මුහුණට මුහුණ ගැටෙන කොවිඩ් - අමෙරිකා සටනේ ජය කාටද? | සිළුමිණ

මුහුණට මුහුණ ගැටෙන කොවිඩ් - අමෙරිකා සටනේ ජය කාටද?

කලක් අමෙරිකාව ලෝක පොලිස්කාරයා විය. ඉන්පසු අමෙරිකාව ලොව පුරා සටන් අවුලුවන්නා විය. ඇතැම් විට නිවන්නා ‍ගේ භූමිකාවටද ප්‍රවිශ්ට විය. ලොව ලොකුම ආර්ථිකයේ හිමිකාරයාද විය. විශාලතම හමුදාවේ හිමිකාරයාද විය. දේශපාලනික අරමුණු මත ක්‍රියාත්මක නොවුනේ නම් අමෙරිකාවට විනාශ කර දැමිය නොහැකි හමුදාවක් මෙලොව තවත් නොවීය. මේ දක්වා ලෝක යුද්ධ දෙකක් ඇති වී තිබුණද අමෙරිකානු භූමියේ සටන් ක්‍රියාක්මක වූයේ නැත. ඒ වෙනුවට අමෙරිකානු හමුදා වෙනත් රටවල සටන් බිම්වලට එක්විය. අවසන පරමාණු බෝම්බ ප්‍රහාර එල්ල කරමින් දෙවැනි ලෝක යුද්ධයට නැවතීමේ තිත තැබීමටද අමෙරිකාව ක්‍රියා කළේය.

දැන් ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකාව ස්වකීය භූමිය තුළ සතුරෙකුට මුහුණ දෙමින් සිටින්නේය. දැන් තම දක්ෂතා පෙන්වීමේ අවස්ථාව අමෙරිකාවට උදා වී තිබේ. එහෙත් කනගාටුවට කරුණ වන්නේ මේ දක්වා පැවති සටනෙන් ජයග්‍රහණය අමෙරිකාවට නොව වයිරසයට හිමිවි තිබීමය.

මේ ලියන මොහොත වන විට අමෙරිකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,40,000 පසු කරමින් වේගයෙන් ඉහළ යමින් පවතී. මරණ සංඛ්‍යාන 6000ට ඉතා ආසන්නය. ආසාදිතයන් අඛණ්ඩව වාර්තා වීම යනු මරණ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යෑමය. ඒ අනුව අමෙරිකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන බවට සැක නැත.

මේ වන ධවල මන්දිර කොවිඩ් මර්දන කමිටුව ප්‍රකාශ කර ඇති අන්දමට රට තුළ කොවිඩ් දරුණු ලෙස පැතිර යන ස්ථාන හෙවත් කොවිඩ් හොට් ස්පොට් කිහිපයක් හඳුනාගෙන ඇත. නිව්යෝර්ක් නගරය, මිචිගන්හි ඩෙට්රොයිට් නගරය, චිකාගෝ, නිව් ඔර්ලන්ස්, දකුණු ෆ්ලොරිඩාව යනාදී වශයෙන් ඔවුන් නම් කර ඇත්තේ මේ වන විට වැඩිම ආසාධිතයන් වාර්තා වී ඇති ප්‍රාන්ත සහ ප්‍රධාන නගර සීමාවන්ය.

මෙතෙක් කල් ආර්ථිකයේ ආරක්ෂාවට වැඩි ඉඩක් ලබා දෙමින් කටයුතු කළ අමෙරිකානු බලධාරීහු දැන් ජනතාවට ආරක්ෂක උපායමාර්ග ගැන වැඩි බරක් තබමින් උපදෙස් දීම අරඹා තිබේ. එහෙත් කිසිවිටෙකත් අමෙරිකාව සම්පූර්ණයෙන් වසා දමමින් වයිරසය සමග ගැටීමේ අදහසක් ඔවුන් සතු නොවන බවද පෙනේ.

මේ වන විටත් අමෙරිකාව තම දැවැන්ත හැකියාවන් උපයෝගී කර ගනිමින් වයිරසය මර්දනයට කටයුතු කරමින් සිටියද වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අනුව සපුරාලිය යුතු ඉලක්ක තවමත් පවතින්නේ ඔවුන්ට බොහෝ ඈතිනි. අනික් අතට අමෙරිකාව ලෝකයේ ලොකුම ධනවත් රාජ්‍යය ලෙස සෙසු ලෝකයා දුටු බොහෝ දර්ශන බොදව යමින් පවතින්නේ වයිරසය හමුවේ එයට මුහුණ දීමට නොහැකිව අසරණව පසුවන බොහෝ අමෙරිකානුවන්ගේ ජනජීවිතය හෙළිදරව් වීමෙනි.

