කොරෝනාවෙන් පසු ආර්ථික එන්ජිම යළි පණ ගැන්විය හැකිද? | සිළුමිණ

කොරෝනාවෙන් පසු ආර්ථික එන්ජිම යළි පණ ගැන්විය හැකිද?

අද ගෙදර සිට හෙට සංචාරය කරන්න (Travel tomorrow – By staying home today) ශ්‍රි ලංකාවේ විදේශ විනිමය උපයන අංක එකේ කර්මාන්තය වන සංචාරක කර්මාන්තයේ නිල ගෝලීය දේහය වන ලෝක සංචාරක සංවිධානයේ මේ දිනවල ප්‍රවර්ධන පාඨය වන්නේ එයයි.

කොරෝනා මේ වනවිට ලෝකයේම ජීවිත දහස් ගණනක් අහිමි කර තිබෙන අතර ජීවත් ව සිටින කෝටි ගණනකට ජීවත් වීමේ මාර්ග අවහිර කර ඇත. මේ නිසා කොරෝනා සටනින් ජය ලබන ලෝකයක ආර්ථික මුහුණුවර කෙසේ වනු ඇතිද යන්න තවවමත් පුරෝකථනය කළ නොහැකි තරමට ලෝකය අර්බුදවල ගිලී ඇත. මේ වනවිට ලෝකයේ බොහෝ නිෂ්පාදන කර්මාන්ත ශාලා අකර්මණ්‍ය වී ඇති අතර තවත් සමහර කර්මාන්ත තමන් සුපුරුදු නිෂ්පාදන ඒකක මඳකට නතර කොට කොරෝනා සටනට ගැළපෙන උපකරණ, ආධාරක නිෂ්පාදනය කිරීමට පටන් ගෙන ඇත. සාම්ප්‍රදායික සැපයුම් දාම සියල්ල මේ වනවිට ඉතා සරල අල්පේච්ඡ යැපුම් රටාවක් තුළ යම් සරලකරණයකට ලක් ව ඇත.

මේ තත්ත්වය තුළ අපට ඉදිරි ආර්ථික අභියෝග කෙසේ වනු ඇතිද ? මේ ගැන ලෝකයේම විවිධ කතා බහ සිදුවෙයි. බ්‍රිතාන්‍ය යේද ගාඩියන් පුවත් පත පසුගිය 26 වැනිදා සඳහන් කළ ඉතිහාසයේ දැවැන්තම ලෝක ආර්ථික ප්‍රපාතය මෙය බවය. ද වෝල් සට්‍රීට් ජර්නල් වෙබ් අඩවියට ජර්මානු ආර්ථික විද්‍යාඥයකු වන සිමොන් ටිල්ෆර්ඩ් සඳහන් කරන්නේ අප මෙතෙක් නොවූ විරූ ආර්ථික ප්‍රපාතයනට වැටී ඇති බවය. අප මෙතෙක් හඳුනාගත නොහැකි සීමා මායිමකට ඇතුළු වී ඇති බවය. එයින් පිටවීමට අපට නිශ්චය වශයෙන් කළ යුතු කුමක්ද ගැන වැටහීමක් නොමැතිව ක්‍රියා කරන්නට සිදුව ඇති බව ටිල්ෆර්ඩ් පවසයි. ඔහු එසේ පවසන්නේ මේ මොහොතේ මුළු ලෝකයම ආර්ථිකය ගැන නොතකමින් ගෙන ඇති පියවරය.

ලෝකයේ ආර්ථිකයට හෝ රටක ආර්ථිකය අපට ඕනෑ වෙලාවට නැවැත්විය හැකි හෝ පණ ගැන්විය හැකි යතුරක් හෝ බොත්තමක් නැත. මේ මොහොතේ සිදුව අත්තේ ඒ ආර්ථිකය නවත්වනවා වෙනුවට අකර්මණ්‍ය වීමය.

