අමුතු ඉලන්දාරියා සමන් වගආරච්චි | සිළුමිණ

අමුතු ඉලන්දාරියා සමන් වගආරච්චි

කලක් ලියුකේමියා රෝගයෙන් පෙළුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි මාර්තු 15 වැනිදා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ අතර, ඔහුගේ අවසන් කටයුතු කෑගල්ලේදී සිදුකෙරිණි. ගාල්ලේ අහංගමදී 1956 මාර්තු 5 වැනිදා උපන් සමන්; බද්දේගම ක්‍රිස්තුදේව සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. පුත්තලම සිමෙන්ති කම්හලේ ලිපිකරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ වගආරච්චි කලක් ජවිපෙ පූර්ණ ක්‍රියාධරයකු විය. ජවිපෙ මෙහෙය වූ සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් ලෙස කටයුතු කළ ඔහු ‘උල්පත’ කාව්‍ය සංග්‍රහයේ සංස්කාරකවරයාද විය.

(අවධාරණය සංස්කාරකගෙනි)

 

‘ජීවිත හා පරිසර සුරකිමු’ සංගමයේ ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී 1991දී පුවත්පත් කලාවට සම්බන්ධ වෙමින් ‘යුක්තිය’ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා විය. ‘ඉරිදා පෙරමුණ’ පුවත්පතේ කතුවරයා සහ ‘ලක්බිම’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ වරයා ලෙසද 2001 සිට 2004 දක්වා ‘දිනමිණ’ කර්තෘ ලෙසද ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙසද කලක් කටයුතු කළේය. එමෙන්ම එජාපයේ ඌව පළාත් සභාවට ද තරග කළ වගආරච්චි ඉකුත් ජනාධිපතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදීන්ගේ සංගමය පිහිටුවා ගනිමින් එජාප ජනාධිපති අපේක්ෂකයාට ප්‍රමුඛ සහයක් ලබා දුනි. (අවධාරණය සංස්කාරකගෙනි)

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව කැඳවුම්කරු ලෙස වසර කිහිපයක් කටයුතු කළ ඔහුගේ මාධ්‍ය භාවිතය පිළිබඳ ආචාර්ය නිර්මාල් දේවසිරි තැබූ සටහන පහත පළ වේ. .

සමන් වගආරච්චි සිය සිදුවීම්වලින් බහුල දිවිසැරිය අවසන් කර ඇත. ඔහු වෘත්තීය වශයෙන් මාධ්‍යවේදියෙක් වුව ද මා ඔහු හඳුනාගන්නේ විශිෂ්ට ගණයේ මාධ්‍යවේදියෙක් ලෙස නොව අති විශිෂ්ට සංවිධායකයෙක් ලෙසටයි. ඔහුට සෙසු අයගෙන් වැඩ ගැනීමේ හා ඒ හරහා සිය ඉලක්කය වෙත යෑමේ ඉහළ ගණයේ හැකියාවක් තිබුණි. මේ හැකියාව නිසාම විශේෂයෙන් ම 1990න් ඇරඹෙන ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය තුළ සුවිශේෂී භූමිකාවක් රඟදැක්වීමට ඔහුට හැකියාව ලැබුණි.

සමන් වගආරච්චි සමාජ-දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ ජවිපෙ දේශපාලනයේ දෙවෙනි අවධිය තුළ සමාජ-දේශපාලන ක්‍රියාකාරීත්වයට ආකර්ෂණය වූ උද්යෝගීමත් තරුණ පරම්පරාවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙසයි. 1977 මැතිවරණයෙන් පසු 1971 සන්නද්ධ නැඟිටීමට අනතුරුව සිරගත කර සිටි ජවිපෙ නායකයන් ද ඇතුළු සාමාජිකයන් විශාල ප්‍රමාණයක් නිදහස් කරනු ලැබීය. මේ අතරින් විශාල පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ වෙතින් ඒ වන විටත් ඉවත් වී සිටියහ. රෝහණ විජේවීර ඇතුළු නායකයන් නැවත වතාවක් ජවිපෙ යළි ගොඩනැඟීම සඳහා කටයුතු කිරීම ආරම්භ කළහ. විශේෂත්වය වන්නේ 1965-71 වකවානුව තුළ පහළ මැද පාන්තික හා පහළම සමාජ පන්තිවලට අයත් තරුණ කොටස් අතර ජවිපෙ හි දේශපාලන ආමන්ත්‍රණය බෙහෙවින් ආකර්ෂණශීලී එකක් විය. සමන් වගආරච්චි ද ජවිපෙට ආකර්ෂණය වූ මේ නව තරුණ පරම්පරාවේ සාමාජිකයෙක් විය.

