කොරෝනාවෙන් මතු වූ මනුස්සකම | සිළුමිණ

කොරෝනාවෙන් මතු වූ මනුස්සකම

මීට වසර 8කට පමණ පෙර එනම් 2012 වසරේදී ලෝක විනාශය සිදුවනු ඇති බවට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අනාවැකි පළ විය. මායාවරුන්ගේ දින දර්ශන මෙහෙයවමින් ඇතැම් ජ්‍යාතිෂවේදීන් ද ඒ අනුව ගියහ. ලෝක විනාශය ගැන චිත්‍රපට තැනූහ. කෙසේ වුවත් බුදු දහමට අනව නම් ලෝක විනාශය සිදු වන්නේ මිනිසා ගුණ ධර්මයෙන් පිරිහුණු විටය.

බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් දේශනා කර වදාළේ ලෝකය බිහි වූ හැටි මෙන්ම ලෝකයේ දුර්ගුණ වැඩි වන විට ලෝකය විනාශය කරා යන ආකාරයයි.

ගුණ ධර්මයෙන් පිරිහුණු මිනිසා අදත්තාදානය, ප්‍රාණඝාතය, කාමයෙහි වරදවා හැසිරීම් සිදු කරන විට අවුරුදු 80000ක් වන ඔහුගේ පරමායුෂ අවුරුදු 40000ක් දක්වාත් පසුව අවුරුදු 20000ක් දක්වාත් පහළ යන අයුරුත් අවසානයේ පරමායුෂ අවුරුදු 10 දක්වා පහළ යන ආකාරයද එහිදී පෙන්නුම් කෙරේ. ලෝකයේ ගුණ ධර්ම පහළ යන විට භයානක රෝග ඇතිවන ආකාරයත් ලෝක විනාශය කරා යන ආකාරය ද සූත්‍ර දේශනා මඟින්ම පෙන්නුම් කර ඇත.

මිනිසා නැවත කරුණාව, දයාව මෛත්‍රිය වැනි ගුණ ධර්ම පෝෂණය කරන විට ක්‍රමයෙන් ආයුෂ වැඩි වන ආකාරය බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත. සිගාලෝවාද සූත්‍රයේ පවා බුදුරජාණන් වහන්සේ විසින් මේ කරුණු දේශනා කර වදාළ සේක.

කෙසේ හෝ අද වන විට අපට පසක් වී ඇත්තේ ලෝකයේ බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කළ පරිදි අපගේ දියුණුව හෝ විනාශය සලසා ගන්නේ අප විසින්ම බවයි. වර්තමානයේ මතුව ඇති කොවිඩ් -19 හෙවත් කොරෝනා වසංගතයද මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වූ බව මේ වන විට අපට පැහැදිලිය. මිනිසා ධාර්මික වූ කල්හි ගැටලු ඇති නොවන බවත් අධාර්මික වූ කල්හි ඒ අධර්මයම මිනිසාට වින කරන අයුරුත් ඒ අනුව අපට පැහැදිලිය.

වානර ධෙනුවක සමඟ කාම සේවනයෙන් ඒඩ්ස් රෝගය ලොව පුරා පැතිරුණු බව මේ වන විට පිළිගත් මතය වී තිබේ. එසේම වංක වෙළෙඳාම හෙවත් කෘත්‍රීම රසකාරක අනිසි ලෙස යෙදීමේ විපාකයද අද ලෝකයම අත් විඳිති වෙනත් කිසිදා නොවූ විරූ ලෙසින් පිළිකා ඇතුළු බෝ නොවන දරුණු මාරාන්තික රෝග හට ගෙන ඇත. අදටත් ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරවල ඉපදෙන දූ දරුවන්ට විවිධාකාර උපත් රෝගා බාධ ඇත. ඒ දෙවන ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බයේ ආදීනවයන්ය.

මේ සියල්ල මිනිසා අධාර්මික වීමේ ප්‍රතිඵලයන්ය. අද වන විට ලෝකය පුරා පැතිර යන කොරෝනා වසංගතයද මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වූවක් බව රහසක් නොවේ. එය ඇති වූයේ කොතැනින්ද යන්න ගැටලුවක් වුවත් මිනිස් ක්‍රියාකාරකම් නිසා බව නම් අමුතුවෙන් පැවසිය යුතු නොවේ. පරමාණු බෝම්බයද මිනිස් ක්‍රියාකාරකම් නිසා නිපදවා ගත්තකි.

