අකුරණ වැසූ ‘අකුණ’ | සිළුමිණ

අකුරණ වැසූ ‘අකුණ’

කොවීඩ්-19 වෛරසයට මෙරට පුරවැසියෙකු ගොදුරුව තිබෙන බව මුල් වරට හෙළි වූයේ පසුගිය මාර්තු මස 11 දිනය. එතැන් පටන් වෛරස් ආසාදිතයින් වාර්තා වීම ක්‍රමයෙන් ඉහළ යද්දී වහා ක්‍රියාත්මක වූ රජය ගුවන් තොටුපොළ වසා දමා ඇඳිරි නීතියද පැනවීමට කටයුතු කළේ වෛරසය රට පුරා පැතිර යාම වැළැක්වීමටය. වෛරසය ඒ වන විටත් ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබූ ඉතාලිය හා දකුණු කොරියාව වැනි රට වලින් මෙරටට පැමිණි පිරිස් දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට ලක් කිරීමට රජය පියවර ගෙන තිබුණේ ඔවුන්ගෙන් වෛරසය පැතිර යාම වැළැක්වීමේ අරමුණිනි. ලෝකය පුරා වෛරසය ව්‍යාප්තිය ඉහළ යෑමත් ඉන් සිදුවන මරණ සංඛ්‍යාව වැඩි වීමත් සමඟ ගුවන් තොටුපොළ වසා දැමීමට රජය පියවර ගත්තේ රටේ ආරක්ෂාව තවත් තහවුරු කිරීමටය.

ඉන්දියාව තුළින්ද වෛරස් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් මාර්තු මස 14 දිනට පසු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් ගැනද අවධානය යොමු කිරීමට සෞඛ්‍ය අංශ වලට සිදුවිය. අදාළ කාලය තුළ විදේශ ගතව සිට මෙරටට පැමිණි සියලු දෙනාට රජය දැනුම් දුන්නේ ලඟම ඇති පොලිස් ස්ථානයට තම තොරතුරු ලබාදෙන ලෙසයි. උණ හෝ කැස්ස උගුරේ වේදනාව වැනි කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් දින 14 ක කාලයක් ඔවුන් නිවෙස් තුළදීම නිරෝධායනයට ලක් කිරීම සෞඛ්‍ය අංශවල අරමුණ වූ අතර ජනතාවගෙන් 99% ක් දෙනා ඊට දැක්වූයේ යහපත් ප්‍රතිචාරයකි. එසේ වුවත් ඊට අවනත නොවූ සුළු පිරිසක් නිසා අද රට විශාල අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙන්නේය. ඒ සඳහා වන ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පසුගිය 27 දින මහනුවර අකුරණ ප්‍රදේශයෙනි. ඉන්දියානු සංචාරයක නිරතව සිට පසුගිය 15 දින යළි මෙරට පැමිණි අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ පදිංචි රෝග ආසාදිතයෙකු පොලීසියට හෝ සෞඛ්‍ය අංශ වෙත සත්‍ය හෙළි නොකර වසන්ව සිටිම නිසා අද අකුරණ නගරය හුදෙකලා කිරීමට ආරක්ෂක අංශ වලට සිදුව තිබේ.