මා මුලින්ම ඔහු ගැන අසා දැනගත්තේ 1984 අග හෝ 1985 මුල දීය. ඒ මට මතක විදිහට දැනට ජීවතුන් අතර නැති අජිත් සේරසුන්දරගෙනි. අජිත් සේරසුන්දර ද කලක් ජවිපෙට ආකර්ෂණයක් ඇතිව සිට 1983 දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු ව ඉක්බිතිව ජවිපෙ ට පසමිතුරුව ක්‍රියාත්මක වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරී ඉදිරිපෙළ සාමාජිකයෙක් විය. මගේ දේශපාලන නැඹුරුව ද මගේ පාසැල් මිතුරෙක් වූ අජිත් ගේ දේශපාලන මාවතට සමාන එකක් විය. මම ද පාසැල් කාලයේ ජවිපෙ දේශපාලනයට ආකර්ෂණය වී සිටි අතර; 1984 දී කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි විට ස්වාධීන ශිෂ්‍ය සංගමයට සම්බන්ධ වීමි. මට සමන් වගආරච්චි පිළිබඳව අසන්නට ලැබුණේ ස්වාධීන ශිෂ්‍ය සංගමය පිහිටුවීමට සම්බන්ධ ඉතිහාසයට අදාළව අජිත් සේරසුන්දර විසින් කරනු ලැබූ විස්තරයක ප්‍රධාන භූමිකාවක් ලෙසිනි. ඒ විස්තරයට අනුව 1980 ගණන් වල මුල් වසරවල දිනෙක එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙක් වූ, දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක් වන, ජයන්ත විජේරත්නට පාමංකඩ දී ජවිපෙ පිරිසක් විසින් පහර දී තිබුණි. ඒ පහර දීම සංවිධානය කර තිබුණේ සමන් වගආරච්චි විසිනි. එකල ජවිපෙ දේශපාලනය තුළ විරුද්ධවාදීන්ට එරෙහිව කරන ලද මෙවැනි ප්‍රහාර සුලබ සංසිද්ධියක් විය.

කෙසේ වෙතත් සමන් වගආරච්චිගේ දේශපාලන ගමන් පථය 1977න් පසු ජවිපෙට ආකර්ෂණය වූ බහුතරයක් තරුණ පිරිසකගේ දේශපාලන ගමන් පථයෙන් වෙනස් වීය. මේ බහුතරයක් තරුණ පිරිස 1987-1989 කාලයේ දියත් වූ ජවිපෙ සන්නද්ධ නැගිටීමේ සටන් කරුවෝ වූහ. කෙසේ වෙතත් මේ අතර කාලය තුළ ජවිපෙ ක්‍රීයාකාරිත්වයෙන් ඉවත් වූ සැලකිය යුතු පිරිසක් විය. සමන් අයත් වූයේ ද මේ කාණ්ඩයටයි. මේ අතර මැද ජවිපෙ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්වන පිරිස සම්බන්ධ ඉතිහාසය ද අතිශයින් වැදගත් එකකි.

1977 දී පුනර්ජීවය ලබන ජවිපෙ ඉන් වසර දහයකට පසු දියත් වන සන්නද්ධ නැගිටීමට සූදානම් වීම දක්වා කාලය, 1965 ආරම්භ වී 1971 සන්නද්ධ නැගිටීමට සූදානම් වීමේ ක්‍රියාවලියට වඩා වෙනස්ය. 65-71 කාලයට වෙනස්ව 1977 සිට 1983 දී තහනම් කරන තෙක් ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක විය. සමන් වගආරච්චි ද මෙවැනි ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරකම් හී ප්‍රමුඛ පුරුකක් වී සිටියා පමණක් නොව; ඒ හරහා ඔහු ජවිපෙන් ඉවත්ව වෙනත් දේශපාලන අවකාශයකට මාරුවන පැසේජය ද ඒ ක්‍රියාකාරකම් මඟින් ම නිර්මාණය වී තිබිණි.

