වයිරසයට බය නොවූ රුසියාව | සිළුමිණ

වයිරසයට බය නොවූ රුසියාව

ජපානයත් ආරක්ෂිතයි

ආසියාවේ ඉතාලිය ඉන්දුනීසියාවද? මැලේසියාවද?

 

අමෙරිකාවේ ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවූ පසු, නිව්යෝර්ක් නගරයෙන් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වූ පසු ලෝකයේ ලොකුම බලවතාටද උපකාර ලැබිය යුතු වාතාරණයක් උදා විය. එහිදී අමෙරිකාවට උපකාර ලබා දිමට ඉදිරිපත් වූයේ කලක් අමෙරිකාවේ ලොකුම එදිරිවාදියා වූ රුසියාවයි. රුසියානු ආරක්ෂක අංශ සහ වෛද්‍ය උපකරණ සහිත ගුවන් යානයක් නිව්යෝර්ක් බලා පැමිණියේ එදා යුදපිටියේ පසමිතුරන් කොවිඩ් සතුරාට එරෙහිව එක් කඳවුරකට පැමිණෙමිනි.

අමෙරිකාවේ දීර්ඝ කාලීන මිතුරන් වුවද කිසිදු යුරෝපා රටකට මේ අවස්ථාවේදී අමෙරිකාවට උපකාර කළ නොහැකි වූයේ ඔවුන් සැමදෙනාම කෝවිඩ් සතුරා සමඟ සටන් වැද සිටින බැවිනි. ඉතිරිව සිටියේ රුසියාව පමණි. ලොව පුරා රටවල් රැසකට කොවිඩ් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රුසියාව ශක්තිමත්ව සිටීමට හැකියාව ලබා ගත්තේ කෙසේද? පැහැදිලිව පෙනී යන්නේ එහි රහස කල් තබා ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම බවය.

රුසියාවෙන් පළමුවැනි කොවිඩ් රෝගියා වර්තා වන්නේ පසුගිය ජනවාරි 31වැනිදාය. රුසියාව යනු චීනයේ අසල්වැසියාය. දෙරට වෙන් කරමින් අතිවිශාල දේශසීමා මායිමක් වේ. ජනවාරි සාමය අවසන් වෙමින් චීනය අති දරුණු ලෙස කොව්ඩ් රෝගීන් වාර්තා කරන විට රුසියාව කලේ ඉතා කඩිනමින් තම දේශසීමාව වසා දැමීමය. චීනය සමග දේශසිමා වසා දැමූ ප්‍රථම රටවල් අතරට රුසියාවද එක් වේ.

මාර්තු මස 2 වැනිදා ඉතාලිය ඉතා දරුණු කොවිඩ් වසංගත තත්ත්වයක් වාර්තා කරන විට රුසියාව වහාම ආරක්ෂක ක්‍රියාමාර්ග කරා ප්‍රවිශ්ට වූයේ පාසල් වසා දමමිනි. එපමණක්ද නොව සංගීත සහ නෘත්‍ය ශාලා වසා දැමීමටත් ක්‍රීඩා ඇතුළු සියලු උත්සව අවලංගු කිරීමටත් තම රටේ සියලු දේශසීමා වසා දැමීමටත් රුසියාව කටයුතු කළේය. එහෙත් ඒ හැර ආර්ථිකය අඩපන වන අන්දමේ රට වසා දැමීමක් කරා යෑමට රුසියාවට අවශ්‍ය වූයේ නැත. රුසියාව තුළ මේ වන විට කොවිඩ් රෝගීන් 3548ක් වාර්තා වී තිබේ. පසුගිය අප්‍රේල් 2 වැනිදා දක්වාකොව්ඩ් මරණ 30ක් වාර්තා වී ඇති බව එරට ‍ටාස් ප්‍රවෘත්ති සේවය පවසයි. එහෙත් රුසියාව මේ දක්වා කොව්ඩ් සම්බන්ධයෙන් බිය විය යුතු තත්ත්වයකට පැමිණ නැත.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් නිතර රෝග තත්ත්වය සම්බන්ධව රටේ අදාළ ක්ෂේත්‍රවල බලධාරීන් සමග සාකච්ඡාවලට එළඹෙමින් ක්ෂණික තීරණ ගැනීමට තත්ත්වය යහපත් අතට ගැනීමට තවත් අවස්ථාව උදා කර දෙමින් තිබේ. පසුගියදා ජනාධිපති පුටින් මොස්කව් නුවර කොව්ඩ් ආසාධිතයන්ගේ රෝහලේ සංචාරයකට එක්වූ අතර එහිදී එහු සමග කතාබහට එක්වූ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයෙකු වන ඩෙනිස් ප්‍රොට්සොන්කෝට වයිරසය ආසාදනය වී ඇති බව පසුව වාර්තා විය. මේ මේ සම්බන්ධව රුසියානු රජයේ පාර්ශ්වයෙන් අදහස් දක්වා තිබුණේ ජනාධිපති පුටින් දිනපතා කොවිඩ් පර්යේෂණයට ලක් කරන බවත් ඔහු නිරෝගීව සිටින බවත් පවසමිනි.මීට පෙර ඉතාලියටද වෛද්‍ය කණ්ඩායම් යැවීමට රුසියාව කටයුතු කර තිබිණි.