මෙවන් ගෝලීය ව්‍යසනයක් මීට පෙර යම් අයුරකින් හෝ ශ්‍රී ලංකාවාසීන්ට මුහුණ දෙන්නට සිදුවූයේ නම් ඒ 1942 වසරේ දෙවන ලෝක යුද්ධය ඇති වූ සමයේදීය. අද එයින් වසර 52කට පමණ පසු ඇතිව තිබෙන මේ වසංගත රෝගය හමුවේ අපගේ ආර්ථිකය විශාල ලෙසින් පහළ යනු ඇත.

කොරෝනා වසංගතයට පෙර ශ්‍රී ලංකාවේ ද බොහෝ ව්‍යාපාර සංස්කෘතිය රැඳුණේ ලාභ පරමාර්ථ මතමය. එහෙත් කොරෝනා ක්‍රමයෙන් ශ්‍රී ලංකාව ද පැමිණෙන්නට වූ විට බොහෝ ව්‍යාපාරික ප්‍රජාවගේද අවධානය ඒ කෙරෙහි යොමු විය. තමන් ව්‍යාපාර කරන්නට හෝ රටක් තිබිය යුතු බවද ඔවුන් සිතන්නට ඇත. ඒ අනුව තමන් එදිනෙදා ජීවත් වීම සඳහා ආදායම සපයා දුන් ව්‍යාපාරික ස්ථානයන් සම්පූර්ණයෙන්ම පවා රජය විසින් ගෙන යන කොරෝනා මර්දන වැඩ සටහනට ලබා දෙන්නට තරම් අපේ දැනුම උත්සන්න විය. නැත්නම් මනුස්සකම මතු විය. එහි ආරම්භය සිදු වූයේ හංවැල්ලෙනි. තම සුවිසල් හෝටල් සංකීර්ණය සියලු කාමර සහිතව නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ලබා දෙන්නට ඔහු කැමැති විය. ඒ රෝගයේ ඇති භයානකකම ගැන ඔහුට වැටහී ගිය හෙයිනි. නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස තම හෝටලය ලබා දෙන්නට ඔහු කටයුතු කෙළේ නිරෝධායනය කරනු ලබන පුද්ගලයින්ට අවශ්‍ය ආහාර පානද ලබා දෙන බව පවසමිනි.

අපේ රටේ පළමු ලෙසින් එසේ විශාල ලෙසින් මිනිසත්කම කොරෝනාවට එරෙහිව මතු විය. එයින් පසුව මීගමුවේත් එමෙන්ම සුපිරි තරු පන්තියේ හෝටලයක් වන වස්කඩුව සිට්රස් ලෙෂර්ස් හෝටලයද ලබා දෙන්නට පාලනාධිකාරිය විසින් කටයුතු කරන ලදී.

මේ පරිත්‍යාගශීලීත්වය මිනිසත්කම එතැනින් නැවතුණේ නැත. තමන්ට හැකි උපරිම අයුරින් මේ සදහා තම දායකත්වය ලබා දෙන්නට කටයුතු කරන ලදී.

වෙසක් පොසොන් පොහෝ දිනවල දන්සල් දීමෙන් අන් අයගේ කුස පුරවා මනා අත්දැකීම් ඇති අපේ ඇත්තන් විසින් මෙවරද ජනතාවගේ කුස ගින්න අවශ්‍යතා තේරුම් ගත්තේය.

තමන් එදිනෙදා ආදායම සපයා ගන්නා කොස් ගස්වල ඵලදාව එකවර කඩාගෙන ගොස් අලෙවි කිරීම පසෙක තබා ජනතාවට නොමිලේ ලබා දුන් කුඩා ව්‍යාපාරියකු ගැන අපගේ නෙත ගැටුණේ කටුගස්තොටදීය. ඔහු මහා ධනවතකු නොවේ. එකම ආදායම කොස් වෙළෙඳාමය. එහෙත් ඒ සුළු ආදායමට වඩා හෝ අනන්‍යන්ගේ කුස ගින්න ඔහුට දැනුණි.

