සහගත ලෙසින් හා සූක්ෂ්ම ලෙසින්.

ඒ සඳහා ගැඹුරු මුහුද ආවේක්ෂණ කටයුතු සිදු කළ හැකි නාවික හමුදාවේ “සයුර“ නෞකාව යොදවන ලදී. ඒ පසුගිය මාර්තු මස 20 වැනිදා සිටිය.

ඒ අනුව ශ්‍රී ලංකා වෙරළ තීරයේ සිට අතිවිශාල දුරකින් (කිලෝමීටර් 1000ක් පමණ) වන්නට මේ සයුර නෞකාව ආවේක්ෂණ කටයුතු සිදු කරන ලදී. දින ගණනාවක් තිස්සේ නෞකාව විසින් සිදු කරන ලද මෙහෙයුම් අතරදී නාවික හමුදාව හා සම්බන්ධ වන විදේශ ඔත්තු සේවා මඟින් චන්ද්‍රිකා සටහනක් මඟින් ගැඹුරු මුහුදේ ගමන් ගන්නා යාත්‍රා පිළිබඳව විශේෂ තොරතුරු රැසක් ලබා දී ඇත. ඒ අනුව නාවික හමුදාව විසින් තම ආවේක්ෂණ පරීක්ෂා කිරිම් වඩාත් තීව්‍ර කර තිබේ.

ඒ අනුව පසුගිය 28 වැනිදා සෙනසුරාදා අලුයම ගැඹුරු මුහුදේ සිටි සයුර නෞකා නිලධාරීන්ට රේඩාර් තිරයේ කුඩා තිතක් තරම් වූ යාත්‍රාවක් ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන බව දැක ගන්නට ලැබුණු.

වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් එම යාත්‍රාව හඹා ගියේය. පැය කිහිපයකට පසු යාත්‍රාවට ළඟා වන්නට හැකි වූ අතර එම යාත්‍රාව රාජ්‍යක ධජයක් රහිතව (Flag state) යාත්‍රා කිරීම නිසා (ගැඹුරු මුහුදේ ගමන් ගන්නා සියලුම යාත්‍රා තමන් අයත් රටේ ධජය ඉහළින් පැහැදිලිව ලෙළදෙන සේ ප්‍රදර්ශනය කළ යුතුය) වහාම තොරතුරු සපයන ලෙසට යාත්‍රාවට නාවික සංඥා ලබා දුන්නද යාත්‍රාෙවන් පිළිතුරු ලැබුණේ නැත. යළි යළිත් සිදු කරන ලද සංඥාවන්ට පිළිතුරු නොලැබුණු අතර යාත්‍රාවේ ගමන් මඟ වෙනස් කිරීමට යාත්‍රා වේ සිටි පිරිස විසින් කටයුතු කරන ලදී.

ඒ වන විට සයුර නෞකාවද සැක කටයුතු යාත්‍රාවද තිබුණේ දකුණු මුහුදේ සිට නාවික සැතපුම් 463ක (කිලෝමීටර් 835ක් පමණ) දුරකිනි. වේලාව උදෑසන 9.30 පවමණ විය.

යාත්‍රාවේ ගමන් මඟ වෙනස් කරන ලද්දේ අනිවාර්යෙන්ම එය සැක කටයුතු යාත්‍රාවක් නිසා බව දැනගත් වහාම සයුර නාවික යාත්‍රාවේ ෙඅණ දෙන කපිතාන්වරයා සහ තවත් නිලධාරීන් විසින් සයුර යාත්‍රාෙව් තිබූ ආවේක්ෂණ කුඩා බෝට්ටු යොදාගෙන ආයුධ සහිතව එම යාත්‍රාවට ගොස් යාත්‍රාව පරීක්ෂා කරන්නට විය. එහෙත් යාත්‍රාවට ගොඩවීමට පෙර වත්මන් කොරෝනා තත්ත්වය මත විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගමන්ය කිරීමට ඔවුන්ට සිදු විය.

