කොවිඩ් හේතුවෙන් පාඩු ලැබූ සමාගම් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට එක්වේ | සිළුමිණ

කොවිඩ් හේතුවෙන් පාඩු ලැබූ සමාගම් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට එක්වේ

ව්‍යාපාර ලෝකය යනු කඩු තුඩු මත ඇවිදීමටත් දැලි පිහියෙන් කිරී කෑමටත් හැකියාව ඇති පුද්ගලයන්ගේ තෝතැන්නකි. ඕනෑම වාතාවරණයක් යටතේ තමන්ගේ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යෑම සාර්ථක ව්‍යාපාරිකයකු‍ගේ ලක්ෂණයක් වේ. මේ වන විට කෝවිඩ් වසංගතය හමුවේ ලොව පුරා දහස් ගණනින් ව්‍යාපාර පාඩු ලබද්දී ඇතැම් ව්‍යාපාර සාර්ථකව තම පීල්ල මාරු කරමින් පැවතිය හැකි පමණක් නොව ලාබද ලැබිය හැකි නිෂ්පාදනවලට එළඹීම ගැන පුවත් අසන්නට ලැබෙමින් තිබේ.

විශේෂයෙන්ම පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී චීනයේ ව්‍යාපාර කොවිඩ් පැතිරීම නිසා බිඳ වැටෙද්දී බොහෝ චීන සමාගම් අලෙවි කර ගත නොහැකි තම නිෂ්පාදන වෙනුවට වෛද්‍ය උපකරණ නිපදවීමට කටයුතු කරණු දැකගත හැකිවිය. ඒ අතරින්ද ප්‍රධාන වූයේ මේ වන විට මුළු ලොවපුරා දරුණු හිඟයක් පවතින මුඛ ආවරණ වේ. පසුව ‍වයිරසය ලෝකය පුරා පැතිර යන විට ලොව පුරා බොහෝ සමාගම් තම සාමාන්‍ය නිෂ්පාදන නවතමින් වයිරසය මැඬලීම පිණිස වෛද්‍ය ක්‍ෂේත්‍රයේ හිඟපාඩුව පැවති උපකරණ නිපදවීමට එක් විය. එය කරුණු දෙකකින් මේ අවස්ථාවේදී වාසිදායක විය. එක, එලෙස තම සාමාන්‍ය නිෂ්පාදන නවතා ඉල්ලුම වැඩි නිෂ්පාදන නිපදවීමෙන් තම ව්‍යාපාර පාඩුවකින් තොරව පවත්වාගෙන යෑමට හැකිවීමය. එමගින් තම සේවකයන්ට නොකඩවා වැටුප් ගෙවීමට සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නොනැසී පැවතීමට හැකිවීමය. අනෙක් කරුණ නම් පීඩාකරී අවස්ථාවකදී තම රටට ‍සේවයක් කිරීමට හැකියාව ලැබීමය.

මේ වන විට අමෙරිකාවද කොවිඩ් වංසගතය හේතුවෙන් පීඩවාඳිමින් සිටින අතර අමෙරිකාවේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් උපකරණවල දරුණු හිඟයක් පවතින බව වාර්තා වේ. මේ අතර එරට ඇතැම් ව්‍යාපාරික ආයතන පවතින තත්ත්වය හමුවේ පාඩු ලබමින් සිටින අතර තවත් ව්‍යාපාරික ආයතන ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලබා දිය හැකි ලෙස තම නිෂ්පාදන වෙනස් කරමින් සිටිති. ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස අමෙරිකාවේ යුනයිටඩ් ටෙක්නොලොජීස් සහ හනිවෙල් යනාදී සමාගම් දැක්විය හැකිය. මේ අතරින් යුනයිටඩ් ටෙක්නොලොජීස් සමාගම වර්ෂ 1950 සිට ගුවන් යානා සඳහා අ‍මතර කොටස් නිපදවීමෙන් ලොවම ජය්‍රහණය කළ සමාගමකි. මේ වන විට ලොවපුරා ගුවන් ගමන් නවතා දමා ඇති වාතාරණයක් තුළ යානා සඳහා අමතර කොටස් නිපදවීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබේ. ඒ හේතුවෙන් තම සාමාන්‍ය නිෂ්පාදන නවතා දැමූ යුනයිටඩ් ටෙක්නොලොජීස් සමාගම මේ වන විට N95 මුඛ ආවරණ නිපදවීම ආරම්භ කර තිබේ. ඔවුන්ට සපුරාලිය නොහැකි ඉල්ලුමක් මේ වන විටද ඔවුන් වෙත ලැබෙමින් පවතින අතර ඔවුන් අලුතෙන් සේවකයන් 500ක් ද ඒ සඳහා තම ආයතනයට බඳවාගෙන තිබේ. සතියක් ඇතුළත තම නිෂ්පාදන ප්‍රමාණය පස් ගුණයකින් වර්ධනය කිරීම තම අරමුණ බව යුනයිටඩ් ටෙක්නොලොජීස් සමාගම පවසා තිබේ.

අමෙරිකාව තුළ යට ඇඳුම්, රාත්‍රී ඇඳුම් සහ ක්‍රීඩා ඇඳුම් නිපදවීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මයිපිලෝ සමාගමද මේ වන විට කපු මුඛ ආවරණ නිෂ්පාදනයට එක්ව තිබේ.

 

Comments