“ඉන්දියාවේ සිට මේ පුද්ගලයා ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය මාර්තු 15 වෙනිදා. ඊට දින දෙකකට පස්සේ උණ, කැස්ස වගේ මූලික රෝග ලක්ෂණ මතුව තිබියදී මේ පුද්ගලයා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් කිහිප අවස්ථාවක් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. විදේශ ගතව සිට පැමිණියේ නම් ඒ සම්බන්ධව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස නිතර දැනුම් දී තිබියදීත් මේ පුද්ගලයා ඒ බව වසන් කරමින් කොරෝනා රෝග ලක්ෂණ සහිතව නිවසේ රැඳී ඉඳලා. මහනුවර දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍යවරයා වෙත මේ පුද්ගලයා සම්බන්ධ තොරතුරු ලැබී තිබෙන්නේ පසුගිය 26 දිනයි. ඔහුගේ පුතා ලබාදුන් දුරකතන ඇමැතුමකින් පසු සෞඛ්‍ය නිලධාරීන් අදාළ නිවසට ගොස් මොහු මහනුවර ජාතික රෝහලේ කොවිඩ්-19 වෛරස් ආසාධිතයින් බවට සැක කෙරෙන පුද්ගලයින් වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන විශේෂ වාට්ටුවට ඇතුළත් කළා. එහිදී සිදුකළ පරීක්ෂණ මගින් මොහුට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වුණා. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු අංගොඩ අයි.ඩී.එච් රෝහලට මාරු කළා.මේ පුද්ගලයාගේ බිරිඳට හා දරුවන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ තිබෙන නිසා ඒ අයත් මහනුවර ජාතික රෝහලේ විශේෂ ඒකකයට අතුළත්කර තිබෙනවා. මේ පුද්ගලයා වගකීම් විරහිතව කටයුතු කර තිබෙන බව පැහැදිලිව පේනවා. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණීමෙන් පසු ඔහු අකුරණට පැමිණ තිබෙන්නේ ටැක්සියකින්. ඒ රියදුරාට මේ වෛරසය ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවා. ඊට අමතරව ඔහු අකුරණ නගරයේ වෙළෙඳ සැල් කිහිපයකට හා බැංකුවට ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වුණා. මොහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාත් දැන් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ කාලය තුළ ඔහු ඇසුරු කළ පුද්ගලයින් 16 දෙනෙකු පිළිබඳ නිශ්චිත තොරතුරු අපිට තිබෙනවා. මේ පුද්ගලයා සමූහ වශයෙන් පිරිස් ගැවසුණු ස්ථාන වලට ගොස් තිබෙන නිසා නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි පිරිසකුත් සමාජයේ ඉන්නවා.ඒ නිසා තමයි මහනුවර දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් නොකර යළි දීර්ඝ කරන්න සිද්ධ වුණේ. අපි අපේ සමාජ වගකීම අමතක කරන්න හොඳ නැහැ.මේ පුද්ගලයාගේ ක්‍රියාව නිසා අද ඔහුත් ඔහුගේ පවුලත් පමණක් නොව ජීවත් වූ ගමත් දිස්ත්‍රික්කයත් රටත් අවධානමකට ලක්ව තිබෙනවා.“ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි.

“අදාළ පුද්ගලයා පදිංචිව සිටි තෙළඹුගහවත්තේ පදිංචි පවුල් 372 කට අයත් සමාජිකයින්ට නිවෙස් වලින් පවා පිටතට ඒමට නොහැකි තත්ත්වයක් ඇතිවන පරිදි එම ගම්මානය මුද්‍රා තැබීමට පොලීසිය පියවර ගෙන තිබේ. මෙයට අමතරව අකුරණ ගම්මානයට ඇතුළු වීම හා පිටවීම තහනම් කර තිබෙන්නේය. රෝගියා හමුවීමත් එක්ක අපිට මහනුවර ආරක්ෂාව තර කිරීමට සිදු වුණා. අකුරණ ප්‍රදේශයම වසා දැම්මා. මහනුවර යාපනය ඒ-9 මාර්ගය අකුරණ හරහා වැටි තිබෙන නිසා ඒ මාර්ගය අපි වසා දැම්මේ නැහැ. කිසිම වාහනයක් අකුරණ නගරයේ නවත්වන්න දෙන්නේ නැහැ. මේක ඉතා අවදානම් අවස්ථාවක්. රජය සෑම පියවරක්ම ගන්නේ ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලයි. ඒකට යම් කෙනෙක් සහයෝගය දෙන්නේ නැත්නම් ඒක විශාල වරදක්.ඒ අය සම්බන්ධයෙන් අපි නීතිමය පියවර ගන්නවා.“ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු පැවසුවේය.