එවැනිම ලෙසින් කටයුතු කළ තවත් කුඩා දරුවක් ගැන සටහනක් අපට මුහුණු පොතේ දන්නට ලැබුණි. ඒ පොළොස් ගෙඩි ටිකක් හෝ ගෙන ගොස් අඩු ආදායම්ලාභීන්ට හෝ අවශ්‍ය අයට ගෙන යාමට ලබා දීමෙනි. කුඩා කල පවා දරුවන් ඒ ලෙසින් බෝසත් ගුණාංග කෙරෙහි යොමු කරවන්නට දෙමාපියන් දරණ වෑයම අප අගය කළ යුතුය.

ඒ ලෙසින් තමන්ට හැකි උපරිම දේ ලබා දෙන්නට දිවයින පුරාම පිරිස් කටයුතු කරනු අපට දක්නට ලැබුණි. ඒ අතර මුහුණු ආවරණ නොමිලේ ලබා දුන් කුඩා දියණියකගේ හා පුතකුගේ දසුනක්ද අපට දැක ගන්නට හැකි විය. ඔවුන්ද බෝසත් දරුවන්ය. අනෙකාගේ දුක තේරෙන අනන්‍යන්ට තමන්ට හැකි ලෙසින් පරිත්‍යාග කිරීමේ වැදගත්කම ඒ දරු දැරියන් වටහා ගෙන ඇත.

මහියංගණයේ ව්‍යාපාරික මහතකු එළවළු ලොරියක් රැගෙන විත් ඒවා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, පොලිසියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දුන්නේද ඒ මිනිසත්කම උඩය.

තමන්ට දෙන්නට වත්තේ ඵලදාවක් නැතත් අඩුම වශයෙන් දර ටිකකින් හෝ පුළුවන් ලෙසින් උපකාර කරන්නට දර පලා ඒවා නොමිලේ ලබා දෙන්නට ශ්‍රමය වැය කළ පියෙක් ගැනද අපට දැක ගත හැකි විය.

බෞද්ධ භික්ෂූන් වහන්සේද තමන්ට හැකි ලෙසින් ආධාර උපකාර කරන්නට විය. ඒ අනුව අස්ගිරි මල්වතු මහ නාහිමිවිරුන් විසින් රුපියල් කෝටි දෙකක පමණ ආධාරයක් කොරෝනා මර්දනය පිණිස ලබා දුන් අතර මහියංගණ රජමහා විහාරාධිකාරී උරුලෑවත්තේ ධම්මරතන හිමියන් විසින් රුපියල් කෝටි 2 1/2ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ද පරිත්‍යාග කරන ලදී. මාවරලේ භද්දිය හිමියන් විසින්ද රුපියල් කෝටි 2ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදී.

මේ සියල්ල කියා පෑවේ අත් හැරීමයි. පරිත්‍යාගයයි. ඒ සමඟම අපට දැන ගන්නට ලැබුණේ ඇවන්ට්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපතිි මේජර් නිශ්ශංක සේනාධිපති විසින් මේ සඳහා මිලියන 300ත් ලබා දෙන්නට කටයුතු කළ බවයි. එමෙන්ම තවත් මිලියන 200ක් වටිනා වෛද්‍ය උපකරණත් ලබා දුන් ඔහු පැවසුවේ අවශ්‍ය වුවහොත් තමන් පදිංචි නිවස විකුණා රුපියල් මිලියන 500ක් ලබා දෙන්නට සූදානම් බවයි.

