අපේ කොරෝනා මර්දනය ගැන එතෙර - මෙතෙර පැසසුම් ජනතාවටත් තවත් සහන | Page 2 | සිළුමිණ

අපේ කොරෝනා මර්දනය ගැන එතෙර - මෙතෙර පැසසුම් ජනතාවටත් තවත් සහන

පවුල් ලක්ෂ 53කට මසකට රුපියල් 5000ක සහනාධාරයක්

බැසිල්ගේ කාර්ය සාධක බළකායෙන් නිවාස අසලටම අත්‍යවශ්‍ය ආහාර

විශ්‍රාම වැටුප් ගන්න ප්‍රවාහන පහසුකම්

දිස්ත්‍රික්-ප්‍රාදේශීය ලේකම්වරු සහන දෙන්න දිගටම වැඩ

සහන ප්‍රතිලාභීන් තෝරන්න ග්‍රාමීය කමිටු 14200ක්

සෞභාග්‍යා ගෙවත්ත වගා සංග්‍රාමය 4දා ඇරඹේ

කොරෝනා අරමුදලට ආධාර ගලා එයි

 

නව කොරෝනා වයිරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙසින් තවත් මූල්‍යමය හා ද්‍රව්‍යමය සහන රැසක් ලබාදීමට රජය කටයුතු කරයි. ඒ අනුව මෙරට ප්‍රථම වරට පවුල් ලක්ෂ 53ක සාමාජිකයන් ලක්ෂ 180කට පමණ සෙත සලසන සහනාධාර වැඩපිළිවෙළක් දැන් ක්‍රියාවට නංවා ඇත.

මෙම සහන ප්‍රදානය මඟින් එම දුෂ්කරතාවට පත් පවුල්වල වත්මන් තත්ත්වය යටතේ ඇති ආර්ථික ගැටලු සමනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

ජනාධිපතිතුමාගේ අදහසක් අනුව හා නායකත්වය අනුව ක්‍රියාත්මක මෙම සහන වැඩපිළිවෙළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හා අමාත්‍යාංශ ලේකම්වරු මඟින් ක්‍රියාවට නැංවේ. මෙහි සියලු මෙහෙයුම් සම්බන්ධීකරණ කටයුතු කොරෝනා වයිරස ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී ජනජීවිතය යථා තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීමට සම්බන්ධීකරණය සහ පසු විපරම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ.

මෙම වැඩපිළිවෙළ යටතේ වත්මන් කොරෝනා වසංගතය නිසා ඊට අනුබද්ධ කටයුතු නිසා අගහිඟකම් ඇතිවූ පවුල් ලක්ෂ 53කට පමණ මසකට රුපියල් 5000ක මූල්‍ය සහනාධාර ලබා දෙනු ලැබේ.

මෙම සහන හා අත්‍යවශ්‍ය සේවා යථා පරිදි නොකඩවා පවත්වාගෙන යාමට ජනාධිපති කාර්ය සාධක බළකායට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නව සහන වැඩපිළිවෙළ යටතේ වැඩිහිටි දීමනා ලාභී 416764 දෙනෙකුට සහ වැඩිහිටියන් ලෙස හඳුනාගනු ලැබු පොරොත්තු ලේඛනයේ සිටින 192345කට රුපියල් 5000 ගෙවනු ලැබේ.

ආබාධිත දීමනාලාභී 84071කට සහ ආබාධිත ලෙස හඳුනාගෙන ලැබ පොරොත්තු ලේඛනයේ සිටින 35229ක් දෙනාටද රුපියල් 5000 දීමනාව හිමි වේ.

ඊට අමතරව ගොවි රක්ෂණ සේවා ක්‍රමය යටතේ ලියාපදිංචි වී සිටින ගොවි පවුල් 160675කටද මෙම රුපියල් 5000 දීමනාවේ හිමිකම් ලැබේ.

ගර්භණි මාතාවන් සහ මන්දබුද්ධික දරුවන් සඳහා ත්‍රිපෝෂ හා වෙනත් පෝෂණ ද්‍රව්‍යද නිවාස වෙතට ඍජුවම සැපයීමටද තීරණය කර ඇත.

