මිනිසා අක්‍රිය වූ ලෝකයේ සොබාදහම ජයකෙහෙළි නංවයි | සිළුමිණ

මිනිසා අක්‍රිය වූ ලෝකයේ සොබාදහම ජයකෙහෙළි නංවයි

ඕසෝන් වියනත් යථා තත්ත්වයට!

කාබන් විමෝචනය අවමයි.

 

ලොව පුරා කොවිඩ් වයිරසය පැතිර යෑම හේතුවෙන් මේ වන විට ලෝකයේ රටවලින් අඩක් හෝ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත. බොහෝ රටවල් වසා දමා ඇති අතර බොහෝ රටවල ආර්ථිකය අක්‍රියව තිබේ. වයිරසය පැතිරීමට පෙර ලොව පුරා දිනකට ගමන් ගත් දහසකුත් එකක් ගුවන් ගමන් මේ වන විට නැවතී තිබේ. ක්‍රියාත්මක වන්නේ එයින් දශම ගණනක් පමණි. එලෙස ආර්ථිකයන් සහ මගී ප්‍රවාහනයද, භාණ්ඩ පරිවහනයද අඩපණ වී ඇති මොහොතක වඩාත් සක්‍රීය වෙමින් පවතින යමක්ද වේ. ඒ සොබාදහමයි.

මී‍ට පෙර තම අඛණ්ඩ ක්‍රියාදාමයේ ප්‍රතික්‍රියාවක් ලෙස මිනිසා විසින් සොබාදහම අක්‍රිය කර දමා තිබිණි. සොබාදහමෙන් පෘථිවියට ලැබුණු ඕසෝන් වියන වැනි ත්‍යාගයන්ද මිනිස් ක්‍රියාකාරකම් හමුවේ විනාශයට පත්වෙමින් පැවතිණි. එහෙත් කොවිඩ් වසංගතය හමුවේ නතරවූ ලෝකය යළි ප්‍රතිස්ථාපනය කිරීමට මේ වන විට සොබාදහම පියවර ගනිමින් සිටින බව දක්නට වේ යැයි පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙමින් සිටිති.

පසුගිය මාස දෙකක කාලයේදී චීනයේ පමණක් කාබන් විමෝචනය මෙට්‍රික් ටොන් 100කින් පහත වැටී ඇති බව තහවුරු වී තිබේ. චීනයේ වූහාන් නගරය පිහිටි හුබෙයි පළාතේ පිහිටි කර්මාන්ත ශාලාවල ක්‍රියාකාරීත්ව හේතුවෙන් අඛණ්ඩව විමෝචනය වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් හේතුවෙන් එම ප්‍රදේශයේ අහස අඳුරු පැහැ වලාවන්ගෙන් ආවරණය වී පැවතිණි. එහෙත් පසුගිය මාස කිහිපයේදී එම කර්මාන්තශාලා අක්‍රීයව පැවතීම හේතුවෙන් එම අඳුරු පැහැ වලා පහව ගොස් දීප්තිමත් අහසක් මතු වී තිබේ. සමස්ත චීනයේ ගල් අඟුරු භාවිතයද සියයට 35ක් දක්වා පහළ ගොස් ඇතැයි වාර්තා වේ. සමස්ත චීනයේම කර්මාන්තශාලාවල ක්‍රියාකාරීත්වය සියයට 40කින් පහළ යෑම මෙයට හේතු වන්නට ඇතැයි පැවසේ. එසේ නම් ඉදිරියේදී යුරෝපය සහ අමෙරිකාවද මෙයට එක්වීමෙන් පසු සමස්ත ලෝකයේ කාබන් විමෝචනය ගැන අලුත් සතුටුදායක වාර්තා අසන්නට ලැබෙනු නොඅනුමානය.

මීට අමතව ඛනිජ ඉන්ධන භාවිතයද අවම වීමෙන් ඛනිජ ඉන්ධන නිෂ්පාදනයද පහත වැටී තිබේ. වයිරසය පැතිර යෑමට පෙර නිෂ්පාදනය කරන ලද ඉන්ධන බැරල් මිලියන 87ක් මේ දක්වා නිෂ්පාදන අංගණවල පවතින බවද ඛනිජ තෙල් නිෂ්පාදනයට සියයට 5 -10ත් අතර ප්‍රමාණයක් ගෙන ඇති බවද වාර්තා වේ.

මීට අමතරව චන්ද්‍රිකා ඡායාරූපවලින් තහවුරු කර ඇත්තේ මීට පෙර ඕස්ට්‍රේලියා මහාද්වීපයේ තස්මේනියාවට ඉහළන් පැවති ඕසෝන් වියනේ දැවැන්ත සිදුරද යළිත් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින බවයි.

Comments