තමන් පදිංචි නිවස පවා අලෙවි කර මේ කරන්නට යන්නේ කුමක්ද? මිනිසත් බව ඉහළ නැඟ ඒමයි. “සල්ලි තියෙන නිසා ඕනතරම් දෙන්න පුළුවන් ඇති“ යැයි ඇතැමෙක් කියන්නට පුළුවන. එහෙත් ඒ පවසන්නාගෙන් අසන්නට ප්‍රශ්නයක් ඇත. ඔබ රුපියල් ලක්ෂයක් හෝ පරිත්‍යාග කරනවාද? ඔබ පදිංචි නිවස තනා ගන්නේ ඔබට ඇති ආදායමට අනුවය. එය ඇති තැනැත්තා කෝටි ගණන් වැය කරමින් වන්නට පුළුවන. අඩු ආදායම්ලාභියා රුපියල් ලක්ෂයක් දෙකක් වැනි මුදලකට වන්නට පුළුවන. ඔබ ඒ නිවස විකුණා පරිත්‍යාග කරන්නට සූදානම්ද?

විසඳුම ඇත්තේ තම හදවත තුළය. මනුස්සකම ඇත්තේ මිල මුදලේ නොව හදවත ඇතුළේය. ඇතැම් අය තේරුම් ගෙන නොමැත්තේ එයයි.

එය තේරුම් ගත් ප්‍රවීන ගායන ශිල්පී නලීන් පෙරේරා විසින් හලාවත පිහිටි තම නිවස හලාවත රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයකට පරිත්‍යාග කරන ලද්දේද ඒ අත් හැරීම මෙන්ම මිනිසත්කම ඉස්මතු වූ නිසාය.

මේ මිනිසත්බව නිසාම ඈත අතීතයේ සිටම අපේ එකමුතුකම සමඟිය රැදී තිබුණි. ඒ නිසාම පරසතුරු උවදුරු මෙන්ම මැලේරියා කොලරාව මහාමාරිය වැනි වසංගත රෝගයන්ද අපට ඉක්මනින් දුරු කර ගන්නට හැකි විය. අප හෙට වුවද කටයුතු කළ යුත්තේ ඒ මිනිසත්කම හදවතේ තබා ගෙනය.

තම නිලය බලය පසෙකලමින් ජනතා සේවයට කැප වී කටයුතු කළ නිලධාරීන්ද මේ අවස්ථාවේදී අපට දැක ගැන්මට ලැබුණි. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන ආ අවස්ථාවේදී ඒවා ලොරියෙන් බෑමට පිරිස නොසිටි හෙයින් මුට්ට කර ගසනා අයුරින් එම බඩු බෑමට කටයුතු කළේ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත්ය. එය රටටම ලබා දුන් ආදර්ශයකි.

එහෙත් අවාසනාවකට පොලොස් ගෙඩියක් කඩා ගත්තාට මන්නයෙන් කොටන්නට යන තිරිසන් මිනිසුන් මෙන්ම අන්තර්ජාලයෙන් භාණ්ඩ ගෙන්වා ගැනීමේදී රුපියල් 250 භාණ්ඩයට රුපියල් 500 අයකරන ආයතන මෙන්ම සමනලයින් ගැන වර්ණනා කරමින් ජනතාව අපහසුතාවට පත් කරන ස්ථාන හා පුද්ගලයින් කරන්නේ කිරි කලයට ගොම බින්දුවක් දැමීමකි.

කල දුටු කළ වළ ඉහ ගන්නා එවන් අයට සිදුවන්නේ තමන්ටද එවන් තත්ත්වයකට ඉක්මනින්ම මුහුණ දෙන්නට සිදුවීම බව ඔවුන් නොදැනීම ඔවුන්ගේ අවාසනාවකි.

2004 සුනාමි ව්‍යසනය ඇති වූ විට එවකට ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණේ දැන් ලෝකයට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ මෙන් දන්සල් ක්‍රමයක් බවයි. අපේ හෙළ සිරිත් වලට ලෝකයාම ගරු කරන බවක් මිනිසත්කම අගයන බවත් එයින් පැහැදිලිය.

මේ සියල්ල අපට කියා පාන්නේ කොරෝනාවෙන් හටගත් මනුෂ්‍යත්වයි. අනෙකාගේ දුක තේරුම් ගත හැකි ශ්‍රී ලාංකීය ජාතියක් සිටිනා බවයි. කොරෝනාව තුරන් කිරීමටත් එයින් පසුවටත් ඒ මිනිසත්කම අප තුළ ඇත්නම් තවත් අනාදිමත් කාලයක් රටේ ඒ නාමය ලෝකය හමුවටම යනු ඇත.

Comments