අටුලුගමට මෙහෙම වුණේ ඇයි? | සිළුමිණ

අටුලුගමට මෙහෙම වුණේ ඇයි?

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, අටුලුගම සම්පූර්ණයෙන්ම බාහිර ලෝකයෙන් වෙන්කර ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. කොරෝනා 19 බිහිසුණු කිරීටක වෛරසයට ගොදුරු වුණු තරුණයකු හා ඔහුගෙන් මෙය වැලඳුණු පවුලේ හතර දෙනකු හමුවීම මෙම සිද්ධියට මුලයි. මෙම තරුණයා ගිල්ෂාඩ් මූතීර් 26 හැවිරිදි අවිවාහක අයෙකි. ඔහු බණ්ඩාරගම අටුලුගම ව්‍යාපාර කිහිපයක් කළ අතර ඩුබායි රටේ සිට විවිධ භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙනවිත් බෙදාහැරීම ද කළ බව ද ප්‍රකටය.

මාර්තු 17 වැනි දින කටුනායක ගුවන් තොටුපොළෙන් ගුවනින් ඩුබායි රටට ගිය මූතීර් භාණ්ඩ ඇනවුම් කොට යළි ශ්‍රී ලංකාවට ආවේ 19 වැනිදාය.

මුතීර්ට දින කිහිපයක් ගත වන විට 'කොරෝනා' රෝගය ඉස්මතු විය. මේ සමඟම පවුලේ තවත් හතර දෙනෙකුට කොරෝනාව වැලඳුණි.

මේ සිද්ධිය ආරංචි වූ විගස ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ එක්ව මේ පවුලේ සියල්ලන්ම ගොතටුව රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර කරන්නට විය.

වැඩිදුරටත් මෙම පුද්ගලයන් පරීක්ෂාකර ඔවුන් ආශ්‍රය කළ තවත් 20කට අධික කණ්ඩායමක් බණ්ඩාරගම, සර්වෝදය මධ්‍යස්ථානයේ රඳවා නිරෝධායනයට පියවර ගත්තේය.

අනතුරුව මතුව පවතින සත්‍ය වූ තත්ත්වයනම් මෙම කරුණු නිසාම සමස්ත කළුතර දිස්ත්‍රික්කයම අධි අවදානම් කලාපයක් වීමය.

කළුතර දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 කි. මැතිවරණ ආසන 08කි. මේ සියල්ලම තුළ පවුල් තුන්ලක්ෂ අසූදහසකට අධික ජනකායක් ජීවත් වෙති. සමෘද්ධි හිමිකම් සහිත පවුල් 85000ක් පමණ සිටී.

මෙම සිද්ධිය පිළිබඳ අටුලුගම මුස්ලිම් පල්ලියේ ප්‍රධානියා වන නජීඩ් හජ්ජියාර් පවසන ආකාරයට මෙම ගම තුළ 90%ක් මුස්ලිම් ප්‍රජාව වෙති.

පවුල් විසිදහසක් මෙහි සිටිති. කුලී වැඩ කරන පවුල් 50%ක් පමණද ව්‍යාපාරික 15ක්ද, 5%ක් සමෘද්ධිලාභීන්ද වන අතර තවත් 30% ගම්වල සංචාරය කරමින් කුලී වැඩ කරනවාට අමතරව ගමේ ඇවිදිමින් වෙළෙඳාම් කරන්නෝද වෙති. අද මේ කොරෝනා වසංගතය අපේ හිස මතට මරාලයක් වාගේ ඇද වැටිලා" යැයි මුස්ලිම් ජනතාව වේදනාවෙන් පවසති.

නජීඩ් හජ්ජියාර් තවදුරටත් හෙළි කරන්නෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත්, ආරක්ෂක අංශයත්, කොරෝනාව මර්දනය සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවයි.

අටුලුගම ග්‍රමසේවා වසම් 07 තුළ සිටින 20, 000ක් පමණ ජනතාවගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම පිණිස සහ කොරෝනා වෛරසයට වාහය පුද්ගලයන් සංසරණය වැළැක්වීම සඳහා මේ වන විට ප්‍රදේශයේ ස්ථාන 08ක මුරකාවල් (පොලිස් ආරක්ෂාව) 08ක් යොදවා තිබේ.

මේ අතර අයි.ඩී.එච්. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් අශ්‍රය කළ තවත් පුද්ගලයන් ප්‍රදේශයේ සිටිය හැකි බවටද සැකයක් පවතී.

කොරෝනා මාරාන්තික වෛරසය දිස්ත්‍රික්කයේ ජනජීවිතය ඇද දමා අවුල්කර තිබේ.