ලෝකයේ බොහෝ නගර ඇඳිරී නීතිය හෝ සමාජ ශාරීරික දුරස්ථභාවය සම්බන්ධයෙන් පනවන ලද නීති රීති නිසා අකර්මණ්‍ය වී ඇත. අත්‍යවශ්‍යම සේවා හැරුණු කොට බොහෝ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය නැවතී ඇත. මේ තුළ ගැනුම් සහ විකිණුම් දැඩි ලෙස සිමා වී ඇත. එසේ වුවද ආර්ථිකයේද සීමාවක් නැතිව දුවන දේවල්ද ඇත. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට රටේ ජනතාව මිලක් ගෙවිය යුතුය.

ඇතැම් රටවල සෞඛ්‍ය සේවය වෙනුවෙන් මුදලක් ගෙවිය යුතුය. ජල විදුලිබිල් ගෙවීමට රජයෙන් යම් සහන කාලයක් ලබා දුන්නද නිවාස කුලී ව්‍යාපාර බදු සහ කුලී වියදම් ඒ අයුරින්ම මාසිකව බොහෝ දෙනාගේ වැය බරට එකතු වෙයි.

ව්‍යාපාරවලට පවතින ලොකුම අභියෝගය වන්නේ තමන්ග් සේවක සේවිකාවන්ගේ වැටුප් ගෙවීමය. එසේම ඔවුන් මෙතෙක් ලබාගෙන ඇති බැංකු ණය ආදිය ගෙවීම ද විසල් අභියෝගයක් වෙයි.

මහා පරිමාණ සමාගම්වලට පවා මෙම තත්ත්වය දීර්ඝ කාලීනව පවත්වා ගැනීම අසීරු වෙයි. මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවා ලෙසින් සැලකෙන බ්‍රැන්ඩික්ස් සමාගම තම විධායක මට්ටමේ සේවක සේවිකාවන්ගේ වැටුප සැලකිය යුතු ලෙස අඩු කිරිමට තිරණය කර තිබේ. ව්‍යාපාරයේ මට්ටම කෙසේ වුවද සාපෙක්ෂව ඔවුන් සතුව පවතින මූල්‍ය ශක්තිය මත ව්‍යාපාරය අක්‍රිය වූ තත්ත්වයක් තුළ දරා ගැනීම තීරණය වේ. මේ වනවිට ලෝකයේම පවතින විවධ සීමා බාධක දිගු වන තරමට ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව සීමා සහිත වෙයි.

ආර්ථිකමය වශයෙන් මේ මොහොතේ විශේෂයෙන් සමාජයීය වශයෙන් උනන්දු වන්නේ කාරණා දෙකකටය. එකක් තමන් ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන මුදලක් සපයා ගැනීම වෙනුවෙන් ජනතාවගේ රැකියා සුරක්ෂිත කිරීමය. අනෙක් අතින් ඔවුන්ට රැකියා සපයන ව්‍යාපාර ආයතන සුරක්ෂිත කිරීමය. මෙම කාරණා දෙක පිළිබඳව මේ වන වන විට ලෝකයේම ආර්ථික විද්වතුන්ගේ අවධානය යොමුව ඇති බව යුරෝපීය ප්‍රතිසංස්කරණ සඳහා වූ මධ්‍යස්ථානය නැමැති විද්වත් එකතුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ක්‍රිස්ටියන් ඔඩෙන්ඩාල් ද වෝල් ස්ට්‍රිට් ජර්නල් අඩවියට ප්‍රකාශ කොට ඇත. එසේ නොවුණහොත් සමස්ත පද්ධතියම ඇද වැටෙන බව ඔහු පවසයි.