සමෘද්ධි හිමිකම්ලාභී පවුල් ලක්ෂ 18කට අමතරව තවත් පවුල් ලක්ෂ හයකට පමණ මේ රුපියල් 5000 සහනාධාර දීමනාව සමෘද්ධි අධිකාරිය මඟින් ගෙවනු ලැබේ. ඒ පසුගියදා සමෘද්ධි ලාභීන්ට ලබාදුන් රුපියල් 5000 ණය මුදලට අමතරවය.

විශ්‍රාමිකයන් 645179ක් සඳහා පසුගිය 2 - 3 දිනවලදී හා හෙට 6 වැනිදා නියමිත පරිදි විශ්‍රාම වැටුප් ගෙවනු ලැබේ. ඒ දිනවල ඔවුන්ට ඖෂධ ගැනීමට ඖෂධ හල් විවෘත කර තබනු ඇත.

ලක්ෂ 15ක් රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප නොවරදාම ගෙවන අතර වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවා ඇත.

ත්‍රීරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ සහ ස්වයං රැකියා සඳහා භාවිත මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයං රැකියාවල නිරත වූවන්ට පවුල් ලක්ෂ 15කට කල් බදු වාරික සඳහා ද සෙත සැලැසේ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලට ද සහන දීමට කටයුතු කෙරේ.

ඉහත වර්ගීකරණයට අයත් නොවන නමුත් අවදානමට මුහුණ පා සිටින්නවුන් ලෙස හඳුනාගන්නා අයට ද ඉහත පවුල්වලට සමාන සහන සැලැසීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. ඒ සියලු කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සමාජ සේවා, සංවර්ධන, සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

මේ පිළිබඳව ජනාධිපති ලේකම්වරයා මුදල් හා ආර්ථික සහ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරුන් දිස්ත්‍රික් ලේකම්වරු වෙත නිකුත් කළ චක්‍රලේඛයේ සඳහා සඳහන් වන්නෙ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පුද්ගලයන් වෙත ඍජුවම ලබාදීමට ප්‍රමුඛව වැඩපිළිවෙළ සකස් කරන ලෙසයි. ඒ අනුව ගොවිනට සාධාරණ මිලක් ලැබෙන පරිදි අතරමැදියන්ගෙන් තොරව සතොස සමූපකාර වෙළෙඳසල් හා පෞද්ගලික වෙළෙඳ ආයතන ජාලයන්ද හවුල්කරගෙන මෙම වැඩපිළිවෙළ සිදුකරන ලෙස ලේකම්වරයා පවසයි.

නව කොරෝනා වයිරස ලංකාවෙන් තුරන් කිරීමේ ප්‍රමුඛතා වැඩසටහනේ අත්‍යවශ්‍ය අංගයක් වනුයේ සමස්ත ජන ජීවිතය බාධා නොමැතිව අඛණ්ඩව පවත්වාගෙන යාම බවද ජනාධිපති ලේකම්වරයා මෙම චක්‍රලේඛයෙන් දක්වා තිබේ. ඉහත සහන වැඩපිළිවෙළ කොරෝනා වයිරස් ශ්‍රී ලංකාවෙන් තුරන් වන තෙක් ක්‍රියාවට නැංවීමට ද රජය තීරණය කර තිබේ.

මේ අතර යම් පුද්ගලයකුට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවාස අසලට නොලැබීම හා රජයේ අනුමත සහන නොලැබීම පිළිබඳව ගැටලු විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත ඉදිරිපත් කළ හැකි බව එහි මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. ඒ අනුව එම ගැටලු සඳහා 0113456200, 201, 202, 203, 204 යන දුරකථන අංක පහ ඒ සඳහා විවෘතව ඇත. ඊට අමතරව [email protected] යන විද්‍යුත් තැපෑලද 0112333066 ෆැක්ස් අංකයද එම කටයුතු සඳහා විවෘතව පවතී.