මෙයට පෙර දිනවල දී නම් බක්මාසය ලදුවත් සමඟම සිංහල, ද්‍රවිඩ, ජනතාව සිංහල දෙමළ අවුරුදු උත්සවය සැමරීම සඳහා මේ වන විට දී ඇඳුම් පැලඳුම් ඇතුළු බඩු මුට්ටු හැකි තරමින් නිවෙස්වලට ගෙන ගොස් අවසානය. කොරෝනාව නිසා මෙම බක්මහ උලෙළ සැමරීම කෙසේ වෙතත් ජීවිතාරක්ෂාව සඳහා සියලු අවශ්‍යතාවයන් අමතක කර රජයේ අවවාදය අනුව ඇඳිරිනීතිය පිළිපැදීමට 100%ක්ම ජනතාව අතරින් 99%ක් පමණම ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් සිටී.

ඒ අතර රජය ආරක්ෂක අංශ කොරෝනා සටනට අවතීර්ණව සිටීම වාසියට පෙරළාගත් ඇතැම් අතළොස්සක් දෙනා බූරු ගැසීම, මත්ද්‍රව්‍ය පාවිච්චිය, සැණකෙළි පැවැත්වීම, ක්‍රීඩා කිරීම, ඖෂධ වට්ටෝරු භාවිත කරමින් නිදැල්ලේ හැසිරීම ආදි සිදුවීම් පවතින බව ද විශේෂයෙන්ම මේ තත්ත්වය බහුලව පවතින්නෙ බණ්ඩාරගම අටුලුගම බව ද නිරෝධායනයට කොටුවී සිටින මැදිවියේ පුද්ගලයන් කිහිප දෙනෙකුම සිළුමිණට හෙළි කළේ තරුණ විසේ හිසට ගැසීමෙන් මෙම හැසිරීම් දැකිය හැකි බවයි.

මේ අතර, අටුලුගම මිනිස්සු විතරක් නෙමේ, අපිත් කොරෝනාව වසංගතයක් නිසා මූලික අවශ්‍යතාවන් අමතක කරලා ඇඳිරිනීතියට ගරු කරලා නිහඬව සිටිනවා. රජයට බරක් නොවුණු තේ, රබර් ගොවිතැන් බත්වලින් ජීවිත රැකගත්තු අපි අද අසරණ වෙලා. බුලත්සිංහල පෙර පාසල් ගුරුවරියෝ රාශියක්ම හෙළි කළහ.

අටුලුගමින් හඳුනාගත් කොරෝනා රෝගියා සිය කැමැත්තෙන්ම ගුවන් තොටුපොළෙන් නිරෝධායන මධ්‍යස්ථානයට ගියේනම් බොහෝ විට කළුතර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය මේ ආකාරයට එක දිගටම නොඑන්නට තිබුණු බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

ගුවන් තොටුපොළේ දී ඔහු නිරෝධායනයට ලක්වූයේනම් අද අටුලුගම පමණක් නොව කළුතර දිස්ත්‍රික්කයටම නිදහසේ හුස්ම ගැනීමට හැකිව තිබුණු බව දඹදිව සංචාරයට සහභාගි වී බණ්ඩාරගමට පැමිණ සිටින සමාජ ක්‍රියාකාරිනියක වන මාලා චාන්දනී පවසන අතර ඇය කීවේ තමාද තම පවුලේ හතර දෙනෙකුද කොරෝනාවට ඇති බිය හේතුකරගෙන නිරෝධායනයට ලක්ව නිවසේම සිටින බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට සහන ලබා දෙමින් සමෘද්ධි පවුල්වලට ආහාර සලාක මල්ලක් සමඟ රුපියල් පන්දහසක් ලබාදීම ඇතුළුව වරප්‍රසාද දී තිබේ.

රජයේ කොරෝනා මර්දන වැඩසටහන ගම් තුළ ක්‍රියාත්මක වීමේ සම්ප්‍රදායික නිලධාරින්ගේ උදාසීනභාවය නිසා එදිනෙදා කුලී වැඩ කරමින් ජීවිකාව පවත්වාගත් කම්මල්කරුවන්, කරනවෑමි පිරිස්, කුලියට මහ පොළොව සමඟ ගැටෙල පුද්ගලයන් ඇතුළුව තවත් විශාල පිරිසක් ජනාධිපතිතුමාගේ සහන වැඩපිළිවෙළ අගය කරනවා. නමුත් ගමේ ක්‍රියාත්මක කරන ඇතැම් පුද්ගලයන් කිසිවක් සිදු නොවන ආකාරයට නිහඬව සිටීම නිසා අපි පීඩාවට පත්ව සිටිනවායැයි පවසති.

කොරෝනාව මැඬලීමට තනිවම රජයට නොහැක. රජයේ නිලධාරින් මෙන්ම ජනතාවද එයට එක්විය යුතුමය.

 

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments