නිවුන්කමේ කතන්දරේ | සිළුමිණ

නිවුන්කමේ කතන්දරේ

අප මේ හැල්මේ දුවන ගමන මදකට හෝ නතර කොට බැලුවහොත් අප ජීවත් වන මේ විශ්වය තුළ කවරාකාර නම් පුදුම සහගත වූ දෑ තිබෙනවාදැයි අපට පසක් වේ. ඒ තුළ පියෙවි ඇසට පෙනෙන මෙන්ම නොපෙනෙන දෑ ද අති මහත් වූ අගයක් ගන්නා බැව් නොරහසකි. කෙසේ වෙතත් ඒ සියල්ල පසෙකලා අප ජීවත්වන අවට පරිසරය තුළම සොබාදහම විසින් නිර්මාණය කළ අපූරු ස්ථානයන් අපට දක්නට ලැබේ. නමුත් මේ කියන්නට සූදානම් වන්නේ කාලාන්තරයක් තිස්සේ ලෝකය ගොඩ නැගෙමින් විනාශවෙමින් පැවති යුග පසු කොට ඉතිරි වූ යම් භෞතිකමය වස්තුවක් ගැන නොවේ. මේ මව්කුසින් බිහිවන අපූරු නිවුන් දරුවන් පිළිබඳ සටහනකි.

අප කුඩා සන්දියේ දී නම් නිවුන්නු යැයි කී විට සිතට එන්නේ එකම රූපකායක් ඇති දෙදෙනෙක් වශයෙනි. ගැහැණු හෝ පිරිමි භේදයක් නොමැතිව එවන් චරිත පිළිබඳව දැනුම්වත් කමක් ලැබූවද පිරිමි දරුවකු මෙන්ම ගැහැනු දරුවකු ද නිවුන් දරුවන් ලෙසින් ඉපදිය හැකි යැයි දැනගත්තේ ඉන් කලක් ගත වීමෙන් පසුවය. කෙසේ වෙතත් මෙවැනි සටහනක් තැබීමට සිත් වූයේ පසුගියදා ලංකාවේ පැවැති නිවුන් සමුළුවේ ඡායාරූප කිහිපයක් අතට පත්වීමෙන් පසුවය. මෙම සමුළුව පැවතියේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී නිවුන් සාමාජිකයන් අති විශාල සංඛ්‍යාවකගේ ප්‍රධානත්වයෙන් වන අතර මෙහි ප්‍රධාන අරමුණ වූයේ ගිනස් වාර්තා පොත් අතරට එක් වී ලෝක වාර්තාවක් තැබීම ය. කෙසේ වෙතත් මේ නිවුන් දරුවන් සම්බන්ධව බොහෝ කරුණු කාරණා මතිමතාන්තර පැවතියද පවතින විද්‍යාත්මක කරුණු ගැන සලකා බැලීම වටී.

ඇත්තටම සාමාන්‍ය දරු උපතක් වගේ සිද්ධ වුණාට මේ නිවුන් දරුවන් ලැබෙන්නේ කොහොමද?

නිවුන් දරුවන් සම්බන්ධයෙන් කෙතරම් අප කතාබස් කළ ද බොහෝ දෙනෙක් මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු නොදන්නා බව නම් සත්‍යයකි . කාන්තාවකට නිවුන් දරුවන් පිහිටීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා සටහන් වල දැක්වෙන්නේ මේ ආකාරයටය.

අප බොහෝවිට නිවුන් දරුවන් ඇයි කියනු ලබන්නේ එක හා සමාන රූපසම්පත්තියෙන් ඇති දෙදෙනෙකුට ය. මේ අතරම එකම දින එකම මොහොතේ දී උපත ලබන දරුවන් ද සිටී ඔවුන් හඳුන්වන්නේද නිවුන් දරුවන් ලෙසිනි. නමුත් එක හා සමාන රූප ලක්ෂණ ඇති හා නැති මේ දරුවන් මූලිකවම කොටස් 2කට බෙදනු ලබයි. ඒ සම නිවුන් හා නොසම නිවුන් දරුවන් වශයෙනි.

වෛද්‍ය විද්‍යාවේදී මෙය monozygotic twins (සම නිවුන්- identical twins) සහ Dizygotic twins (නොසම නිවුන්-non identical ) ලෙසින් වර්ග කර දැක්වේ.