ජපානයද ආසියාවේ රටවල් අතර පමණක් නොව මුළු ලෝකයෙන්ම කෝවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දුන් රටකි. චීනයේ රෝගය වසංගත තත්ත්වයකට පැමිණෙන අවස්ථාව වන විට ජපානයද කොව්ඩ් පැතිරීමේ ගැටලුවට දැඩිව මුහුණ පෑවේය. රටතුළ වාර්තා වූ චීන සංචාරකයන් මෙන්ම, චීනයේ සංචාරය කළ ජපාන ජාතිකයන්ද, ජපානයේ නැංගුරම් ලෑ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවද ‍එලෙස ජපානය තුළ රෝගීන් වාර්තා කිරීමට සමත් විය. එහෙත් ජපානය මේ සියල්ල පාලනය කර ගැනීමට සමත් වූයේ පාසල් පමණක් වසා දමමිනි. එලෙස රෝගයට සාර්ථකව මුහුණ දීමට ජපානයට හැකියාව ලැබුණේ එරට ජනතාව සතු විනය නිසා බව පැහැදිලිය. සමාජ දුරස්ථකරණය පවත්වා ගත යුතු බව පැවසූ සැණින් ඔවුන් එම උපදෙස් පිළිපදිනු දැක ගත හැකි විය. ඒ සඳහා පොලීසිය යෙදවීමට අවශ්‍ය වූයේ නැත. අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක විය යුතු බව පැවසූ විට ජපාන ජනතාව එම උපදෙස්ද ඉතා හොඳින් අනුගමනය කළහ. ඒ හේතුවෙන් මේ වන විට ජපානය රෝගයද, ආර්ථිකයද ජයගෙන සිටින බව පැහැදිලිය.

එලෙස ආසියාවේ කොවිඩ් ජයගෙන සිටින රටවල් අතරම කොවිඩ් පැතිරයෑම හේතුවෙන් අර්බූදයට මුහුණ දී සිටින රටවල් ද වේ. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නේ මැලේසියාව සහ ඉන්දුනීසියාවයි. දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම, අධික ජනගහනය, කුඩා ප්‍රදේශයක විශාල ජනතාවක් වාසය කිරීම වැනි කරුණුද හේතුවෙන් මේ වන විට මේ දෙරට කොවිඩ් දැඩිව පැතිර යෑමේ අර්බූදයට මුහුණ පා සිටී. මේ වන විට ඉන්දුනීසියාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 1790කි. මියගිය සංඛ්‍යාව සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එය මේ වන විට 170කි. මැලේසියාවේ මේ ලියන මොහොත වන විට රෝගීන් 3116ක් වාර්තා වී ඇති අතර මිය ගිය සංඛ්‍යාව 45කි.

 

Comments