කොරෝනා නිසා වෙනස් විය හැකි දෙහිවල සතුන්වත්තේ ඉරණම | Page 2 | සිළුමිණ

කොරෝනා නිසා වෙනස් විය හැකි දෙහිවල සතුන්වත්තේ ඉරණම

අක්කර 23ක් පුරා පැතිරුණු දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය අද නිසොල්මනේ තිබෙන්නේ ලංකාවේ පළමු කොරෝන් රෝගියා වාර්තා වීමත් සමගම එය වසා දැමූ බැවිනි. දැන් හාත්පස පැතිරෙන්නේ නිදහසේ ප්‍රීතිය භුක්ති විඳිමින් ගී ගයනා විහඟුන් ගේ නාදය පමණි.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සත්වයෝ දෙදහස් පන්සීයක් ජීවත් වෙති. කූඩුවලට ලැබෙන අහරින් කුසගින්න නිවා ගැනීමත් එහි ඇති දිය බඳුනෙන් පිපාසය සංසිඳවා ගැනීමත් උන්ගේ උරුමය වී තිබේ.

එහෙත් අඛණ්ඩව ක්‍රියාත්මක ඇඳිරි නීතිය සමග කූඩුවලට ගාල් වී සිටින සතුන්ට ආහාර සැපයෙන්නේ කෙසේ ද?. සතුන්ගේ කූඩු පිරිසිදු කර සතුන් නැහැවීමත් බේත්හේත් දී රැක ගැනීමත් සිදුවන්නේ මොන ආකාරයට ද?. මේ කුහුල දවන සිදුවීම් පෙළ ගැසෙන ආකාරය විමසනු වටී.

සත්ත්වෝද්‍යානයේ සතුන්ට ආහාර පිණිස ධාන්‍ය වර්ග, කොළ අතු, පළතුරු, එළවළු, කුඩා මසුන්, කුකුළු මස්, හරක් මස්, කිරි, තැඹිලි වතුර, බිත්තර, අවශ්‍ය වේ. අලි, පක්ෂීන්, ජිරාෆ්, සීබ්‍රා, වඳුරන් වැනි ඇතැම් සත්ව වර්ගයන්ට දිනපතා ආහාර වේල් 2 ක් සැපයිය යුතුය. කොටි, ව්‍යාඝ්‍රයන්, සිංහයන්, යන මාංශ භක්ෂක සතුන්ට දිනකට ලැබෙන්නේ එක් ආහාර වේලකි. ඊට අමතරව වෘද්ධ සතුන්ට, රෝගී සතුන්ට, ගැබිණි සතුන්ට, වෛද්‍ය උපදෙස් අනුව විශේෂ ආහාර වේල් සැපයිය යුතුය. ජාරාෆ්, සීබ්‍රා, වලස් වැනි සතුන්ට එළවළු, පලාවර්ග, ඇතුළු ශාක පත්‍ර කෑමට සැපයිය යුතුය. කිතුල් කොළ සහ බොඩ, කොමඩු, උක්ගස්, අන්නාසි වැනි ආහාර හිමි වන්නේ අලි ඇතුන්ටය. සිංහයන්, කොටි ව්‍යාඝ්‍ර වැනි සතුන්ට හරක් මස් ලබා දෙන අතර සිංහ, කොටි, ව්‍යාඝ්‍ර පැටවුන්ට ආහාර වශයෙන් දෙනු ලබන්නේ ලබන්නේ කුකුළු මස්ය. දිය බල්ලන්, පැස්තුඩුවන්, රාජාලියන්, යන සත්ව විශේෂයන්ගේ ආහාර වන්නේ කුඩා වර්ගයේ මසුන්ය. මේ ආකාරයට දෙහිවල සත්වෝද්‍යානයේ සිටින විවිධ මාදිලියේ සතුන්ට විවිධ ආහාර රටාවන් තිබේ. මෙම තත්වයින්ට අවශ්‍ය ආහාර සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබේ.