ව්‍යාපාරිකයෙකු වන අකුරණ කොවීඩ්-19 ආසාධිතයා ගමන් ගත් ත්‍රිරෝද රථයක් මාර්ග බාධයකදී පොලීසිය විසින් පරීක්ෂාවට ලක්කර තිබේ. මෙයට අමතරව ඔහුගේ නිවසට වැටී ඇති මාර්ගය පිළිසකර කිරීමට පැමිණි කොන්ත්‍රාත්කරුවෙකු, පෙදරේරුවෙකු හා සහායකයෙකු හඳුනා ගෙන ඇත. ඖෂධ මිලට ගැනීමට ගිය ඖෂධ අළෙවි සැලේ සේවිකාව පිළිබඳ තොරතුරු පොලීසිය සතුය. ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවක ඔහු අකුරණ ගවමස් වෙළෙඳ සැල් දෙකකට ගොස් තිබේ. එහි සේවකයින් පිළිබඳ තොරතුරු ලැබී ඇතත් එම ස්ථානවල ගැවසුණු අනිකුත් පුද්ගලයින් සම්බන්ධව නිශ්චිත තොරතුරු නැත්තේය. සෞඛ්‍ය අංශ අද මුහුණ දී සිටින බරපතළම ගැටලුව වී තිබෙන්නේ එයයි.

“වගකීම් සහගත බවින් මිදී එක් පුද්ගලයෙකු කටයුතු කළොත් ජනතාව පත්වන අසීරුතාව මොන තරම්ද කියලා මේ සිද්ධියෙන් තේරුම් ගන්න පුළුවන්. මාධ්‍ය මගින් මොන තරම් දැනුවත් කළත් ඇතැම් පුද්ගලයින්ට මේකේ බරපතළකම තේරෙන්නේ නැහැ. මධ්‍යම පළාත් සති දෙකකට වඩා ආරක්ෂා කර ගැනීමට අපිට පුළුවන් වුණා. සියලු දෙනා දිවා රෑ නොබලා මේ වෙනුවෙන් කටයුතු කරනවා.මේ සිද්ධියත් එක්ක මහනුවර දිස්ත්‍රික්කයත් අවදානම් දිස්ත්‍රික්කයක් බවට නම් කර තිබෙනවා. ඇඳිරි නීතිය දීර්ඝ කිරීම ඇතුළු තීරණ ගණනාවක් ගනු ලැබුවේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටයි. රජය මොනතරම් තීන්දු තීරණ ගත්තත් වැඩක් නැහැ ජනතාවගේ සහය ඒකට නොලැබෙනවා නම්. විදේශගතව සිට මාර්තු 14 දාට පසු මෙරටට පැමිණි අයෙක් ඉන්නවා නම් ලඟම තියෙන පොලිස් ස්ථානයට හෝ සෞඛ්‍ය බලධාරීන්ට ඒ බව දැනුම් දෙන්න. ඔබ ඒ ගන්නා තීරණයෙන් රටක් අර්බුදයට ගමන් කිරීම වැළකෙනවා.“ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පැවසුවේය.

කොවීඩ් -19 අසාදිත පුද්ගලයාගේ බිරිඳ හා දරු දෙදෙනා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ පළමු පරීක්ෂණය මගින් ඔවුන්ට අදාළ වෛරසය ආසාධනය වී නොමැති බව හෙළිව තිබේ.එසේ වූ පමණින් ඔවුන් එම රෝගයට ගොදුරු නොවූ පුද්ගලයින් ලෙස සැලකිය නොහැකි බවත් තවත් දින කිහිපයකට පසු පරීක්ෂණයක් සිදුකර ඒ බව යළිත් තහවුරු කරගත යුතුව තිබෙන බවත් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක පවසයි.

Comments