 

මේ අතර අපේ රජය ගෙනයන කොරෝනා මර්දන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව හිමිවී තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ දුරකථන සංවාදයේ යෙදී ඇති අතර එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා අපේ රටේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ අගයකර ඇත. පසුව අධ්‍යක්ෂ ජනරාල්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තෙ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සෞඛ්‍ය හා විවිධ සමාජ ක්ෂේත්‍රයන් එක්කරගෙන ගෙනයන ප්‍රතිකාර හා සහන වැඩපිළිවෙළ ගැන සිය සතුට පළකරන බවයි.

ඊට අමතරව පසුගියදා මෙරට විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයද කොරෝනා පාලනයට රජය ගෙනයන වැඩපිළිවෙළ ප්‍රසාදයට පත් කළේය. ඒ පිළිබඳව රජය හා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන එජාපය සමඟ සාකච්ඡාවක්ද පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීය.

විශේෂ කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාද සහන වැඩපිළිවෙළ ගැන මෙහිදී කරුණු පැහැදිලි කළේය.

දිවයිනේ හඳුනාගත් පවුල් ලක්ෂ 53කට ලබන 9 වැනිදාට පෙර රුපියල් 5000 බැගින් ලබාදෙන බවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වැඩපිළිවෙළ නිර්දේශපාලනීකරණ කළ යුතු බව දෙපාර්ශ්වය තීරණය කළේය. එජාප උපනායක රවි කරුණානායක මහතා ඇතුළු කණ්ඩායමක් මෙම සාකච්ඡාවට එක්වූ අතර අවසානයේදී ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කිරීමටද පියවර ගත්හ. ඊට අමතරව පසුගිය බ්‍රහස්පතින්දා රටේ සියලු පක්ෂ නායකයන් සමඟද අගමැතිතුමා සර්ව පාක්ෂික සාකච්ඡාවක් පවත්වන ලදී. එයට හිටපු ජනපති - අගමැති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේ අතර ඉහත සමාජ ප්‍රතිලාභ වැඩසටහන යටතේ රුපියල් 5000 සහනාධාරය ගෙවීමට ග්‍රාමීය මට්ටමින් ප්‍රතිලාභීන් නිරවුල්ව හඳුනා ගැනීම සඳහා සියලුම පළාත් පාලන ආයතනවල පළාත් පාලන කොට්ඨාස අනුව හෝ ග්‍රාම නිලධාරි මට්ටමින් ග්‍රාමීය කමිටු පිහිටුවිය යුතු බව රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව ග්‍රාම නිලධාරි, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, පවුල් සෞඛ්‍ය නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි යන අයගෙන් මෙම ග්‍රාමීය කමිටුව සමන්විත විය යුතුව ඇත. ඊට අමතරව පළාත් පාලන කොට්ඨාස නියෝජිතයන්ද මීට අයත් විය යුතුය.

ඒ සමඟම රජය විසින් ලබාදෙන වැඩිහිටි හා ආබාධිත දීමනා ග්‍රාම නිලධාරින් විසින් නිවසටම පැමිණ ගෙවීමටද රජය උපදෙස් දී ඇත.

මේ අතර මේ අවස්ථාවේදී වැඩි මිලට බඩු විකුණන අධික ලාභ ලබන වෙළෙඳසල් පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දන්වන ලෙසද දන්වා සිටී. ඒ අනුව 0112302981, 0112399146, 0117755456/7 දුරකථන අංක හා ෆැක්ස් අංක 0112399148, 0112399149 මඟින් මෙම පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

ඒ සමඟම විශේෂ කාර්ය සාධක බළකායේ උපදෙස් මත රජයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංවිධානය කරන එළවළු, පලතුරු, මාළු හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලොරි මඟින් ගෙනැවිත් දීමේ වැඩසටහනේ අඩුපාඩු ඇත්නම් ඒ පිළිබඳව 0112354354 අංකය අමතා ජනාධිපති කාර්යාලය ඇමැතීමට පුළුවන.

කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අරඹා ඇති සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට එතෙර මෙතෙර පරිත්‍යාගශීලිහු දැන් නොමසුරුව ආධාර කරති. ඒ අනුව දැන් එම අරමුදල රුපියල් දසලක්ෂ 314 ඉක්මවා ඇත. ඒ සඳහා අක්බාර් බ්‍රදර්ස් ආයතනය රුපියල් දසලක්ෂ 50ක් ලබා දී ඇත. දළදා මාලිගාව ඇතුළු විවිධ පුද්ගලයන් සංවිධාන මෙම අරමුදලට ආධාර ලබා දී ඇත.

එය "COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල" (COVID - 19 Health Care and Social Security Fund) ලෙස නම්කර ඇත. ජනාධිපතිතුමාගේ නියමයෙන් ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානය කර තිබේ.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ වෙනම විශේෂ ගිණුමක් මේ සඳහා ආරම්භ කර ඇත. එහි ගිණුම් අංකය 85737373 වේ.

දේශීය, විදේශීය පරිත්‍යාගශීලීනට සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අමුදලට මුදලින් දායක වීමට පිළිවන. නිත්‍යානුකූල ගිණුම් මඟින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මඟින් මුදල් තැන්පත් කිරීමට පිළිවන. වැඩි විස්තර 0112354354 එගොඩවෙල මහතා ඇමැතීමට පුළුවන.

"සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂණ අරමුදල" කළමනාකරණය පරිපාලන, මූල්‍ය සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළම නිපුණතාවක් සහිත වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් මඟින් සිදු කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සඳහා ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම පිණිස කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින් සෞභාග්‍ය ගෙවත්ත වගා සංග්‍රාමය වැඩ සටහන අප්‍රේල් 4 වැනි දින ආරම්භ කිරීමට කටයුතු යොදා තිබිණි. පෞද්ගලිකව ගෙවතු ලෙස කුඩා කණ්ඩායම් ලෙස ගොවිපළ මට්ටමින් හා වාණිජ මට්ටමින් වගාවට එක්වෙමින් මෙම වැඩපිළිවෙළට එක්වීමට අවස්ථාව තිබේ.

මේ සඳහා අවශ්‍ය බීජ පැළ පොහොර කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු මඟින් සැපයෙන බව කෘෂිකර්ම හා වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩපිළිවෙළේදී බඩඉරිඟු, මුංඇට, සෝයා බෝංචි, රටකජු, කුරක්කන්, අමුමිරිස්, රටලුනු, රතුලුනු, අර්තාපල්, උඳු, කොල්ලු ප්‍රවර්ධනය ප්‍රමුඛත්වය දක්වනු ලැබේ.

මේ පිළිබඳව සියලු විස්තර www.saubagya.lk වෙබ් අඩවියෙන්ද දැනගත හැකිය. මේ යටතේ ගෙවතු දසලක්ෂයක් වගා කිරීමට යෝජිත බව කෘෂිකර්ම වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව ඉදිරි කාලයේදී ඖෂධ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හැර අන් සියලු භාණ්ඩ මෙරටට ගෙන්වීම තහනම් කිරීමට හා සීමා කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.

මේ අතර තැපෑලෙන් අවශ්‍ය ඖෂධ ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව හා ඖෂධ සංස්ථාව දැන් සුවිශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

මේ වැඩපිළිවෙළ පසුගියදා තොරතුරු සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

කොරෝනා වෛරසය රට තුළ පැතීරීම පාලනය සහ වැළැක්වීම සදහා අතිගරු ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ පිළිවෙළ සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති HU WEI මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ප්‍රදානය කරන ලදී.

මේ අයුරින් රජය කොරෝනා මර්දනයටද, මහජන සුබසාධනය පිණිසත් රජය විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටී.

ඊට සහාය දෙමින් හා නිවසටම වී සිටිමින් කොරෝනා පාලනයට රජයට උදව් දීම මේ මොහොතේ අප සැමගේ සුවිශේෂම යුතුකම වී ඇත.

Comments