සමාජීය විනයක් ඇති කළොත් ව්‍යසනයෙන් ගොඩ ආ හැකියි | සිළුමිණ

සමාජීය විනයක් ඇති කළොත් ව්‍යසනයෙන් ගොඩ ආ හැකියි

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී

"අද අප ඉදිරියේ මේ තිබෙන්නෙ අපට හුරු පුරුදු අර්බුදයක් නෙමෙයි. මෙය ලෝක ව්‍යාප්ත අර්බුදයක්. අපේ ජීවිත කාලය තුළ අප යුද්ධයට මුහුණ දුන්නා. සුනාමියට මුහුණ දුන්නා. පාස්කු අර්බුදයකට මුහුණ දුන්නා. ඒ හැම අවස්ථාවකම රටක් හැටියට අප හුදකලා වුණේ නෑ. ඒ සෑම ව්‍යසනයකදීම විදේශ රටවල් වහාම මැදිහත් වී ප්‍රතිපාදන ලබා දුන්නා. දැන් ලොවම තිබෙන්නේ අර්බුදයක.ඒ නිසා මේ ව්‍යසනයේදී එහෙම වෙන්නේ නෑ. මේක මහා දුර්භික්ෂයක ආරම්භයක්. ඉතිහාසය ගත්තත් වසංගත ඇතිවුණු හැම තැනම වසංගතයත් එක්ක එන්නේ දුර්භික්ෂය. රටක් ලෙස අපට දුර්භික්ෂයකට මුහුණ දෙන්න වෙලා. නමුත් මෙම සමාජ කාරණයට අප සාමාජිකයින් ලෙස මුහුණ දෙමින් ඒ නීති රිති වලට එකඟ ඉදිරියට ගියහොත් අපට මෙම ව්‍යසනයෙන් ජය ගත හැකියි"

මේ ...ජැක්සන් ඇන්තනී නම් වූ කෘතහස්ත කලා කරුවා මේ ලොව වසා ගනිමින් තිබෙන කොවිඩ් 19 අඳුරු කාල පරිච්චේදය ගැන දරන්නේ එවන් අදහසකි.

මේ අඳුරු කාල පරිච්චේදය ඔබව මෙන්ම බොහෝ පිරිසක් යම් මානසික අර්බුදයකට ඇද දමා තිබෙනවා?

කලාකරුවන් ලෙස දැන් අපේ මානසිකත්වය පවා හරිම අවුල්. හරිම ඍණාත්මකයි. පසුගාමීයි. මේ අර්බුදය ආරම්භ වූ සැනින්ම මම විශාල ව්‍යසනයකට ලක් වුණා. මේ මාසේ මුල් සතියේ සිටයි මගේ නවතම චිත්‍රපටය, 'එකගෙයි සොකරි' ප්‍රදර්ශනයට පෙළ ගස්වා තිබු‌ණේ. නමුත් මේ වනවිට ඒ සියල්ල හමාරයි. පෞද්ගලිකව මමත් දැන් පසු වෙන්නේ දැඩි පීඩනයක. චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන කාලවකවානුවක්, මේ අර්බුදයෙන් මිදෙන කාලයක්, මේ අර්බුදයෙන් මිදුණත් නැවත චිත්‍රපට ශාලාවකට ප්‍රේක්ෂකයන්ට කවදා එන්න හිතේවිදැයි යන විසඳා ගන්න බැරි සංකීර්ණයක් අප ඉදිරියෙ ඉතිරි වෙලා.

ඒ අවිනිශ්චිත බය ඔබේ නිර්මාණකරණයට බාධකයක් නොවේද?

