කොරෝනා අවුල් කළ ජන ජීවිත සුසර කරන්නට නම්... | සිළුමිණ

කොරෝනා අවුල් කළ ජන ජීවිත සුසර කරන්නට නම්...

කොරෝනා යන වදන දැන් අපට නුහුරු නුපුරුදු නැත. ඒ තරමට කොරෝනා අපේ ජිවිත කෙරෙහි බලපෑම් කර තිබේ. ඉමක් කොනක් නොපෙනෙන තරමට ජිවිත බිලිගනිමින් ලෝකයම හඬවමින් කම්පා කරවමින් සිටියි. තවත් මෙයට ජිවිත හිලව් කල නොහැකිය.අපේ රට මෙයින් වහා මුදවාගැනීමේ වගකීම අප සියලු දෙනා සතුය.මුළු ලෝකයම සලිත කරමින් ව්‍යාප්ත වූ මේ හිත් පිත් නැති වසංගතය නිසා අපේ රටේ ආදරණීය කලාකරුවන් සිය හඬ අපේ රට වෙනුවෙන් අවදි කළේ මෙලෙසිනි.
 

අපේ ජිවිත දිහා නැවතවරක් ආපස්සට හිතන්න අපට අවස්ථාවක් ලැබිලා කියලයි මම හිතන්නේ
නීටා ප්‍රනාන්දු

කොවිඩ් 19 වසංගතය අද මුළු ලෝකයේම කතාබහට ලක්වෙලා. අපේ ජිවිත පිළිබද විශාල බියක් ඇතිකරන්න එය අද වන විට සමත්වෙලා. මනුෂ්‍යයන් වශයෙන් අපි ස්වභාවධර්මය සමඟ ජිවත්වෙද්දී ස්වභාවධර්මය අපට ජීවත්විය යුතු ආකාරය පහදලා තියෙනවා. ඒ පිළිවෙත්වලට පිටු පා ස්වභාවධර්මයට වේදනාවන් ලබාදෙන ආකාරයේ වැඩකටයුතු අපේ අතින් සිදුවෙනවා නම් ස්වභාවධර්මය ජාති ,ආගම් ,කුල ,කුමක් වුවත් එකවර සාමුහික දඩුවමකට ලක්කරනවා.ඒ දඩුවම තමයි අද මේ අපි විඳින්නේ. අපේ මිනිසුන්ගේම අනවශ්‍ය දරුණු ක්‍රියාකාරකම් විශ්වයට දරාගත නොහැකි වූ තැන තමයි මේ ඉරණම අපිට අත්වුණේ .අපේ ජිවිත දිහා නැවතවරක් ආපස්සට හිතන්න අපට අවස්ථාවක් ලැබිලා කියලයි මම හිතන්නේ.අපේ සමාජ තරාතිරම් කුමක් වුනත් මේ මොහොතේ අපි එක මට්ටක.ඒ නිසා මේ තත්වයටත් අපි සාමුහිකව මුහුණ දිය යුතුයි.

දයාව කරුණාව ඉවසීම ප්‍රගුණ කළ යුතුයි අපි.ලෝකයේ බලවත් රටවල් පවා කඩාවැටුණු මොහොතක රජය ,වෛද්‍ය හා ආරක්ෂක අංශ දියත්කරන මේ මහා ක්‍රියාන්විතයට උපරිම සහයෝගය ලබාදෙමින් නීතිරීතිවලට ගරුකරමින් හා පොදු උපදෙස් පිළිපදිමින් කටයුතුකිරීමයි වැදගත්.ඒ වගේම තමන්ට මේ රෝග ලක්ෂණ තියෙනවනම් සැගවෙන්න එපා කියලා ඉල්ලනවා.එය සියලුදෙනාගේම ජිවිත අනතුරේ දැමීමක්.ඒ වගේම නිරෝධායනය කියන්නේ මොකක්ද කියන එක හරිහැටි වටහාගෙන එයට සහයෝගය ලබාදියයුතුයි.ඒ වගේම නිරෝධායනය ගැන සමාජයේ තිබෙන අවබෝධය තවත් පුළුල් කරන්න කටයුතු කිරීමත් වැදගත් .ඒ නිසා සමස්ත ලෝකය වෙනුවෙන්ම අපි මේ මොහොතේ අපේ යුතුකම ඉටුකරමු.
 