“ අද පවතින අපේ ආර්ථික ව්‍යුහය හරිම සංකීර්ණයි. එය සංවිධානය වී ඇති ආකාරය බැලුවාම හදිසියේ හෝ එය බිඳ වැටුණහොත් යළි එය ප්‍රතිනිර්මණය කළ නොහැකියි. එයින් සිදුවන්නේ අවුල් ගොඩක් නිර්මාණය විමයි.මේ නිසා සෑම ආණ්ඩුවක්ම මෙම ව්‍යාපාර පවත්වානෙ යාම වෙනුවෙන් කළ හැකි සෑම උපකාරයක්ම කළ යුතුයි. විශේෂයෙන් සේවකයන්ගේ වැටුප් ගෙවීමට, ව්‍යාපාර ණය හෝ පොලිය ගෙවීමට ව්‍යාපාරයේ පරිමාව අනුව සහන ලබා දිය යුතුයි. මේ සහන දීමට තරම් ඇතැම් ආණ්ඩු ශක්තිමත්.

විශේෂයෙන් G8 කණ්ඩායම නියෝජනය කරන රටවල්වලට එම සහන බොහෝ දුරට පහසුවෙන් ලබා දිය හැකියි. එම රටවල් දැනටමත් ඒ බව ප්‍රකාශ කර තිබෙනවා. ඊට අමතර ව දියුණු වෙමන් පවතින රටවල මූල්‍ය ශක්තිය අනුව මෙය කළ නොහැකි වන්නට පුළුවන්. මෙවැනි රටවල් මුදල් අච්චු ගසා හෝ ලබා දිය යුතුයි. මේ බව මීට කලින්ද ආර්ථික විද්‍යා විද්වතුන් කණ්ඩායමක් කොරෝනා වසංගතය පිළිබඳව ඔවුන් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් අනතුරුව ද නිර්දේශ කොට තිුණි.

කොරෝනා පසුපස එන ආර්ථික අර්බුදයේ බර ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 2ත් 3ත් අතර විය හැකි බව එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳව වූ සමුළුව (අන්ටාක්ඩ් - UNCTAD) සංවිධානය පුරෝකථනය කර ඇත. එම සංවිධානය මෙය හඳුන්වන්නේ ආර්ථිකමය සුනාමියක් ලෙසය.

කෙසේ වුවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකීමේදී අපේ රටේ ආර්ථිකය පුරවාලන ප්‍රධානතම ක්ෂේත්‍ර ගණනාවක් මෙම අර්බුදය හමුවේ දැඩි අනතුරක මුව විවට පැමිණ ඇත. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය මේ අතුරින් වැඩිම අවධානයක් ටයාමු වන ක්ටෂුත්‍රයතක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි.

මේ වනවිට ලෝකයේ ම සංචාරක ව්‍යාපාරය අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. සංචාරක කර්මාන්තය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ නිල සංවිධානය වන ලෝක සංචාරක සංවිධානය මීට සතියකට පෙර පැවැති ලෝක තත්ත්වය හමුවේ පුරෝකථනය කළේ එම කාලයේදී පැවති ලෝක තත්ත්වය ට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේ සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයකින් පහත යනු ඇති බවය. එසේම එම සංවිධානය අවධාරණය කළේ ඉදිරියේදී එන දැඩි අනපේක්ෂිත තත්ත්ව හමුවේ මෙම කර්මාන්තයේ මුහුණුවර ඊට වඩා දැඩි අර්බුදකාරී එකක් වන්නට ඉඩ පවතින බවය. පසුගිය 26 වැනිදා පැවැති ලෝක තත්ත්වය මත සිදු කකරන ලද ඇස්තමේන්තුවලට අනුව සංචාරක කර්මාන්තයේ පසුබෑමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 400ත් 500ත් අතතඑ පවතින බවය.

ලෝකයේ ම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ ආයතනවලින් සියයට 80ක්ම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ය. මෙම ව්‍යාපාරවලට සම්බන්ධ සේවක සේවිකාවන්, ආහාර පාන රෙදිපිළි ඇතුළු සැපයුම් දාම සියල්ලම දැඩි අභියෝගයකට මේ අනුව මුහුණ දෙයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේද සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන විශාල ආයෝජන සිදු කර තිබෙන අතර ඒ සඳහා මෙරට ව්‍යවසායයන් බැංකු ණය පහසුකම් ආදිය ද ලබාගෙන ඇත. එසේම මෙම සංචාරක වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් කෘෂි ව්‍යාපාර, විනෝදාස්වාද ව්‍යාපාර ඇතුළු බද්ධ ව්‍යාපාර ගණනාවක් ආරම්භ වී ඇත.