මේ ලෝක ව්‍යසනයෙන් මේ සිනමාකරුවා, ප්‍රේක්ෂකයා මිදෙන්නෙ කවදාද යන ඒ අවිනිශ්චිත බිය හිතේ තියාගෙන මට මේ විවේකය නිර්මාණ ක්ෂේත්‍රකයට යොමු කරවන්න බෑ. මම ලේඛකයෙක්. මේ විවේකය ලේඛකයකුට ඉතා හොඳ අවස්ථාවක් . මගේ 'කන්ද උඩ ගින්දර' නවකතාව එළි දක්වා මාස තුනක් යන්නටත් මත්තෙන් තුන්වෙන වරටත් මුද්‍රණය වුණා. මම එය පෙළගස්වා තිබුණේ තුන් ඈදුතු නවකතාවක් විදිහටයි. එනිසාම 'සෙංකඩගල ගින්දර' නවකතාවට මම මුල පුරලා තිබුණෙ. මේ ඇඳිරිනීතිය පැනවූ සැනින් මම හිතන් හිටියේ මේ නවකාතව ලියනවා කියලයි. ඒත් එක වාක්‍යක් හෝ මේ චවස් ටිකට මා අතින් ලියැවිලා නැහැ. එහෙම නිර්මාණශීලී වැඩකට මනසක් නෑ. මට හිතෙන්නෙම මහ අසුභ අන්ධකාර දේවල්. මම ෆැන්ටසි ආටිස්ට් කෙනෙක්.

මම ඛේදාන්ත හැදෑරුවත් එවැනි තේමාවකින් නිර්මාණයක් කරන්න මම කැමැති නෑ. මිනිස්සුන්ට ධනාත්මක මානසිකත්වයක් ඇති කරන නිර්මාණ බිහි කිරීමයි මගේ කැමැත්ත. නමුත් දැන් එහෙම දේකට මනස යොදවන්න අපහසුයි. හතර අතින් ඇහෙන්නෙ ප්‍රවෘත්ති... ඒ හැම ප්‍රවෘත්තියතම කිසිම සුබවාදයක් නැති ඛේදවාචක. ජීවිත අවිනිශ්චිත වෙලා. මේ දවස් වල මම සියලු නිර්මාණ කටයුතු වලින් ඉවත් වී සොයන්නේ, කියවන්නෙම මේ ඛේදවාචකය ගැන පමණයි.

මේ ව්‍යසනය නිසා ඇති වී තිබෙන මානසික පීඩන‌යෙන් මිදීමට යම් ධනාත්මක ප්‍රවේෂයක් තිබිය යුතු නොවේද?

මගෙ කියවීම එයට තරමක් වෙනස්. මගේ මේ ප්‍රකාශනය අනාගත සුබවාදයක් සඳහාමයි. මම කියන්නෙ වැතිරිලා අසුබවාදීව ඉන්න නෙවෙයි.

මේ මොහොතේ භ්‍රාන්තියක ඉන්නවා නම් එයින් උපන් තැතිගැන්ම ගැනම හිතන්න. රෝග වාහයකන් ගැන හැම තිස්සෙම සැක කරන්න, බය වෙන්න. සැකය දුර්ගුණයක් තමයි.

නමුත් මේ වෙලාවෙ ඒ දුර්ගුණයෙන් ප්‍රයෝජනයක් ගන්න. අපි සැක කළොත් අපේ පරෙස්සම හොඳ වෙනවා. මගේ අහල පහළම මේ විෂබීජය තිබෙනවා, මම තබන පියවරක් පාසා මේ විෂබීජය එන්න පුළුවන්, ඒ නිසා මා පරෙස්සම් විය යුතු යැයි සිතමින් එයට පිළියම් යෙදුවෝත් අපටම පුළුවන් වේවි අපේ ආරක්ෂාව ගොඩනගා ගන්න. ඒ නිසා මේ මොහොතේ බයට නීති ගරුක නොවී තමන්ම තමාට නීති පණවා ගන්න. මේ ක්‍රියාවලිය නිසා අවසානයේදි ආතතිය හැදෙන්න පුළුවන්. නමුත් ඒ ආතතියෙන් සමාජය බේරා ගන්න අනාගතයේ දී කලාකරුවන්ට යමක් කරන්න පුලුවන්.