ජනජීවිතය පවත්වාගෙන යාමට ලබාදී ඇති ඉඩකඩ අවභාවිත නොකළ යුතුයි
රවීන්ද්‍ර රන්දෙනිය

මුළු ලෝකයටම එකවර එල්ල වූ අකුණු පහරක් ලෙස කොරෝනා වසංගතය හඳුන්වන්න පුළුවන්. ඒවගේම ලෝකය දැඩි කම්පනයකට පත්වෙලා තියනවා. ඒ වගේම මේ අත්දැකීම සමස්ත ලෝකයටම එකවර බලපෑ නිසාම මේ අත්දැකීම අපට නුහුරුයි.නමුත් අපි එයට ශක්තිමත්ව මුහුණ දිය යුතුයි.වර්තමානයේ අපිට පැහැදිලිව දකින්න පුළුවන් රජය සෞඛ්‍ය අංශ සහ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය දිවිපරදුවට තබා අනර්ඝ කැපකිරීමක් සිදුකරනවා සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන්. මුළු ලොවම එකවර කියන්නෙම අපි මේ ව්‍යසනය ජයගත යුතුයි කියල.අපට එය කළ හැකියි.

අපේ රජය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා ජනජීවිතය පවත්වාගෙන යාමට ලබාදී ඇති ඉඩකඩ අවභාවිත නොකළ යුතුයි.අපේ වගකීම් විරහිත හැසිරීම නිසා සිය දහස් ගණනකගේ ජිවිත අනතුරේ හෙළනවා. ඒ නිසා මෙහි බරපතළකම වටහාගෙන වගකීමෙන් ජීවත්වෙන්න ඕනේ. මේක යුද්ධයක් නෙවේ. සමස්ත ලෝකයම මුහුණ දුන් ස්වභාවික ව්‍යසනයක්. ඒ නිසා තමන් ගැන වගේම අන් ඇය ගැනත් හිතලා නිවසට වෙලා පරෙස්සමෙන් ඉන්න තරමට මේ අභියෝගය අපිට වගකීමෙන් ජයගන්න පුළුවන් කියල මම හිතනවා.
 

ආදරයෙන් ඉල්ලන්නේ කරුණාකරලා නිවසේම ඉන්න
ශ්‍රියන්ත මෙන්ඩිස්

ලෝක ඉතිහාසය පුරා විවිධ වසංගත රෝග ව්‍යාප්ත වී තිබුණා.මේ වසංගත නිර්මාණය කරගන්නේත් මිනිසාමයි. එයට ගොදුරු වෙන්නෙත් මිනිසාමයි. එයට පිළියම් සොයන්නෙත් මිනිසාමයි.අද වෙද්දී කොරෝනා වසංගතය මුළු ලෝකයම තමන්ගේ අණසකට යටත් කරගෙන හමාරයි. අපේ පුංචි රටත් මෙහි ගොදුරක් වෙලා. එයට ප්‍රධානම හේතුව විදිහට මම දකින්නේ අපේ නොසැලකිලිමත්භාවය.

මේ නොසැලකිලිමත්භාවය නිසා අපේම මිනිසුන් සාමුහිකව පීඩා විඳිනවා. ඒ නිසා ලබාදෙන වෛද්‍ය උපදෙස් හා නීති රීතිවලට ගරුකරමින් ආරක්ෂක අංශවලට සහයෝගය ලබාදෙමින් ඔවුන් අපි වෙනුවෙන් කරන මෙහෙය සඳහා අපිත් වගකීමෙන් හැසිරීම වැදගත්. ජනාධිපති කාර්ය සාධක බලකාය සහ රජය සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ගෙනයන වැඩපිළිවෙල විශිෂ්ටයි. මේ තත්වය පිළිබදව ධනාත්මකව එනම් මෙය අපට ජයගත හැකියි යන හැගීමෙන් සිතිය යුතුයි . අපේ පුංචි දිවයින නැවත යථාතත්වයට පත්කරගැනීමට අපි අපි වෙනුවෙන්ම ආදරයෙන් ඉල්ලන්නේ කරුණාකරලා නිවසේම ඉන්න කියල.
 

මනුෂ්‍යවර්ගයාම වෙනුවෙන් ඉවසමු
සාරංග දිසාසේකර

ලෝකයම මුහුණ දී සිටින සාමුහික අභියෝගයකට අපිත් අනපේක්ෂිත අවස්ථාවක මුහුණ දුන්නා. එත් මේ තත්ත්වය අපි ජයගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපිට කරන්න තියෙන්නේ රටේ පොදු නීතියට හා වෛද්‍ය උපදෙස්වල ගරුකරලා කටයුතුකිරීම.පුළුවන්තරම් නිවසේ රැදී සිටීම උදෙසා අපිට අවශ්‍ය පහසුකම් සලසලා තියනව.අතවශ්‍ය ආහාර පාන අනෙකුත් දේ නිවෙස් අසලටම ගෙනත් දෙනවා.

අපි හැමෝටම මේ තත්වයට මුහුණදෙන්න ආර්ථික අපහසුතා ආදිය ඇතිවෙනවා.එහෙත් මෙහි බරපතළකම වටහාගෙන අරපිරිමැස්මෙන් සමබරව සියල්ල කළමනාකරණය කරගැනීම වැදගත්.දින 14ක් නිවසට වෙලා ආරක්ෂිතව ඉන්න නොහැකි වුණොත් අපි ලබාගන්න ජිවිත අවදානම අපිට වගේම අනෙක් අයටත් සෘජුව බලාපානවා .දැන් අපි හැමෝම ඉන්නේ එකම මට්ටමක.මෙහි බරපතළකම හොදින් වටහාගෙන වගකීම් සහගත පුරවැසියන් විදිහට මේ මොහොතේ ඉවසීමෙන් දුරදර්ශිව මනුෂ්‍යවර්ගයාම වෙනුවෙන් මේ තත්වය යථාතත්වයට පත්කරගැනීමට කටයුතුකරමු කියල ඉල්ලනවා.
 

සොබාදහමට අවනත විය යුතුයි
සෝමරත්න දිසානායක

ඇත්තටම මේ තත්වය අපි හිතනවට වඩා බරපතල තත්වයක් .රජය සහ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අකුරටම පිළිපැදීම වැදගත්.රටේ පොදු නීතියට අවනත වෙලා නිවසටම වී කාලය ගතකිරීමයි අවශ්‍යවන්නේ.වෙනදට අපිට කාලයක් නැහැ නිවසේ ඉන්න .පවුලේ අයත් එක්ක ඉන්න නමුත් දැන් එයට ඉඩ තියෙනව.

නිවසේ ඉන්න අතරතුර අපිට එළවලු පළතුරු පැළයක් හිටවන්න පුළුවන්.එය අපතේ යන දෙයක් නෙවෙයි .මමත් වගා කරනවා. මේ කාලය ඵලදායි ලෙස ගතකරන්න අපට පුළුවන්. ඒ වගේම කලාකරුවන් වශයෙන් අපේ නිර්මාණවලට අවශ්‍ය පොත්පත ආදිය කියවන්න ලියන්න පුළුවන්. එයින් රටේ නීතියට අවනත වීම වගේම අපේ යුතුකමත් ඉටු වෙනවා.සොබාදහම තමයි මේ ලෝකේ තියන ප්‍රබලම දහම.අපි එයට අවනත විය යුතුයි.

සොබාදහම අදහාගෙන මේ තත්වයට මුහුණදීමයි වැදගත්. රජය, වෛද්‍යවරුන් සහ ආරක්ෂක අංශය තමයි අපිව රකින අපේ ජීවමාන දෙවිවරු.ඒ නිසා ඔවුන්ට සහයෝගය දක්වලා ඒ පරිත්‍යාගයට ගරුකරමින් නිවසේ රැදී පරිස්සමෙන් සිටීම මේ මොහොතේ ජාතික වගකීමක් විදිහට මම දකිනවා .
 

ලෝකයේ ප්‍රබල රටවල්වලට වඩා අපි මේ ව්‍යසනයේදී බලගතුයි
ශ්‍රියානි අමරසේන

කොරෝනා වසංගතය අපි නොසිතු මොහොතක අප වෙත පැමිණි ව්‍යසනයක්. කිසිදු භේදයකින් තොරව සමස්ත මානව වර්ගයාටම පහරදෙන්න පැමිණි බලවේගයක්. අපේ රටටත් මෙවැනි තත්වයක් ඇතිවුණේ ඇතැම් අයගේ වගකීම් විරහිත හැසිරීම නිසා.තමන් ගැන වගේම අන් අය ගැනත් වගකීමෙන් හිතන්න ඕනේ. කලා ලෝකයේ ඉන්න දැවැන්තයින් පවා විදෙස් රටවල සිටින ඔවුන් ස්වයං නිරෝධායනය වෙනව. ඒ වගේම බොහෝ පිරිසක් මේ නිරෝධායන ක්‍රියාවලියට කැමතියි.

මේ මොහොතේ දුරදර්ශිව ක්‍රියාකිරීමයි වැදගත්. ලෝකයේ ප්‍රබල රටවල් වලට වඩා හොද සෞඛ්‍ය සේවයක් හා ආරක්ෂක සේවයක් අපේ රට සතුයි. ලෝක බලවතුන් මේ අභියෝගය තුළ අසරණ වන මොහොතක අපි එයට ශක්තිමත්ව මුහුණ දෙනවා.

ඒ නිසා වගකීම් ඒ සියලු අංශවලට උපරිම සහයෝගය ලබාදීමයි අපේ වගකීම.අපි සියලු දෙනා එක්ව නිසි ක්‍රමවෙදයන්වලට අවනත වෙලා මේ අභියෝගය ජයගනිමු.ඒ සදහා අපේ යුතුකම ඉටුකරමු.
 