මෙරට පවතින ඇඟළුම් ව්‍යාපාරය තවමත් මෙරට විදේශ විනිමය උපයන්නන් අතර දෙවැනි තැන හිඳියි. ඔවුන් ගේ වෙළෙඳපොළ මූලික වශයෙන් ඉලක්ක වන්නේ යුරෝපය සහ ඇමෙරිකාවයි. මෙම වෙළෙඳපොළ සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය ගැන විශේෂ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත.

ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ පුරෝකථන අනුව අපේ වෙළෙඳපොළ අඩකින් පමණ කොවිඩ් හමුවේ බිඳ වැටෙනු ඇත. ඇඟළුම් ක්ෂේත්‍රයේ සෘජු රැකියා සහ වක්‍ර රැකියා ලක්ෂ දහයක් පමණ ලබා දෙයි. එම තත්ත්ව මත එම ක්ෂේත්‍රයේ රැකියා අමිහි විම වැළැක්විය නොහැකි අතර එම තත්ත්වය පාලනය කිරීමට රජය මැදිහත් විය යුතු වෙයි.

කෘෂි බෝග අතර අපේ විදේශ විනිමයට පණ දෙන ‍ තේ කෝප්පයටද කොරෝනා වසංගතය ගෙන දී ඇත්තේතේ කෝප්පයේ කුණාටුවක් නොව තේ සුනාමියකි. ලෝකයේ තේ පානයන්ගෙන් සියයට 50කට වගකියන්නේ නිවසින් පිටත සිදු කරන තේ පානයන්ය. විශේෂයෙන් රෙස්ටූරන්ට්, තේ බාර්, හෝටල් වැනි ස්ථානවල දී එය සිදුවෙයි.

මේ වනවිට ලෝකයේම නිවසින් බාහිර ක්‍රියාවලි අඩපණ වී ඇත. මීට සාපේක්ෂව ගෘහස්ත තේ භාවිතයේ යම් ඉහළ යාමක් ඇති විය හැකි වුවද දැනට පවතින ගුවන් ගමන් සීමා ව්‍යාපාර ආයතන වැසීම ආදී තත්ත්ව හමුවේ එම වෙළෙඳපොලේ සැපයුම් දාම ක්‍රියාවලියද අකර්මමන්‍ය වී ඇත. ශ්‍රී ලකාවේ තේ ආර්ථිකයට විශේෂයෙන් උර දෙන්නේ කුඩා තේ වතු හිමියන්ය. එයින් ගමේ ආර්ථිකයටද ඇතිවිය හැකි අභියෝගය සුලු පටු නැත.

රබර් අපනයනය සම්බන්ධයෙන්ද අභියෝගාත්මක විය හැක්කේ මෙරට රබර් නිෂ්පාදනනේ සියයට 70ක් පමණ ටයර් සහ ටියුබ් සඳහා යොදා ගැනීම නිසා. මේ වනවිටත් බොහෝ රටවල වාහන නිෂ්පාදන නතර වී ඇත. ලෝකයේ වෙනත් රබර් ආශ්‍රිත නිෂ්පාදන සඳහාද කෘතිම රබර් බහුල වශයෙන් යොදා ගැනීමේ ඉඩක් ගැන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් ඉඟි කරන්නේ දැනට පවතන අඩු ඛනිජ තෙල් මිල ගණන් හමුවේ කෘතිම රබර් නිෂ්පාදනය ලාබදායී විය හැකි නිසාය. මේ ප්‍රධාන පෙළේ ආර්ථිකමය උණුසුම් ක්ෂේත්‍රවලට අමතරව සමස්ත ආර්ථික ක්‍රියාවලියම දාමයක් ආකාරයෙන් අර්බුදයට ලක්ව ඇත.