මේ පැවැත්ම සම්බන්ධව මගේ අත්දැකීමක් කියන්නම්. වර්ෂ 2007 දී මම ගියා ලෙසතෝ කියන ලෝකයේ තිබෙන ඉතාම දිළිඳු රාජ්‍යයට. ඒ, “සලං හන්තේ“ නමින් එකල රූපවාහිනි නාළිකාවක විකාශය වූ වැඩසටහනක් සඳහා. එය අතීතයේ මිනී කන්නො ජීවත් වූ ගෝත්‍රික රජ්‍යයක්. මේ ගමනට සහභාගී වූ අප හත් දෙනකුගෙන් යුතු කණ්ඩායමට මාසයක් පමණ එහි නතර වීමට සිදු වුණා. ලෙසතෝ වේ මැලේරියාව තිබූ නිසා අප මෙහෙන් පිටත් වුණේම අදාළ ඖෂධ එන්නත් කර ගෙන අතිශය පරෙස්සමින්. ඒ නිසාම එහිදි මැලේරියාවෙන් අනතුරක් නොවන බවට අපට දැඩි විශ්වාසයක් තිබුණා.

නමුත් එක්සත් ජාතීන්ගෙ වාර්තාවලට අනුව ලෙසතෝ සමස්ථ ජනගහණයෙන් සියයට 40 ට එච්.අයි.වී. සමහර කලාපවල සමස්ත ජනගහණයෙන් සියයට 60 ක්ම එච්.අයි.වී. ආසාදිතයෝ. ඒ නිසාම ඔ්නෑම අයුරකින් ඒය බෝ විය හැකි අවධානමක් තිබුණා.

අපේ කණ්ඩායමේ නායකයා විදිහට මම එදා මගේ කණ්ඩායම හසුරුවා ගත්තේ හමුදා මෙහෙයුමක් වගේ. කිසිම තැනෙක කිසිම දෙයක් ඇඟේ නොගෑවී, ස්පර්ෂ නොවී මුලු මාසය පුරාවට ලෙසතෝව පුරා ඇවිදිමින් අපේ වැඩසටහන සාර්ථකව රූ ගත කරන්න අපට හැකි වුණා. එදා මම ඒ පරෙස්සම ඇති කරගත්තේ අද මා කියූ සැක කිරීම මත. මේ වසංගත අවස්ථාවෙ දී එම අත්දැකීම මට පූර්වාදර්ෂයක්.

මේ අර්බුධය සමඟ ලාංකේය කලාකරුවාට බලපාන්නේ කෙසේද?

අපේ රටේ නිර්මාණකරණයේ යෙදෙන කලා කරුවන්ට “වෘත්තීය කලාකරුවා“ කියන තානාන්තරය නෑ. මේ තත්ත්වය මත සමස්ථ කලාකරුවාම දැන් සිටින්නේ විශාල අර්බුදයක. එය මූලිකවම ආර්ථිකය හා සම්බන්ධයි. අපේ කලා ක්ෂේත්‍රය ආර්ථික අතින් දිළිඳුයි. එය පෞද්ගලික දිළිඳුකමක් නෙමෙයි. අපට අර්ථසාධක අරමුදල්, අතිකාල දීමනා වගේ වෘත්තීය පහසුකම් නෑ. ලොකු බැංකු ගිණුම්, ඉතුරුම් නෑ. එ නිසාම කලාකරුවාට අර්බුදයක දී අතිරික්තයක් නෑ. වෘත්තීමය පැවැත්මක් නැති අපට මෙහෙම අර්බුදයක් හටගත්තාම එයට මුහුණ දීමම බිහිසුණුයි.

හොලිවුඩ් බොලිවුඩ් වැනි දැවැන්ත සිනමා කර්මාන්ත වලට මෙය බලපා තිබෙනවාද?

නැවක් මූදුබත් වෙනකොට බර අඩු කරගන්න ඒ නැවේ තියෙන බඩු මුට්ටු මුහුදට දමනවා.