මම සමන් ගැන මුලින්ම දැනගන්නා විටත් ඔහු ජවිපෙන් ඉවත් වී සිටි බවත් ‘බ්ලේඩ් තළය‘ නම් කුඩා තීරු පුවත් පතක් කළ බවත් සහ පසුව සමනල වැව ව්‍යාපෘතියේ රැකියාවක් කරන බවත් දැනගන්නට ලැබුණි. (මේ පුවත් පතට බ්ලේඩ් තලය කීව ද ඊට නමක් තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ බ්ලේඩ් තලයක පින්තූරයකි.) සමහර විට මෙහි පුරෝගාමියා කොලම යන තීරු පුවත්පත පළ කළ චින්තන ජයසේන විය හැකිය. ආරම්භයේ දී සමන් ද සම්බන්ධ වී සිටි “නිර්මාණ සංවාද කුලකය, යන පුරෝගාමී තරුණ සංස්කෘතික සංවිධානය ද මෙවැනි තීරු පුවත් පතක ආකෘතියේ කවි සංග්‍රහයක් පළ කළේය.

සමන් මට මුලින්ම මුණ ගැසුනේ 1989 අග විය යුතුය. ඒ ජවිපෙ සන්නද්ධ නැගිටීම ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවැතියදීය. ඒ වන විට විකල්ප දේශපාලනයක් පිළිබඳ උනන්දුවෙන් සිටි ජවිපෙ සන්නද්ධ නැඟිටීම අනුමත නොකළ, හෝ ඊට සම්බන්ධ නොවූ සැලකිය යුතු තරුණ පිරිසක් කොළඹ ආශ්‍රිතව සිටියහ. මේ පිරිස් එකට හමුවූ ඉතා ප්‍රකට ස්ථානයක් වූයේ කොළඹ මහජන පුස්තකාලයයි. මට සමන් මුලින්ම මුණ ගැසුණේ මේ කොළඹ මහජන පුස්තකාලයේ දී ය. එපමණක් නොව මේ මුණ ගැසීම සිදු වූයේ ද ඉහත සඳහන් කළ විකල්ප දේශපාලනයක් සොයමින් සිටි නව තරුණ පරම්පරාවේ සංකේතාත්මක චරිතයක් බඳු වූ කේ. කේ. සමන් කුමාර හරහාය.

මට සමන් මුල්වරට මුණ ගැසෙන විටත් අප එකිනෙකා මිතුරන් වී සිටියා වැනි හැඟීමක් අප අතර තිබුණු බව මතකය. මේ මුල් හමුවේ දී අපි බොහෝ දේ කතා කළෙමු. ඔහු සමනල වැව රස්සාවෙන් ඉවත් වූ බවත් කොළඹ ආශ්‍රිත සමාජ දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමට උනන්දුවෙන් සිටින බවත් පැවැසීය. ‘බ්ලේඩ් තලය‘ නැවත පටන් ගැනීමට සිතා සිටින බව ද පැවසීය. ඔහු තුළ පැවැති දේශපාලන උනන්දුව මා තුළ බෙහෙවින් ධෛර්යය වර්ධන කරවන්නා වූ එකක් බව මට මතකය.

මට සමන් නිතර ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණේ ඔහු මා ද සේවය කළ යුක්තිය පුවත්පතට සම්බන්ධ වීම නිසාය. යුරෝපා රටවලින් ලැබුණු මූල්‍යාධාරවලින් නඩත්තු වූ රාජ්‍ය නොවන සංවිධානය මගින් පවත්වාගෙන ගිය එය අභ්‍යන්තර පුවත් සංග්‍රහයක් විය. 1990 දී එය ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පතක් ලෙස නව මුහුණුවරකින් ආරම්භ වීමට තීරණය විය. මම ද එහි මේ නව ආරම්භයත් සමඟ ඊට සම්බන්ධ වූ අතර ටික කලකට පසු සමන් ද ඊට සම්බන්ධ විය. එය සමන්ගේ දේශපාලන ජීවිතයේ තීරණාත්මක කඩ ඉමක් ද විය. ඔහු මුලින්ම යුක්තියට, ‘බ්ලේඩ් තලය‘ නමින් කොලමක් ද ලිවීය.