බොහෝ අය සිතා සිටිනුයේ සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය කළ බවට නිවේදනය කළ දාට පසුවදා සිට යළිත් සියලු එන්ජින් එපරිද්දෙන්ම පණ ගැන්වෙනු ඇති බවය. එහෙත් මෙය එක් එක් රටක පමණක් ප්‍රශ්නයක් නොවන නිසාත් ලෝකයේ ආර්ථික බලවතුන්ට පවා මෙය අභියෝගයකි.

එසේම චීනය සහ ඉන්දියාව වැනි රටවලටද මෙය තදින්ම දැනී ඇති පසුබිමක නුදුරු අනාගතයේ හැඩරුව මෙසේ යයි අපට තවමත් තීරණය කළ නොහැකිය. එහෙත් බොහෝ ආර්ථික විද්‍යාඥයන් ගේ විශ්වාසය වන්නේ අර්බුද අවම වන ආකාරයට ප්‍රශ්නය විසඳීමට නම් ආණ්ඩුවලින් මුදල්මය මුක්කු රැසක් අවශ්‍ය වන බවය. එය දැවැන්ත කොන්ක්‍රීට් සැටලිමකට යොදන මුක්කු දහස් ගණනක් සේ විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් බෙදාහැරීමකට ලක් කළ යුතුය.

මේ වනවිට ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 50ක් වටිනා සහන පැකේජයක් මෙරට ව්‍යාපාර ආයතන සහ තනි පුද්ගලයන් වෙත ලබා දීමට පසුගියදා පියවර ගත්තේය. ඒ අනුව මෙරට බලපත්‍ර ලාභී වානිජ බැංකු බලපත්‍ර ලාභි විශේෂිත, බලපත්‍රලාභී මූල්‍ය ආයතන, සහ විශේෂිත ලීසිං පහසුකම් සපයන සමාගම් වෙත මෙම මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කෙරෙන අතර දැනට රජය මඟින් ප්‍රකාශයට පත් කොට ඇති සහන ලබා දීම සඳහා මෙම මුදල යෙදෙවෙනු ඇත.

පසුගිය 25 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම සහන අතරට ව්‍යාපාර ආයතන සහ තනි පුද්ගලයන් විසින් ගන්නා ද ණයවලට අදාළ සහන, සියයට 4 ක පොලිය යටතේ ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්්ධන ණය ලබා දීමට යෙදවෙනු ඇත.

අප ඉහත කතා කළ ක්ෂේත්‍රවලට අමතරව සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අදාළව මෙන්ම විදේශ විනිමය උපයන්නන් විසින් ලබා ගත් විදේශ ණය මුදල් ආපසු ගෙවිම සම්බන්ධයෙන්ද මෙම සහන අදාළ වෙයි. මේ වනවිට ගෝලිය තලයේද කත බහට ලක්වන තවත් කරුණක් වන්නේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ඒක එක් රටවලට තම විද්ශ ණය ගෙවා ගැනිමේ අර්බුදයයි. මේ සඳහාද ජාත්‍යන්තර ආර්ථික විද්වතුන් අතර කතා බහක් නිර්මාණය වී ඇත.

මේ සම්බන්ධවෙන්ද තම අවදානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩෙට්රෝස් ආදමන් ගේබ්‍රියේසස් වෙත ප්‍රකාශ කර සිටියේ මෙම වසංගතය හේතුවෙන් ඇද වැටී ඇති රටවල්වලට ණය ආපසු ගෙවිසේ සහන කාලයක් හෝ මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කෙරෙහි අවධානයක් යොමු කරවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවින් ඉල්ලන ලෙසය.

කෙසේ වුවද මෙම අර්බුදය කෙතෙක් දුර යන්නේද නොයන්නේද යන්න පිළිබඳව තීරණය කළ යුත්තේ සෞඛ්‍ය බලදාරීන්ට වඩා අපය. මේ මොහොතේ අපේ වගකීම උපරිමවෙන්ම ඉටු කළ යුතුය.

Comments