සාමාන්‍ය දරුවකු බිහි වීමේදී සිදු වන ක්‍රියාවලිය වන්නේ කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවී ශුක්‍රාණුවක් සමග සංසේචනයේදී එතුළින් කලලයක් හටගෙන දරුවකු බිහි වීමය . නමුත් නිවුන් දරුවන් බිහිවීම සිද්ධ වන්නේ මවගේ ඩිම්බ කෝෂයෙන් පිටවන ඩිම්බ දෙකක් එක්වර ශ්‍රකාණු දෙකක් සමග සංසේචනය වීමෙන් නිවුන් දරුවන් බිහි වීමයි . පැරැන්නන් කියූ අයුරින් දෙවියන් දුන් දරුවන් බිහිවන්නේ වන්නේ මේ ආකාරයෙනි.

එයින් ද පෙර කීවාක් මෙන් සම නිවුන් දරුවන් බිහි වන්නේ එක් ඩිම්බයක් පිටවී එය ශුක්‍රාණුවක් සමඟ සංසේචනය වී නිර්මාණය වන කලලය දෙකට බෙදී දරුවන් දෙනෙකු මෙන් වර්ධනය වීමෙනි. නමුත් මවට ඩිම්බ දෙකක් එකවර පිටවී ශුක්‍රාණු දෙකක් සමග සංසේචනය වීමෙන් නිර්මාණය වන දරුවන් හැඳින්වෙන්නේ නො සම නිවුන් දරුවන් වශයෙනි. අප බොහෝ තැන්වලදී නිවුන් දරුවන් දැක තිබුණද කලාතුරකින් නිවුන් දරුවන් දෙදෙනකුට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නා බව දැක ඇත්තෙමු. තුන් නිවුන් දරුවන් බිහිවන්නේ ශුක්‍රාණු තුනක් සමග එකවර පිටවන ඩිම්බ තුනක් සංසේචනය වීමෙනි. එය ඒ ආකාරයකට සිදු වන නමුත් සිව් නිවුන් දරුවන් බිහි වන අවස්ථාද ඇත. එසේ වන්නේ මව ගෙන් පිටවන ඩිම්බ දෙකක් සමග ශුකාණු සංසේචනය වී සෑදෙන කලලය එයින්ද කොටස් දෙකට බෙදී යෑමෙනි. මේ ආකාරයට යම් විටෙක මේ කළල දෙකෙන් එක් කළලයක් බෙදී ගියහොත් ඉන් බිහිවන්නේද තුන් නිවුන් දරුවන්ය.

එවිට අප පෙර සඳහන් කළාක් මෙන් එක් කළලයකින් බිහිවූ දරුවන් දෙදෙනා සම නිවුන් දරුවන් වන අතර ඉතිරි දරුවා වැඩෙන්නේ නොසම නිවුන් දරුවකු ලෙසිනි. තව ද එක් ඩිම්බ කෝෂයක් එක් ශුක්‍රාණුවක් සමඟ සංසේචනය වී දෙකට බෙදී එය තවත් දෙකකට බෙදීමෙන් තුන්නිවුන් දරුවන් ඇතිවිය හැකිය. මේ ආකාරයට නිවුන් දරුවන් බිහි වීම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර පස් නිවුන් දරුවන් බිහිවීම සිදුවන්නේ බෙදුණු කළල දෙකක් තවත් බෙදී යාමට ලක් වුවහොත් පමණි.

බෙදීයන ප්‍රමාණය අනුව ඉපදෙන දරුවන් ප්‍රමාණය තීරණය වන අතර කළලය සංසේචනය වී දින 12 ක් ඇතුලත මේ ආකාරයට බෙදී යාමේ හැකියාවක් පවතී. ලංකාවේ පස් නිවුන් දරු උපතක් මීට කලකට පෙර මහනුවර දී සිදුවුණු අතර නමුත් උපතේදී එක් දරුවකු මිය යෑමට ලක්විණි.