සමන් 1994 දී සිදුවූ ආණ්ඩු පෙරළිය කෙරේ තිරයෙන් පසුපස සිට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ කළේය. ඒ මූලික වශයෙන්ම එ් ආණ්ඩු පෙරළිය කෙරේ විශාල බලපෑමක් කළ “නිදහස් මාධ්‍ය ව්‍යාපාරය” නිර්මාණය කිරීම සඳහා පුරෝගාමී වෙමිනි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳ අදහස මුලින්ම පිළිසිඳ ගත්තේ සමන්ගේ සිතේය. මා දන්නා ආකාරයට එය සිදුවූ ආකාරය මෙසේය: ප්‍රේමදාස ආණ්ඩුව මාධ්‍ය නියාමනය සඳහා පනත් කෙටුම්පතක් ගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේ දී ඒ පිළිබඳ යුක්තිය පුවත්පතට විශේෂාංග ලිපියක් සකස් කිරීමට සමන්ටත් මටත් බාර විය. අපි දෙදෙනා මේ සඳහා මාධ්‍යට සම්බන්ධ බොහෝ දෙනෙක් සම්මුඛ සාකච්ඡාවට භාජනය කළෙමු. මට මතක විදිහට ලැයිස්තුව මෙසේය: ආරියනන්ද දොඹගහවත්ත, අජිත් සමරනායක, රෙජී සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර සහ තවත් කීප දෙනෙකි.

මේ සාකච්ඡා මාලාව මට හුදෙක් පුවත්පත් කලාවේදීමය කාර්යයක් වුව ද, සමන්ට ඊට වඩා දෙයක් විය. විශේෂයෙන්ම ඔහු දොඹගහවත්ත හා අජිත් සමරනායක සමඟ මේ පනත් කෙටුම්පතට විරුද්ධව සංවිධානාත්මකව යමක් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ඇත්ත වශයෙන්ම සමන් වහාම ඒ සඳහා මුල පිරීය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එහි ප්‍රතිඵලයයි. 1994 ආණ්ඩු පෙරළිය කෙරේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තීරණාත්මක ලෙස බල පෑවේය. එය ඉදිරියට තල්ලු‍ කළ එන්ජිම වූයේ සමන් ය.

ඊළඟට සමන් සමඟ මට ඇති සමීපම සම්බන්ධය වූයේ ජවිපෙ ඉක්මවා යා හැකි විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැංවීමට සමන්ගේ මූලිකත්වයෙන් අප කීප දෙනෙක් දැරූ උත්සාහයයි. ඊට නව සමාජවාදී පෙරමුණ යනුවෙන් නමක් ද දී, “නව මඟකට පාර සොයමු” නමින් ම විසින්ම රචනා කරන ලද ප්‍රකාශනයක් 1994 මැයි දිනය දා ප්‍රකාශයට පත් කළෙමු. ලංකාවේ බොහෝ ප්‍රදේශවල දේශපාලන කඳවුරු පවත්වමින් සැලකිය යුතු පිරිසක් එකතු කරගැනීමට අපට හැකි විය. කෙසේ වෙතත් ජවිපෙ මන්ත්‍රී ධූරය ලබා ගැනීම සඳහා දියත් වූ ”‍වස්කඩුව නාටකයට”‍ සමන් ද සම්බන්ධ වීම නිසා ඒ උත්සාහය නතර විය. ඇත්ත වශයෙන්ම එම උත්සාහය අසාර්ථක වීම ඒ වන විට එවැනි ව්‍යාපාර සඳහා පැවැති ඓතිහාසික හැකියාව අහෝසි වී ගොස් තිබූ බවට මනා ඉඟියකි. ඉන්පසු සමන් ක්‍රමයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදියෙක් බවට පත් වූයේය. ඒ ලක්බිම පුවත්පත ආරම්භ කරන විට ඊට සම්න්ධ වීම හරහාය.

Comments