එක්වර සිව්දෙනකුට කෘත්‍රිම ස්වසනය දිය හැකි යන්ත්‍රයක් මහනුවර රෝහලෙන්... | සිළුමිණ

එක්වර සිව්දෙනකුට කෘත්‍රිම ස්වසනය දිය හැකි යන්ත්‍රයක් මහනුවර රෝහලෙන්...

ශ්‍රී ලංකාවේ කොවීඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ එම රෝගීන්ට හා වෛරසය ආසාධිත බවට සැක කෙරෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමට කොළඹ, මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක රෝහල් සූදානම් කරනු ලැබීය.මෙරට දැඩි සත්කාර ඒකක වල පවත්නා පහසුකම් සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් වෙනදාට වඩා කතා කරන්නට පටන් ගත්තේ එකවර රෝගීන් විශාල සංඛ්‍යාවක් පැමිණිය හොත් ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඇති අවධානම හේතුවෙනි.පවතින තත්ත්වයන් තුළින් උපරිම ප්‍රයේජන ගන්නා අතර තුර රෝහල් ඇඳන් ඇතුළු නොයෙකුත් උපකරණ මෙරට නිෂ්පාදනය කරන්නට අප ජාතියක් ලෙස උත්සුක වූවේ මෙම පසුබිම තුළය. ඒ වන විටත් රටේ ඇතිව තිබූ මුව ආවරණ හිඟයට යම් ප්‍රමාණයකට පිළියම් යෙදුනේ එම පසුබිම ඔස්සේය.

කොවීඩ්-19 වෛරසය ශරීර ගතවූ විට උණ කැස්ස සමඟ ස්වසන අසීරුතා මතු වෙයි.රෝගය උත්සන්න වූ විට ස්වසන අපහසුතා සමඟ නිව්මෝනියා තත්ත්වයක් අතිවන නිසා එම අවස්ථාවේ බොහොමයක් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුවන්නේ දැඩි සත්කාර ඒකකයක් තුළදීය. මෙරට රජයේ රෝහල්වල දැනට කෘත්‍රිම ස්වසන යන්ත්‍ර (Ventilation Machine) ඇත්තේ පන්සියයක පමණ ප්‍රමාණයකි. නිව්මෝනියා තත්ත්වයට පත්වන රෝගීන් කෘත්‍රිම ස්වසන යන්ත්‍රවලට සම්බන්ධ කර ප්‍රතිකාර ලබා දීමට සිදුවන බැවින් කොවිඩ්-19 වෛසරය ආසාධනය වී බරපතළ තත්ත්වයට පත්වන රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් මෙම යන්ත්‍රවල අඩුව දැඩිව බලපාන බව සෞඛ්‍ය අංශ දැන සිටියේය. ඒ සඳහා වන ඉක්මන් පිළියම් යෙදීම අසීරුව පවතින අවස්ථාවක මහනුවර ජාතික රෝහලේ හෙද නිලධාරියෙකු වන බිහාන් හපුතන්ත්‍රි මහතා දැනට ඇති කෘත්‍රිම ස්වසන යන්ත්‍රය එකවර රෝගීන් සිව් දෙනෙකුට කෘතීම ස්වසනය ලබාදිය හැකි ලෙසින් වැඩි දියුණු කර තිබේ.

මහනුවර ජාතික රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරියෙකු ලෙස සේවය කරනු ලබන බිහාන් විශේෂඥ වෛද්‍යවරුන්ගේද උපදෙස් ලබා ගනිමින් සාමාන්‍ය කෘත්‍රිම ස්වසන යන්ත්‍රයකට නව කොටස් එක් කරමින් මෙම නව යන්ත්‍රය නිර්මාණය කර ඇත.

සාමාන්‍ය කෘත්‍රිම ස්වසන යන්ත්‍රයකින් එක් පුද්ගලයෙකුට පමණයි ස්වසනය ලබා දෙන්න පුළුවන්. යන්ත්‍රයේ සිට එක් නළයක් පිටතට එන අතර එය රෝගියාට සම්බන්ධ කරනවා. මම කළේ ඒ එක් නළය වෙනුවට නළ හතරක් මගින් පුද්ගලයින් සිව් දෙනෙකුට ස්වසනය ලබාදිය හැකි ලෙස යන්ත්‍රය වැඩි දියුණු කිරීමයි. මෙතනදී මතුවූ විශාලතම ගැටලුව වුනේ රෝගීන් සිව් දෙනෙකුට එකවර කෘතීම ස්වසනය ලබා දීමේදී විස බීජ ඇතුළු වීමේ අවධානමක් මතුවීමයි. එයට විසඳුමක් ලෙස විසබීජ හරණය වන ෆිල්ටරයක් සෑම නළයකටම සම්බන්ධ කළා. රෝහලේම තියෙන උපකරණ කොටස් උපයෝගි කරගෙන තමයි මේ යන්ත්‍රය වැඩිදියුණු කළේ...බිහාන් හපුතන්ත්‍රි මහතා පැවසුවේය.

කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිරීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල් වල වෛද්‍ය උපකරණ වල විශාල ඉල්ලුමක් ඇති වුණා. රටවල් අතර ගුවන් ගමන් සීමා වීම නිසා භාණ්ඩ ආනයනය කිරීමේ ගැටලුත් මතුවුණා. රෝහල් වල භාවිත කරන කොටස් තුනකට කැඩිය හැකි ඇඳන් අපි ගෙනාවේ වෙනත් රටවලින්.

මේ ප්‍රශ්නයත් සමඟ දැන් ඒවා අපේ රටේම නිර්මාණය කරනවා. කෘත්‍රීම ස්වසන යන්ත්‍රයකට රෝගියෙකු සම්බන්ධ කරන්නේ ඔහුගේ පෙනහළු ක්‍රියාකාරීත්වය දුර්වල වූ විටයි. පැවැති යන්ත්‍රයකට නව කොටස් එකතු කරමින් සිදුකළ මේ නව නිර්මාණය අප අගය කරනවා.

මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව තව පර්යේෂණ කළ යුතුයි. රෝගි ප්‍රතිකාර සඳහා එක්වරම මේ අකාර යන්ත්‍රයක් යොදා ගන්න බැහැ. ඒ සඳහා අවශ්‍යය අනුමැතීන් තිබෙනවා. ඒවාට යොමු කිරීමෙන් පසු අවශ්‍යය අනුමැතිය ලැබුනොත් අපට පුළුවන් මෙය රෝගී ප්‍රතිකාරවලට යොදා ගන්න. මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

Comments