2020 වර්ෂයේ ආහාර සැපයුම්කරුවන් වර්ෂ 2019 දී ලියාපදිංචි කරගනු ලැබේ. ඒ අනුව දෙහිවල සත්ත්වෝද්‍යානයට දිනපතා සැපයිය යුතු ආහාර ප්‍රමාණය ඔවුන්ට ලබා දෙනු ඇත. නිදසුනක් වශයනේ සතුන්වත්තට දෛනිකව කුකුළු මස් කිලෝ 10ක්, හරක් මස් කිලෝ සීයක්, කුඩා මසුන් කිලෝ 30 - 40 ක්, අන්නාසි කිලෝ 10ක්, ඇඹුල් කෙසෙල් කිලෝ 60ක්, ආදී වශයෙන් සැපයිය යුතුය. ටෙන්ඩර් හිමි වූ ආහාර සැපයුම්කරුවන්ට අන්නාසි, කෙසෙල්, කොස්කොළ, යනාදී අහාර සපයන උප කොන්ත්‍රාත්කරුවෝ සිටිති. ඔවුන් හරහා ආහාර එකතු කර ගන්නා සැපයුම්කරුවෝ දිනපතා නියමිත ආහාර ප්‍රමාණය දෙහිවල සත්ත්වෝද්‍යානයට භාර දෙති.

ඇඳිරි නීතිය බලවත්වන කාලය තුළ වුවද මෙම ආහාර සැපයුම්කරුවන් සිය සේවය අඛණ්ඩව සැපයිය යුතුය. ඒ සඳහා ඔවුන්ට අත්‍යවශ්‍ය සේවා යටතේ බලපත්‍ර හිමි වේ. එහෙත් ඔවුන් මුහුණ දී සිටින ගැටලුව වන්නේ ආහාර ප්‍රවාහනය කිරීම නොව, ආහාර එකතු කර ගැනීමය.

“සත්තුන්වත්තට කෑම එකතු කරන එක ගැන අහන්නෙ... අපි කනව ද බොනව ද කියලා හොයල බලන්නෙ නැද්ද, මේ ගැන විමසීමේ දී සත්ත්වෝද්‍යානයට කෙසෙල් අන්නාසි සපයන කොන්ත්‍රාත්කරු අපෙන් ඇසුවේය. කතාව එතැනින් නවත්වන්නට සිදු විය. සත්ත්වෝද්‍යානයක සතුන්ට කොන්ත්‍රාත් කරුවෙක් ලෙස ආහාර සපයනු ලබන ඔහු එසේ පැවසුව ද මහමග හුදකලාව වෙසෙන සුනඛයන්ට ආහාර සපයන මිනිස්සු ද මේ රටේ වෙති.

“දැනට නම් කොහොම හරි කරගෙන යනවා. අමාරුවෙන් වුණත් කෑම ටික ලැබෙනවා. ඒත් තවදුරටත් මේ විදිහට ගියොත් කෑම හොයා ගැනීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවදානමක් තියනවා. “ යනුවෙන් දෙහිවල සතුන්වත්තේ සත්ත්ව භාරකරුවෙක් සඳහන් කළේය. සත්වෝද්‍යානයට අවශ්‍ය තණකොළ, තැඹිලි වැනි ආහාර සම්පාදනය කර ගැනීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් ගෝනපොල ගොවිපලක් ආරම්භ කර ඇති නමුත් තවමත් එය සත්ත්වෝද්‍යානයට අවශ්‍ය ආහාර ප්‍රමාණවත් සේ ලබා ගැනීමට තරම් වැඩි දියුණු වී නැත.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සත්ත්ව සුබසාධනය වෙනුවෙන් සත්ත්ව භාරකරුවන්, සහකාර සත්ත්ව පාලකවරුන්, සත්ත්ව පාලකවරුන්, ජ්‍යෙෂ්ඨ පාලකවරුන් හා පශු වෛද්‍යවරුන්ගේ සේවාව අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ. ඉහත නිලතල දරන සේවක පිරිස අතරින් සීමිත පිරිසකට සත්ත්වෝද්‍යාන පරිශ්‍රය තුළ නිල නිවාස ලබා දී ඇත. එබැවින් සතුන්ට ආහාර පාන ලබාදීම, කූඩු ශුද්ධ පවිත්‍ර කිරීම, රෝගී වූ අවස්ථා වලදී ප්‍රතිකර්ම කිරීම වැනි මූලික කටයුතු නිල නිවාසවල සිටින සේවකයන් අතින් සිදුවේ. එහෙත් සත්ත්වෝද්‍යානයේ සියලු සතුන්ගේ කටයුතු සිදුකිරීමට ඔවුන් ප්‍රමාණවත් නැත. දෙහිවලට ආසන්නයේ පදිංචිව සිටන සේවකයන්ට සේවයට පැමිණීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා ඇත්තේ එබැවිනි. සත්ත්වෝද්‍යානයට පැමිණෙන ඒ සෑම සේවකයෙකුටම මුඛ ආවරණ හා අත්වැසුම් පැලඳීම අනිවාර්ය වී තිබෙන්නේ මේ සතුන්ට ද කොවයිඩ් 19 වෛරසය ආසාදනය වීම වළක්වනු සඳහාය. මේ වනවිට බෙල්ජියමේ නිවසක ඇති දැඩි කරන සුරතල් පූසෙක් වෛරසයෙන් ආසාදිත වී සිටින බව වාර්තා විය.