ඒ වගේ අවස්ථාවක මුලින්ම එළියට විසි කරන්නෙ නැවේ තියන සංගීත භාණ්ඩ. ඒ, අර්බුදකාරී අවස්ථාවක රසාස්වාදනය සැපයීම අනවශ්‍ය දෙයක් බවට පත්වෙන නිසා. දැන් අප ලෝකය පුරාම අත්දකිමින් ඉන්නෙත් ඒ යථාර්ථය.

මේ වෙද්දි 'ඩීසීකොමික්', 'මාවල්', '20 සෙන්චරි ෆොක්ස්' වගේ දැවැන්ත හොලිවුඩ් සමාගම් පවා එළි දක්වන්න හිටපු චිත්‍රපට දින නියමයක් නැතිව කල් දමා තිබෙනවා. අද ලෝකයේ කිසිම තැනෙක චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙන්නෙ නෑ. මුලු ලෝකයේම සිනමා නිර්මාණ, ටෙලි කර්මාන්තය , විශාල ආදායම් ලබන, විශාල ලෙස මුදල් සංසරණයක් සිදුවන ලෝ ප්‍රකට දැවැන්ත සංගීත වැඩසටහන්, රියැලිටි වැඩසටහන් සියල්ල නැවතිලා.

ලෝකයේම කලා කටයුතු අඩපණව තිබුණත් අපේ සමහර ටෙලි නිර්මාණ රූ ගත කිරීම් තවමත් සිදු වෙනවා ?

සමාජයක සාමාජිකත්වය නොහඳුනන කෙනෙක් ඇත්නම් එහෙම තීන්දුවකට ඒවි.

හිතන්න... මේ රටේ සියලුම කර්මාන්ත වහලා. රටේ සෑම ව්‍යාපාරිකයෙකුම පාඩු ලබද්දි ඔවුන් එය සාමාජීය පාඩුවක් ලෙස අත්හැරදා තිබෙනවා. එවිට මාධ්‍ය නමැති ව්‍යාපරය හසුරුවන අයත් මේ සමාජයේම සාමාජිකයින් යන්න අවබෝධ කර ගත යුතුයි. සමස්ථ කර්මාන්ත ක්ෂේත්‍රයම වැහෙද්දී ටෙලිවිෂන් කර්මාන්තය විවෘතයි. එයින් ලොකු සේවයක් වෙන වග ඇත්ත. අපි ප්‍රවෘත්ති බලනවා. එය අත්‍යාවශ්‍ය සේවාවක්. නමුත් ටෙලිනාට්‍ය කර්මාන්තය රටේ අත්‍යවශ්‍ය සේවාවක් නොවෙයි.

ඇත්ත කතාව නම්, එහි විනෝදස්වාද ක්‍රියා පවත්වන්නේ ජනතාවගේ විනෝදාස්වාදය සඳහාම නොවෙයි. ආයතනයෙ පැවැත්ම උදෙසා. නමුත් ඔවුන්ට පමණක් හුදකලාව තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න බෑ. මේ ඇති වෙලා තිබෙන තත්ත්වය තුළ සමස්ථ පාඩුව ඔවුනුත් පිළි ගත යුතුයි.

සමාජීය විනයක් තිබේ නම් මෙම ව්‍යසනයෙන් ගොඩ ආ හැකි බව ඔබ පවසනවා?

අපි හිත්නන ඕන මමත් මේ සමාජයේම සාමාජිකයෙක්, එනිසා මටත් පෞද්ගලික වගකීමක් තිබෙනවා සාමාජීය අවශ්‍යතාවක් උදෙසා යන්න. අප හැමෝටම එවැනි සාමාජීය විනයක් තිබිය යුතුයි. ඒත් ඒ විනය පෞද්ගලික හේතු මත අත්නොහැර සමාජීය පුද්ගලයෙක් ලෙස එම නීති රීති මගේ සහ සමාජයේම යහපතට සැදුණු නීති යැයි සිතුවෝත් අපට මේ ව්‍යසනයෙන් ගොඩ එන්න ඉක්මනින් පුලුවන් වේවි.

 

Comments