මිනිස් - වයිරස් යුද්ධයෙන් තවමත් මිනිසා පරාදයි | සිළුමිණ

මිනිස් - වයිරස් යුද්ධයෙන් තවමත් මිනිසා පරාදයි

ඉතාලියෙන් ලැබෙන වාර්තා අසත්‍ය  විය හැකියි

ස්පාඤ්ඤයේ තත්ත්වය කනගාටුදායකයි

දකුණු කොරියාවෙන් සතුටුදායක වාර්තා

කොවිඩ් මර්දනය කිරීමට තවමත් ලොව කිසිම රටක් එන්තක් හෝ ඖෂධයක් සොයා ගැනීමට සමත් වී නැත. වයිරසය තවමත් නිදහසේ ලොව පුරා පැතිරෙමින් තිබේ. ලොව පුරා සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව දස ලක්ෂය හෙවත් මිලියනය ඉක්මවීම පසුගිය 2වැනිදා වාර්තා වූ අතර එදිනම සමස්ත මරණ සංඛ්‍යාව 51,000 ඉක්මවූ බවට වන කනගාටුදායක පුවත ලෝකවාසීන්ට අසන්නට ලැබිණි.

යුරෝපා මහාද්වීපයේ රටවල් වැඩි සංඛ්‍යාවක් වයිරසයෙන් තවමත් බැට කමින් සිටියද මේ සතිය වන විට වයිරසයේ ප්‍රධාන මධ්‍ය ලක්ෂය හෙවත් එපිසෙන්ටරය බවට අමෙරිකාව පත්විය. ඒ දැනට එක් රටකින් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාව වාර්තා කරමිනි. එහෙත් තවමත් එක් රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉතාලියෙනි.

පසුගිය අප්‍රේල් 2වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට ඉතාලිය කොවිඩ් පැතිරීමේ උච්චතම අවස්ථාව පසු කළේයැයි සිතිය හැකි ලකුණු පහළ වී ඇති බවට පුවත් දැක ගත හැකි විය. එහෙත් මේ ලියන මොහොත දක්වා ඉතාලියෙන් වාර්තා වන ආසාධිතයන්ගේ සංඛ්‍යාවේ හෝ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දැකගැනීමට හැකිවී නැත. මේ ලියන මොහොත වන විට ඉතාලියෙන් පමණක් කොවිඩ් ආසාදිතයන් 1,15,242ක් සහ පුද්ගල මරණ 13,915ක් වාර්තා වී තිබේ. මරණ සංඛ්‍යාව අඩු වීමට නම් ආසාදිතයන් සංඛ්‍යාව අඩු විය යුතු වන නමුත් මේ දක්වා ඉතාලියෙන් දිනකට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවේ අඩුවීමක් වාර්තා වී නැත.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර සිටින්නේ ඉතාලියෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව සම්බන්ධ වාර්තා අසත්‍ය විය හැකි බවයි. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇතැම් පුද්ගලයන් කොවිඩ් ආසාදනය වුවද රෝහල් ගත නොවීමයි. රෝහල්වල ඇති අධික තදබදය එයට හේතුව වී තිබේ. මෙවැනි පුද්ගලයන් සංඛ්‍යා ලේඛණවලට ඇතුළත් නොවන අතර එවැනි පුද්ගලයන්ගේ මරණද කොවිඩ් මරණ අතරට ගණනය නොවේ. ඒඅනුව ඉතාලියේ සැබෑ මරණ සහ ආසාධිතයන්ගේ සංඛ්‍යාව මෙයට වඩා වැඩි විය යුතු බවට අදහසක් මතු වී තිබේ.

ඉතාලිය මෙන්ම ඛේදවාචකයක් වාර්තා කරන අසල්වැසි ස්පාඤ්ඤය ද මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාවෙන් ඉතාලිය ආසන්නට පැමිණ තිබේ. මේ ලියන මොහොත වන විට ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 1,10,238කි. මරණ සංඛ්‍යාව 10,096කි. මේ වන විට සමස්ත සංඛ්‍යා ලේඛන අනුව එක් දිනකදී ලොවපුරා කොවිඩ් ආසාදිතයන් ලක්ෂයකට වැඩියෙන් වාර්තා වන අතර එක් දිනකදී එනම් පැය විසිහතරකදී ලොව පුරා කොවිඩ් මරණ දහස ඉක්මවා වාර්තා වේ. ඒ අනුව තවත් පැය කිහිපයකින් මේ දත්ත වාර්තා කල් ඉකුත් වනු ඇත.

ස්පාඤ්ඤයේ සමස්ත සෞඛ්‍ය සේවකයන්ගෙන් සියයට 8ක් මේ වන විට රෝගයට ගොදුරු වී ඇති අතර මේ වන විට එරට කොවිඩ් මරණ අනුපාතය සියයට 16.5කි. ස්පාඤ්ඤයට මෙවැනි ඉරණමක් අත්වීමට හේතුව ලෙස වයිරසය පැතිරීමේදී එය බැරූරුම්ව නොසැලකීම, රට වසාදැමූවද ජනතාව එම නීතිරීති පිළිනොපැදීම සහ අවම රෝග ලක්ෂණ ඇතිවන විට ජනතාව රෝහල් ගතවීමට කටයුතු නොකිරීම වැනි හේතු දැක්විය හැකිය. එමෙන්ම මැඩ්‍රිඩ් වැනි නගර අධික ජනගණත්වයෙන් යුක්ත වීමද වයිරසය පැතිරීමට හේතු වී තිබේ.