දෙහිවල සත්ත්වෝද්‍යානය මෙන්ම ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්ත්වෝද්‍යානය සහ හම්බන්තොට රිදීගම සෆාරි උද්‍යානය පිළිබඳව තොරතුරු දැනගැනීමට කොතෙකුත් උත්සාහ දැරුව ද බලධාරීහු නිහඬව සිටියහ. එහෙත් අභයභූමිය සහ අලි පැටවුන් රැක බලාගන්නා මධ්‍යස්ථානය පිළිබඳව විමසීමේ දී වනජීවි දෙපාර්තමේන්තුවේ වනජීවි අධ්‍යක්ෂ සෞඛ්‍ය, පශු වෛද්‍ය තාරක ප්‍රසාද් පිළිතුරු දීමට තරම් කාරුණික විය.

“අභයභූමිවල ඉන්න සතුන්ගේ ආහාර ස්වභාවධර්මයෙන්ම ලැබෙන නිසා ප්‍රශ්නයක් නෑ... ඒත් ගිරිතලේ, උඩවලව, සහ බෙල්ලන්විල තිබෙන සුරැකුම් මධ්‍යස්ථානවලට නම් ටෙන්ඩර් කැඳවලා සැපයුම්කරුවන් තෝරා ගන්නවා. තවම සතුන්ගෙ ආහාර ගැන ගැටලුවක් මතුවුනේ නෑ. හැබැයි සැපයුම්කරුවන්ට ආහාර නොකඩවා සපයන්න පුලුවන් වේවිද කියලා ප්‍රශ්නයක්, අවදානමක් තිබෙනවා. එහෙම උනොත් සතුන් ආපහු කැලෑවට යවන්න වෙනවා.˜ යනුවෙන් පැවසූ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් තවත් සුවිශේෂී කාරණාවක් සඳහන් කළේය. ඒ දිවයින පුරා බලපවත්වන ඇඳිරි නීති තත්වය යටතේ වනයට රිංගා සතුන් දඩයම් කරන මිනිසුන් වැඩි වී ඇති බවය. එහෙත් එය පාලනය කර ගැනීමට නොහැකි තරම් අසීරු ගැටලුවක් සේ උද්ගත වී නැති බව ද හේ පැහැදිලි කළේය. උඩවලව ඇත් අතුරු සෙවණ වැනි මධ්‍යස්ථාවල රැක බලාගන්නා සතුන් වනයට මුදා හැරිය හැකි වුවත් සත්ත්වෝද්‍යානයක සතුන් එසේ නිදහස් කළ නොහැකිය.

කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානමක් අහාර හිඟයකට මුහුණ දීමේ තර්ජනයත් ඉදිරියේ මෙම අසරණ සතුන්ගේ ඉරණම කෙසේ විසඳේදැයි අප දන්නේ නැත. කෙසේ නමුදු දෙවැනි ලෝක යුද සමයේ ජපානයේ සත්වෝද්‍යානයක සතුන්ගේ ඉරණම විසඳෙන ආකාරය ගැන කියා පාන A TOHO/BIG WEST PRODUCTION නිශ්පාදනයක් වන “පුංචි ඇත් පැටවා„ චිත්‍රපටයේ ඛේදවාචකය නම් කිසිම සතෙකුට උරුම විය යුතු නැත.

 

Comments