බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන් වසා නොදමන්නේ ඇයි? | සිළුමිණ

බ්‍රිතාන්‍යය සම්පූර්ණයෙන් වසා නොදමන්නේ ඇයි?

කොවිඩ් -19 ලොව පුරා පැතිර යන විට ඒ සඳහා විවිධ රටවල් මුහුණ දුන්නේ විවිධාකරයෙනි. ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් රෝගීන් අවමයෙන් වාර්තාවන විටම මුළු රටම වසා දමමින් එයට ආරම්භයේ සිට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් ශක්තිමත් වූයේ තම රටේ තරම දන්නා බැවිනි. සැබවින්ම ලෝකයේ රටවල් වැඩිහරියක් එලෙස තම ජනතාවට ‍රෝගය බෝ වීමෙන් ආරක්ෂා වීමට කටයුතු කරන විට බ්‍රිතාන්‍ය ඇතුළු තවත් රටවල් සුළු සංඛ්‍යාවක් වෙනස්ම ක්‍රමයකට රෝගය මුහුණ දෙන්නට වූහ. එහිදී ඔවුන් රට ලොක්ඩවුන් කිරීමක් කිසිසේත්ම නොකළ අතර සාමාන්‍ය ජනජීවිතය ගෙන යෑමට ජනතාවට අනුබල දුන්හ. බ්‍රිතාන්‍ය මෙහිදී කටයුතු කළ අන්දම විමසා බලන විට තම අසල්වැසි රටවල් කෝවිඩ් හේතුවෙන් බිමටම සමතලා වන විට දැඩි ආරක්ෂක පියවර ගනිමින් රෝගය වළක්වා ගැනීමට බ්‍රිතාන්‍යයට ඕනෑතරම් කාලවේලා තිබිණ. එහෙත් බ්‍රිතාන්‍ය කළේ වයිරසයට තම රටට ප්‍රවිශ්ට වීමට ඉඩහැරීමයි. එමගින් තම රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට රෝගය ආසාදනය වීමෙන් ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මියයෑමටත්, ඉතිරි පිරිස ආරක්ෂා වීමත් අපේක්ෂාව විය. මෙය ඇතැම් රෝගවලින් ආරක්ෂා වීමේ එක්තරා ක්‍රමවේදයකි. එය රංචු ප්‍රතිශක්තතාව හෙවත් (Herd Imunity) යනුවෙන් හැඳින්වේ.

බ්‍රිතාත්‍ය මුල සිටම කෝවිඩ් - 19 සම්බන්ධයෙන් තම ජනතාවට රංචු ප්‍රතිශක්තතාව ඇති කිරීමට තීරණය කර සිටි බව පැහැදිලි වේ. මේ දක්වා බ්‍රිතාන්‍ය කිසිදු අන්දමකින් වසා දමා නැති අතර ජනතාව සමාන්‍ය ජනජීවිතය ගත කරමින් සිටිති. ලන්ඩනය ඇතුළුව කිසිදු නගරයක් වසා දමා නැති අතර ගුවන් ගමන්ද සාමාන්‍ය පරිදි සිදු වේ. එහෙත් අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා ඒකරාශී වීම පමණක් වළක්වන නීති පනවා ඇති අතර ඒ හේතුවෙන් අවන්හල්, පාසල්,රාත්‍රී සමාජ ශාලා, රූපලාවණ්‍ය ස්ථාන යනාදිය පමණක් වසා දමා තිබේ. උද්‍යාන, සුපිරි වෙළෙදසැල් ඇතුළු සාමාන්‍ය ජනජීවිතයට අවශ්‍ය කරන බොහෝ කටයුතු එලෙසින්ම බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක වේ.

රෝගය බෝ වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන්ගේ බිය තුරන් කිරීමට රජය මුල සිටම කටයුතු කිරීමට උත්සාහ කළ බවක්ද පෙනේ. රෝගය හුදෙක් සෙම්ප්‍රතිශ්‍යාවක් පමණක් ඇති කරන බවත්, එයට බිය විය යුතු නැති බවත් රජය බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර තිබිණි. ඇතැම් විට එරට ප්‍රධානීන් වන චාල්ස් කුමරු සහ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ද රෝගයට ගොදුරු වූ බව පැවසීමද මේ ජනතාව දිරිමත් කිරීමේ එක් වැඩපිළිවෙළක් වුවද වීමට ඉඩ තිබේ. කෙසේ වුවද ආරම්භයේ සිටම බ්‍රිතාන්‍ය ‍කෝවිඩ් රෝගීන් නිසි පරිදි ගණනය කිරීමක් කළේ නැති බව නම් පැහැදිලිය. රංචු ප්‍රතිශක්තතාව ඇතිවීමට ජනගහනයෙන් සියයට 60කට රෝගය බෝ විය යුතු බව රජය ප්‍රකාශ කර තිබුණද එරට ප්‍රධාන විද්‍යා උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වැලෙන්ස් පවසා සිටියේ එය සියයට 70ක්වත් විය යුතු බවයි. මෙතරම් ප්‍රතිශතයකට රෝගය බෝ වීමෙන් පසු කෙතරම් පිරිසක් දිවි බේරාගැනීමට හැකිවේදැයි තමා නොදන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. කෙසේවුවද රජයේ මේ තීරණය සම්බන්ධව ආරම්භයේ සිටම එරට වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් කැමැත්තක් නොදැක්වූ බව පැහැදිලිය.

මේ වන විටත් බ්‍රිතාන්‍ය ජනතාව සාමාන්‍ය ජනජීවිතය ගත කරමින් සිටියද පර්යේෂණ මගින් තහවුරු කළ කෝවිඩි ආසාධිතයන් 40000කට ආසන්න සංඛ්‍යාවක් එරටින් වාර්තා වී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී අනතුරු සංඥා එළි දල්වමින් බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පවසා සිටියේ බ්‍රිතන්‍යයේ කෝවිඩ් මරණ අනුපාතය සියයට 31ක් වී ඇති බවය. එය ඉතා බියකරු අත්දැකීමක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

දියුණු සෞඛ්‍ය ක්ෂේත්‍රයක් සහ දුර දක්නා දේශපාලන නුවණකින්ද යුක්ත වුවද රටවැසියන් මරණය කර ගෙනයෑමට බ්‍රිතාන්‍ය පාලකයන් කටයුතු කළේ මන්දැයි අනාගතය නිශ්චිතව පවසනු ඇත. එතෙක් අපට සිතිය හැකි වන්නේ ඇතැම්විට ලෝක නායකත්ව බල අරගලයේදී තමතමන්ගේ ස්ථානය රැක ගැනීම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට වඩා වැදගත් යැයි සිතන පාලකයන්ද සිටිනු ඇති බවය.

 

Comments