පසුව මේ යාත්‍රාෙව් සිටි අයගෙන් සිදු කළ පරීක්ෂාකිරීම්වලදී හෙළි වූයේ ඔවුන් පාකිස්ථාන ජාතිකයින් බවයි. තමන් ධීවර කටයුතු අධීක්ෂණය කරන්නට යන අය බව ඔවුහු පැවසූහ.

එහෙත් ඔවුන්ට ගැඹුරු මුහුදේ යාත්‍රා කළ හැකි ආකාරයේ නිසි අවසරපත් හෝ ලිපි ලේඛන හෙමා කිිදවක් නොවීය. යාත්‍රාව අයත් රට කුමක්ද යන්න හෝ සඳහනක් නැත. යාත්‍රාවේ සිටි 9 දෙනාගෙන් ප්‍රශ්න කිරීම්වලදී පිළිතුරු පරස්පර වූ ුවස්ථාද විය. එම නිසා සම්පූර්ණ යාත්‍රාවම පූර්ණ පරීක්ෂණයකට ලක් කරන්නට නාවික හමුදා නිලධාරීහු තීරණය කළහ.

නාවික හමුදා නිලධාරීහු සෙබළුන් ලබා සිදු කරනල ලද පරීක්ෂා කිරීමේදී යාත්‍රාවේ සඟවාගෙන යමින් තිබූ මත්කුඩු අතිවිශාල තොගයක් සොයා ගන්නට හැකි විය. සිදු කළ සාමාන්‍ය පරීක්ෂා කිරීම්වලදී එහි කිලෝ 1200කට අධික මත් කුඩු තිබෙන බවත් එහි වටිනාකම රුපියල් කෝටි 12500 ඉක්මවනු ලබන බවද නිරීක්ෂණය කෙරිණි. එම අවස්ථාවේ්ම නෞකාවේ සිට අදාළ සැක කටයුතු යාත්‍රාව පිළිබඳව ශ්‍රී ලංකාවට දැනුම් දුන් අතර අන්තර්ජාතික මුහුදේදී අත්අඩංගුවට ගත් මේ යාත්‍රාව දික්ඕවිට වරාය කරා ගෙන ඒමට කටයුතු කෙරිණි.

ඒ අනුව පසුගිය 1 වැනිදා දහවල් කාලයේදී යාත්‍රාවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මත්කුඩු තොගයද දික්ඕවිට වරායට ගෙන එන ලදි. එහිදී මාධ්‍ය වේදීන්ට අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය සම්බන්ධ සියලු විස්තර ලබා දුන් අතර අත්අඩංගුවට ගත් මත් කුඩු තොගයද මාධ්‍යයට නිරාවරණය කරන ලදී. එහි තිබී අයිස් නම් මත්ද්‍රව්‍ය (Methamphetamine) කිලෝග්‍රෑම් 605 ක ප්‍රමාණයක් ද, කෙටමින් නම් මත්ද්‍රව්‍ය (ketamine) කිලෝග්‍රෑම් 579 ක් ද සොයාගන්නා ලදී. තවද එහි බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100g ක් පමණ වන ප්‍රමාණයක් ද තිබුණි. මෙහිදී අත්අඩංගුවට ගත් කෙකටින් මත් කුඩු මීට පෙර ශ්‍රී ලංකාව තුළ සොයාගෙන නොතිබීම විශේෂත්වයකි. ඒවා මෙරටට ගෙන එන්නට උත්සාහ ගත් ප්‍රථම වතාව මෙය බවද නාවික හමුදාපතිවරයා පවසයි.

මෙහිදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පැවසුවේ අත් අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 12500කට අධික බවයි.

