ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම දිවි සැරයෙන් සමු ගනියි | Page 3 | සිළුමිණ

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම දිවි සැරයෙන් සමු ගනියි

සිළුමිණ පුවත් පතට වසර අනූවක් පිරුණේ පසු ගිය 30 වැනිදාය. ඒ වෙනුවෙන් විශේෂ සමරු කලාපයක් මුද්‍රණය කිරීම සඳහා විවිධ විද්වතුන්ගෙන් ලිපි ලිවීමට ආරාධනය කළේය. මේ කතා බහ යන අතරතුර වර්තමාන කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතාගේ කර්තෘ කාමරයට පිවිසියේ කලක් සිළුමිණ සම කර්තෘ ලෙසින් කටයුතු කළ ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම මහතාය.

ඔහු පැමිණ තිබුණේ හිස් අතින් නොවේ. සිළුමිණ අනු වැනි සමරුව වෙනුවෙන් ලියූ ලිපියක් ද රැගෙනය. ලේක්හවුසියේ රස්සාවට පැමිණි පසු දෙවරක්ම රැකියාව අහිමි වුවද ඔහු පත්තර මහ ගෙදරට බොහෝ සේ ඇලුම් කළේය. සිංහල භාෂාව කෙරෙහි මහත් ඇල්මෙන් කටයුතු කළ රංජිත් ඇල්. අබේවික්‍රමයන් හදිසි හෘදයාබාධක් හේතුවෙන් පසුගිය 2 වැනිදා ජීවිතය හැර ගියේය. මට ඔහු දැන හඳුනා ගන්නට ලැබෙන්නේ අදින් වසර විසි දෙකකට පමණ පෙරය.

ඒ 1998 වන විටත් සිළුමිණ කන්තෝරුව ඇතුළේ ප්‍රධාන කතුවරයාගේ ප්‍රධාන කාමරය හැරුණ විට සිළුමිණ කර්තෘ මණ්ඩලය ඇතුළේ තවත් කාමරයක් තිබිණි. ඒ කාමරයේ එක් කොනක සිටියේ සිළුමිණ සමකර්තෘවරයා වූ දයා ලංකාපුර මහතාය. එවකට දයා ලංකාපුර මහතා සවස ජනතා පුවත්පතේ වැඩබලන කතුවරයා ද වුයේය. මේ අනෙක් කෙළවරේ සිටියේ රංජිත් ඇල්. අබේවික්‍රම මහතාය.

එකල සිළුමිණ ගරු ගාම්බීර තැනක් යැයි බැලු බැල්මට කෙනෙකුට සිතුණේ මේ කාමරය එක් හේතුවක් යැයි සිතේ. එවකට අබේවික්‍රම මහතා සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහයේ සංස්කාරකවරයා ද විය. ඔහු වැඩි කතා බහ නැත්තෙකි. කතා කළොත් කතා කරන්නේ අත්‍යවශ්‍යම දෙයකට පමණි. නමුදු ඔහු කවදත් ආධුනිකයන්ට උදව් කළේ පෙරළා ප්‍රතිඋපකාර බලා පෙරොත්තුවෙන් නොවේ.

වරක් හදිසි අනතුරකට ලක් වීමෙන් ඔහුගේ පාදයක් බිඳී ගියේය. ඔහු කිහිළිකරුවෙන් වැඩට ආවේ පුවත්පතට තිබුණු ලැදියාව නිසාමය.

අබේවික්‍රම මහතාගේ අකුරු බොහෝ පැහැදිලිය. ඔහුගේ අකුරු අමුතුම හැඩයක් ගත් අතර ඔහු ඇසුරු කළෝ මේ අත් අකුරු හොඳින් හඳුනති. සිංහල භාෂාව ගැන මහත් උනන්දුවක් දැක් වූ අබේවික්‍රමයන්ගේ ප්‍රියතම කතුවරයා ලේඛකයා වුයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ය.

මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳ යම් අයෙක් දෝෂාරෝපණය කරමින් යමක් ලීවොත් පෙරලා ඒ වෙනුවෙන් පෙනී සිටීමට, එයට පිළිතුරු ලිවීමට ඔහු දෙපාරක් නොසිතුවේය. දිනමිණ වෙසක් කලාපයේ සංස්කාරකවරයා ලෙස ඔහු වසර ගණනාවක් තිස්සේ කටයුතු කෙළේය.

සිංහල භාෂාව, භාෂාවේ ඉතිහාසය පිළිබඳ බොහෝ ලිපි ලියා ඇති අබේවික්‍රම මහතා සිළුමිණ පුවත්පතින් විශ්‍රාම ගැනීමෙන් පසු මව්බිම පුවත් පතේද සේවය කළේය.

මියයන විට 75 වැනි වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි. ලේක්හවුස් ආයතනයේ සරසවිය සිනමා පුවත්පත් පිටු සැලසුම් අංශයේ සේවය කරන චක්ෂු අබේවික්‍රම, ආචාර්ය අබේවික්‍රම මහතාගේ බාල පුතණුවන් ය. ඒ මහතා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් 3වැනි දා ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි.

අපි එතුමාට නිවන් සුව පතමු.

Comments