උදාහරණයක් ලෙස නිව් ඕර්ලන්ස් ප්‍රාන්තයේ ඩෙට්රොයිට් නගරය දැක්විය හැකිය. මේ නගරයේ ඉතා විශාල සංඛ්‍යාවක් නිවාස අහිමි ජනතාව වේ. ඔවුන්ට වේගයෙන් රෝගය බෝ වී ඇති අතර ඔවුන්ට අවම නිවාස පහසුකම් හෝ නොපැවතීමෙන් ඔවුන් නගරයෙන් ඈත් කර තැබීමේ හෝ පුද්ගල දුරස්ථකරණය පවත්වා ගැනීමේ අපහසුතාවන්ට රජය මුහුණ දී තිබේ.

මේ වන විට අමෙරිකාව හෙවත් ලොව ශක්තිමත්ම සහ ධනවත්ම සෞඛ්‍ය සේවාව හිමි රට වයිරසයට මුහුණ දීම සදහා තම හමුදාවන් කැඳවා තිබේ. යුධමය අවස්ථාවන්හිදී යොදා ගන්නා අමෙරිකාව සතු විශාලතම රෝහල් නැව් ජනාධිපති අණින් නිව්යෝර්ක් නගරයට කැදවා තිබේ. එසේ වුවද එම එක් නෞකාවක් සතුවන්නේ ඇදන් 1000ක් පමණි. ලක්ෂ ගණනින් වාර්තා වන රෝගීන් සදහා සෞඛ්‍ය පහසුකම් සැපයීම අතින් මේ වන විට අමෙරිකාව පසුබෑමකට ලක්ව ඇති බව පැහැදිලි වේ. රෝගය පැතිර ගොස් ඇති අමෙරිකා නාවික හමුදාවේ නෞකා කිහිපයක්ද ඒ සදහා සෞඛ්‍ය පහසුකම් ඉල්ලා සිටි නමුත් ඔවුන්ට ලැබුණේ මුහුදේ සිටිමින් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස අණක් පමණි. නිව්යොර්ක් නගරයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල දරුණු ඇදන් හිගයකට මුහුණ දෙමින් සිටින අතර වැඩි වන ආසාධිතයන් සාපේක්ෂව රෝහල් ඇදන් සැපයීමට රජය අපොහොසත්ව සිටී. තවමත් රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් සිටින බැවින් තවත් සති දෙකක් හෝ තුනක් පුරා තම ජීවිත කැපකිරීමට අමෙරිකානුවන්ට සිදුවනු ඇති බව පෙනේ.

මේ බව ජනතාව හමුවේ ප්‍රකාශ කරමින් ජනාධිපති ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කර සිටියේ ‘ශෝකජනක සති දෙකක්’ ඉදිරියේදී ගෙවා දැමීමට අමෙරිකානු ජනතාවට සිදු වනු ඇති බවය. කෙසේවුවද මේ සියල්ල හමුවේ අමෙරිකානු ආර්ථිකය ක්‍රියාත්මකය. එය සැබවින්ම චීනය වයිරසය පැතිර යන අවස්ථාවේදී ක්‍රියාත්මක වූ අන්දමට සමානය. එහෙත් චීනයේ වූහාන් සහ හුබෙයි පළාතෙන් එපිට වයිරසය දරුණු ලෙස පැතීරී නොගිය බවද සිහිපත් කළ යුතුය. අමෙරිකාව මේ වන විටම එම වාසිය අහිමි කර ගෙන අවසන්ය.

ධවල මන්දිර ආරංචිමාර්ග පවසන්නේ සෑම දිනකම ජනාධිපති ට්‍රම්ප් ද වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂාවට ලක් වන නමුත් මේ දක්වා ඔහු නිරෝගීව පසුවන බවයි. තම ලෝක නායකත්වය ආරක්ෂා කර ගන්නා අතරම ආර්ථිකයද එලෙසින්ම පවත්වා ගනිමින්, ජනතාවගේ ජීවිත දිනකට දහසකින් පමණ අහිමිවන වාතාවරණයක් තුළ වයිරසයක් සමග සටන් වැදීම සැබවින්ම අමෙරිකාව එතෙක් මෙතක් මුහුණ දෙන දරුණුතම සහ අභියෝගාත්මක අත්දැකීම වන බවට නම් සැකයක් නැත.

Comments