“නාවික හමුදාව විසින් දින 8ක පමණ කාලයක් ගැඹුරු මුහුදේ සිදු කළ නිරීක්ෂණයන්ගේ ප්‍රතිඵල මතයි මේ යාත්‍රාව අත්අඩංගුවට ගත්තේ. අපට දැනට වාර්තා වන ආකාරයට මේ යාත්‍රාව පැමිණ ඇත්තේ ඉරානයේ සිටයි. පාකිස්ථානයේ සිට පැමිණි වෙනත් යාත්‍රාවකින් මේ යාත්‍රාවට මත්කුඩු ගැඹුරු මුහුදේදී ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම මේ මත්කුඩු තොගයෙන් කොටසක් ශ්‍රී ලංකාවට එවීමටත් ඉතිරි කොටස ඉන්දුනීසියාව හා තවත් ප්‍රදේශවලට ගෙන යාමට කටයුතු කර තිබුණු බවත් අපට වාර්තා වෙලා තියෙනවා. අත් අඩංගුවට ගත් 9 දෙනාම පාකිස්ථාන ජාතිකයින්. අපි ඒ අයගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් දිගටම කරගෙන යනවා. මම රටේ සමස්ත ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු විටෙක මේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ව්‍යාජ රැවටීම්වලට අසු නොවන ලෙසයි.

සුළු ලාභයක් තබා තම ධීවර යාත්‍රා ලබා දීම හෝ එම ජාවාරම්කරුවන් විසින් ලබා දෙන කිසිදු දෙයක් දැන හෝ නොදැන රැගෙන නොඑන ලෙසයි ඔවුන්ට පවසන්න. අවසානයේ බන්ධනාගාරගත වන්නට වන්නේ අහිංසක ධීවරයන්ට බව මතක තබා ගත යුතුයි. නාවික හමුදාව කුමන මෙහෙයුම් තිබුණත් මුහුදේ රාජකාරි කටයුතු වෙනදා ලෙසින්ම සිදු කරන බව අමතක කරන්න එපා“ නාවික හමුදාපතිවරයා කීය.

මේ මත්කුඩු තොගය මෙතෙක් සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වේ.

අත් අඩංගුවට ගත් මේ මත්කුඩු තොගය පරීක්ෂා කර බැලීම සඳහා ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නද පසුගිය බදාදා දහවල් දික්ඕවිට වරායට පැමිණියේය. ඔහු විශේෂ අවධානයක් යොමු කරන ලද්දේ ප්‍රථම වරට අත්අඩංගුවට ගන්නා ලද කෙටමින් මත්ද්‍රව්‍ය කෙරෙහිය.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් යාත්‍රාව, පකිස්ථානු ජාතික සැකකරුවන් 09 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සහ ඉදිරි නීතිමය කටයුතු පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය මගින් සිදු කරනු ඇත.

මෙම වර්ෂයේ ගතවූ මාස 03 තුළ අන්තර්ජාතික මුහුදේදී අත් අඩංගුවට ගත් 03 වන විදේශීය යාත්‍රාව මෙය වන අතර, මීට පෙර පෙබරවාරි මස 22 සහ 25 දිනයන්හීදී මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශීය යාත්‍රා දෙකක් හා එයින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ශ්‍රී ලාංකීය ධිවර යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි.

එහිදී විදේශිකයින් 16 හා ශ්‍රී ලාංකිකයින් 05ක් මුහුදේදී ප්‍රවාහනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 06ක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලදී. තවද 2019 වර්ෂයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3653ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 762 ක්, අයිස් (Methamphetamine) කිලෝග්‍රෑම් 03 ක් අත්අඩංගුවට ගත් අතර, මෙම වර්ෂයේදී මේ දක්වා මාස 03 ක කාලය තුළදී පමණක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 2339ක්, අයිස් කිගෝග්‍රෑම් 739ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 438ක් සහ කෙටමින් (ketamine) කිලෝග්‍රෑම් 579ක් අත් අඩංගුවට ගැනීමට සමත් විය.

මෙලෙස අන්තර්ජාතික මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබේ.

මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ මෙන්ම දේශීය කොටස්කරුවන් පසුපස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා ඒකාබද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත. ඉදිරි දිනවලදී මේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ දේශීය පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙනු ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඉදිරියේදී එම කටයුතු සිදු කෙරෙනු ඇත.

 

ඡායාරූප - සුලෝචන ගමගේ සහ නාවික හමුදා මාධ්‍ය අංශය

 

 

Comments