සෞඛ්‍ය වියදම් ආවරණය කිරීමට ආර්පිකෝ ඉන්ෂුවරන්ස් ඉදිරිපත් වෙයි | සිළුමිණ

සෞඛ්‍ය වියදම් ආවරණය කිරීමට ආර්පිකෝ ඉන්ෂුවරන්ස් ඉදිරිපත් වෙයි

කොරොනා වසංගතය අභිමුව ලෝකයේ අනෙකුත් බොහෝ රටවල් මෙන්ම දැවැන්ත අභියෝගයන්ට ශ්‍රී ලංකාවද මුහුණ දී සිටී. මේ වැදගත් මොහොතේදී සෞඛ්‍ය වියදම් ආවරණය කිරීමට ඉදිරිපත් වන බව ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම සිය ජීවිත රක්ෂණාවරණ හිමියන්ට දන්වා සිටී. ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම මෙරට විශාලතම සහ කීර්තිමත්ම සමාගම් සමූහයක් වන රිචඩ් පීරිස් සහ සමාගමට පූර්ණ වශයෙන් අනුබද්ධිත සමාගමකි.

සාමාන්‍ය ක්‍රමය යටතේ මෙවැනි ගෝලීය වසංගත සඳහා හිමිකම් වන්දි ලබා නොදෙන නමුත් මෙම දුෂ්කර කාලයේදී සෑම පුද්ගලයෙකුගේම යහපත් සෞඛ්‍යය සහ යහපැවැත්ම සහතික කිරීම සිය වගකීමක් සහ යුතුකමක් බව ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගම විශ්වාස කරයි. සියලු ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යතාව දැඩිව දැනෙන මේ මොහොතේදී උපකාරයට ඉදිරිපත් විය යුතුය යන රිචඩ් පීරිස් සමූහයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ දැක්මට අනුව ගනු ලැබූ මෙම තීරණය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගමට හැකි වූයේ සමාගම සතු ශක්තිමත් ප්‍රතිරක්ෂණ සහාය හේතුවෙනි.

ආර්පිකෝ ඉන්ෂුවරන්ස් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ ද අල්විස් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය “මේ අවස්ථාවේදී අපි රටක් වශයෙන් මුහුණ දී සිටින්නේ මින් පෙර අත්විඳ නැති වෙනස්ම ආකාරයේ අභියෝගයකට. නව කොරොනා වයිරසය නිසා සෘජුව හෝ වක්‍රව බලපෑම් සිදු වී ඇති සියලු දෙනා පිළිබඳව අපි නිරන්තරව සිහිපත් කරනවා. මේ අවස්ථාවේදී රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිබඳව අපි ඉතා විමසිල්ලෙන් පසු වෙනවා. ප්‍රජාවක් ලෙස ශක්තිමත්ව මෙම ව්‍යසනයෙන් මිදීමට පෞදගලිකව තම තමන් ගත යුතු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස අපි සියලු‍ දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ ඔබවම සහ ඔබ අවට සිටින සියල්ලන්ම ශාරීරිකව හා මානසිකව රැකබලා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ අපේ ඉවසීම, අවබෝධය හා දයානුකම්පාව උරගා බලන සමයක් බව මතක තබා ගත යුතුයි”

Comments