මේ අතර චීනයෙන් ස්පාඤ්ඤයට ලබා දුන් කොවිඩ් පර්යේෂණ කට්ටල තොගයක් ස්පාඤ්ඤය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ එම කට්ටලවල පර්යේෂණ නිරවද්‍යතාව සියයට 30ක් තරම් අවම මට්ටමක පැවතීමයි.

සමස්ත යුරෝපය මේ වන විට කොවිඩ් වයිරසය හේතුවෙන් දැවැන්ත අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර මහා ආර්ථිකයන් කඩා වැටෙමින් තිබේ. බොහෝ රටවල් මේ වන විට දරණ එකම උත්සාහය වන්නේ තම ජනතාවගේ ජීවිත බේරා ගැනීමටය. ජර්මනිය වඩා විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා නොකළද ආසාධිතයන් සංඛ්‍යාවෙන් චීනය ඉක්මවා තිබේ. මේ මොහොත වන විට ජර්මනියෙන් වාර්තා වන සමස්ත ආසාතියන් සංඛ්‍යාව 84,600කි. එහෙත් වාසනාවකට මෙන් ජර්මනියෙන් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව දහසක් පමණ වේ.

සෙසු යුරෝපා රටවල් සමග තරගයටට මෙන් ආසාධිතයන් වාර්තා කරමින් සිටින ප්‍රංශයද ආසාධිතයන් 60,000ක සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබේ. ඒ හැර ආරම්භයේ සිටම නිසි පරිදි කොවිඩ් පර්යේෂණ සිදු නොකළ මහා බ්‍රිතාන්‍යද මේ වන විට ආසාදිතයන් 34,000ක් තම රට තුළ සිටින බව පවසා තිබේ. පසුගිය සතියේදී කොවිඩ් ආසාදනය වූ බව පැවසූ චාල්ස් කුමරා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවටද වාර්තා වී තිබේ. එය ඇතැම් විට එරට ජනතාවගේ මානසිකත්වය වර්ධනය කිරීමේ අදහසින් කරන ලද ප්‍රචාරයක් වීමට වුවද ඉඩ තිබේ. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය බලධාරීන් සෑම විටම කොවිඩ් යනු හුදෙක් කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සහිත සරල රෝගයක් ලෙස හුවා දැක්වීමට උපරිමයෙන් උත්සාහ දැරීය.

යුරෝපා මහාද්වීපයේ අසල්වැසි රටවල් වුවද ඩෙන්මාර්කය, නෝර්වේ, පෘතුගාලය, ස්වීඩනය වැනි රටවල්ද එතරම් භයානක වාර්තා පෙන්වන්නේ නැත. උදාහරණයක් ලෙස ස්පාඤ්ඤයේ අසල්වැසි රට වුවද පෘතුගාලයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 9,034ක් පමණි. කොව්ඩ් වයිරසය චීනයෙන් බැහැරව ලොව පුරා පැතීරම ආරම්භ වූ අවස්ථාවේදී ඉතා දරුණු ලෙස පැතිරීම වාර්තා කර රටවල් තුනෙන් එකක් වූ දකුණු කොරියාව මේ වන විට මුළු ලොවටම ආදර්ශයක් දීමට සමත්ව තිබේ. මේ වන වට එරට රෝගය සම්පූර්නයෙන්ම පාලනය කර ඇති අතර මේ දක්වා එරටින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 9,976කි. මරණ 169ක් වන අතර මේ දක්වා රෝගීන් 5,828ත් සම්පූර්ණයෙන් සුවපත් කිරීමට දකුණු කොරියානු සෞඛ්‍ය අංශ සමත් ව තිබේ.

කෙසේ වුවද නැගෙනහිර සහ ගිනිකොන දිග ආසියාවේ බොහෝ රටවල් වයිරසයේ ව්‍යප්තිය මධ්‍යයේ වුවද තවමත් ක්‍රියාත්මක වෙමින් තිබේ. දකුණු අමෙරිකාවට, කැනඩාවට සහ අප්‍රිකාවටද, මැද පෙරදිග ඇතැම් රටවලටද, මධ්‍යදරණී කලාපයේ ඊශ්‍රායෙල් ප්‍රමුඛ ඇතැම් රටවලටද කොවිඩ් තවමත් ප්‍රබල බලපෑමක් කිරීමට සමත්ව නැත.

‍එහෙත් මේ ලියන අවස්ථාව වන විටත් වයිරසය පාලනය කිරීමේ කිසිදු නිශ්චිත ක්‍රමවේදයක් මිනිසා විසින් සොයගෙන නොමැත.

Comments