අතීතයට වඩා වර්තමානයේ දී ලෝකයේ නිවුන් දරු උපත් ප්‍රතිශතය යම් වර්ධනයක් දක්නට ලැබෙන බව ද කියැවේ . එයට උදාහරණයක් ලෙසින් ගත හැකි රට වන්නේ නයිජීරියාව යි. ලෝකයේ අනෙකුත් මහද්වීප හා සංසන්දනය කිරීමේදී බටහිර අප්‍රිකාවේ නිවුන් දරු උපත් ප්‍රමාණය ඉතා ඉහලය. එය අනෙකුත් මහද්වීපවල නිවුන් දරු උපත් මෙන් හතර ගුණයකින් වැඩිය. නයිජීරියාවේ දාහකින් 158 ක් පමණ නිවුන් දරු උපත් බව සඳහන් වන අතර එක් කෝටි දස ලක්ෂයකට වඩා ජනතාවක් සිටින නයිජීරියාවේ නිවුන් ප්‍රතිශතය 25% පමණ වේ. මේ අතරින් තවත් රසවත්ම කරුණක් ලෙසින් දැක්විය හැක්කේ නයිජීරියාවේ ඉබ්බෝ හෝරා නගරය ඔවුන් හඳුන්වා ඇත්තේ නිවුන් දරුවන්ගේ පුරයක් ලෙසයි .මේ නගරයේ සෑම තැනම දැකිය හැකි දැන්වීම් ලෙසින් පෙනෙන්නට තිබෙන්නේ නිවුන් අගනුවර වෙත සාදරයෙන් පිළිගමු යන්නයි. නිවුන් දරුවන් ලැබීම සම්බන්ධයෙන් ඔවුන් පවසන්නේ මෙය ඔවුනට ලැබූ දෙවියන්ගේ දායාදයක් ද ලෙසිණි.

බොහෝ දෙනෙක් සිතන ආකාරයට මේ දෙවියන්ගේ දායාද වුවද මේ ආකාරයට නිවුන් දරුවන් බිහි වීමේ දී එය යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පාන බව ද කිව යුතුය. සමාජයට ඔවුන්ගෙන් බරක් නැති වුවද මේ ගැටලුව ඇතිවන්නේ දරුවා බිහි කරන මවට හෝ බිහිවීමට සිටින නිවුන් දරුවන්ටය.

නිවුන් දරුවන්ට ඇතිවිය හැකි ගැටලු වන්නේ නිසි කලට පෙර ඔවුන් ප්‍රසුත වීමේ අවදානමක් තිබීම සහ කුස තුළ සිටින විට ඔවුන්ට වර්ධනය හීන වී යාමයි. නමුත් මෙයින් වඩාත්ම ගැටලු සමූහයකට මුහුණ පානු ලබන්නේ මව යි .ඒ ඇය අධික රක්තහීනතාවය, දියවැඩියාව, ගර්භනී සමයේ රුධිර පීඩනය වැඩිවීම, නිසි කල එළඹීමට පෙර වේදනා ඇතිවීම වැනි කරුණුද බොහෝවිට මේ අතරම සිසේරියන් සැත්කමට යොමු වීමට ද ඔවුන්ට සිදුවනු ඇත.

කෙසේ වෙතත් නිවුන් දරුවන් සමාජයේ අනෙක් දරුවන්ට වඩා විශේෂිත වූ මෙන්ම කැපීපෙනෙන කොට්ඨාශයක් ලෙසකින් යම් ආකාරයකට හඳුන්වාදිය හැකිය. ඒ මන්ද යත් හැකියාවන් කුසලතාවන් ඔප් නැංවීමට ප්‍රථම ඔවුන්ගේ මූලික අවධියේදීම තම හැඩහුරුකම් අතින් ඔවුන් සමාජගත වන චරිත වන බැවිනි. මේ ආකාරයට බිහිවන දරුවන් අතරින් දක්නට ඇති විශේෂිතම ලක්ෂණය ලෙසින් සඳහන් කළ හැක්කේ තම මවට පවා ඔවුන් එකිනෙකාගෙන් හඳුනා වෙන්කර ගත නොහැකි වීමය.

ඔවුන් සිතන පතන ආකාරයෙන් මෙන්ම හැඟීම්ද බොහෝ විට එක හා සමානය. ලංකාව සම්බන්ධයෙන් ගත් කල මේ මොහොත වන විට ලංකාවේ පමණක් සිටින නිවුන් ප්‍රමාණය 30000 ආසන්න ය. ඒ සංසේචනය වී කළල බෙදීයාම මගින් බිහි වූ මෙන්ම පුරාතනයේ මුතුන් මිත්තන් පැවසූ දෙවියන් ගෙනැවිත් දුන් දරුවන්ය.

ඡායාරූප- සුලෝචන ගමගේ

Comments