මෙය අපේ ජීවිතවලට ස්වභාවධර්මයෙන් ලැබුණු විරාමයක්
බිමල් ජයකොඩි

කොව්ඩ් 19 වසංගතය අද වෙද්දී අපිව වෙළාගෙන අවසන්.එහෙත් අපේ ජිවිත බිලිගැනීමට එයට ඉඩ දෙන්න බැහැ.මේ තත්වය තුළ අපි ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්.මෙය අසුබවාදී ලෙස දකින්නේ නැතිව සාර්ථකව මුහුණ දියයුතුයි .නමුත් මම හිතනවා මෙය අපේ ජීවිතවලට ස්වභාවධර්මයෙන් ලැබුණු විරාමයක්. ජිවිතේ අතපසු වුණ ගොඩක් දේවල්වලට අවධානය ලබාදෙන්න අවස්ථාවක් ලැබිල තියනව.රටක් විදිහට සාමුහික වගකීමක් තියනව නිසි අයුරින් නීතිවලට ගරුකරලා සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න .කලාකරුවෝ විදිහට අපට පුළුවන් මේ කාලය තුළ නිර්මාණවලට අවශ්‍ය හැදෑරීම් කරන්න.එයින් අපට වගේම සමාජයටත් වෙන්නේ යහපතක්.හැමදෙනාගෙන්ම ඉල්ලන්න තියෙන්නේ තමන් ආරක්ෂා වෙන අතරේම අන් අය ගැනත් වගකීමෙන් හිතල අවස්ථාවට උචිත විදිහට නිවැරදිව කටයුතු කරන්න කියල .
 

හුස්මගැනීමේ සිට ජීවිතය ගැන කියල දුන්නු මේ පාඩම හොදින් වටහාගන්න
මහේන්ද්‍ර පෙරේරා

ස්වභාවධර්මයට එරෙහිව ගමන්කිරීමේ ප්‍රතිඵල අපි අද සාමුහිකව භුක්ති විඳිනවා.මිනිසුන් පරිසරයට සිදුකල හානිය අසීමිතයි .එයින් දඩුවම් ලැබුවේ මිනිසාමයි .භෞතිකවාදීවීම ගැන පමණයි මිනිස්සු හිතුවේ. එයින් තමයි ජිවිතේ හෙව්වේ.ගහකොළට සතාසිපාවාට ආදරේ කරන්න මිනිස්සු ක්‍රියාකළේ නැහැ. දැන් ස්වභාවධර්මය විසින්ම මිනිසාට පාඩමක් කියල දීලා තියෙනව. අරපිරිමැස්මෙන් ජීවත්වෙන්න මිනිස්සුන්ට ඉගැන්නුවා .සමබර ජීවිතය පිළිබද ඉගෙනගන්නවා.පොළොවේ පයගහල ජීවත්වෙන්න මිනිස්සුන්ට කියල දුන්න.හැමෝටම තමන්ගේ යුතුකම් ඉටුකරන්න අවස්ථාවක් ලබාදුන්නා.ඒ නිසා රජයට සහ සෞඛ්‍ය අංශවලට සහයෝගය දක්වලා මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කිරීමයි වැදගත්. හුස්මගැනීමේ සිට ජීවිතය ගැන කියල දුන්නු මේ පාඩම හොදින් වටහාගෙන යහපත් ලෙස පරිසරයට ආදරය කරන මිනිසුන් ලෙස ජීවත්විය යුතුයි යන්න මේ වයිරසය අප හොදින් පැහැදිලි කලා කියලයි මම හිතන්නේ .
 

නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුයි
මාලනී ෆොන්සේකා

කොරෝනා වයිරසය අපේ ජීවිතවලට තර්ජනයක් වෙලා.අනෙකා ගැන නොසිතීම සහ නොසැලකිල්ල තමයි මේ තත්වයට ප්‍රධාන හේතුව විදිහට මම දකින්නේ.මේ රෝගයේ බරපතලකම දැන දැනම වගකීම් විරහිතව හැසිරුණා. ජිවිතයක වටිනාකමක් නොදන්නා එවැනි පුද්ගලයන් මිනිමරුවෙක් තරම් වරදක් සිදුකරන්නේ මෙය සගවාගෙන සිටීමෙන්. ඇත්තටම මේ වෙලාවේ රටේ පවතින නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුයි .එසේත් නොමැතිව එවැනි වගකීම් විරහිත පුද්ගලයන් පාලනය කිරීම අපහසුයි. වැඩිහිටියන් විදිහට වගකීමෙන් කටයුතු කිරීම තමයි අත්‍යවශ්‍ය. අපේ අයගේ ආකල්ප වෙනස් කරන්න අමාරුයි ,නමුත් මේ .අවස්ථාවේ රට ගැන සහ අනාගත පරපුර ගැන හිතල වගකීමෙන් ජීවත්වෙන්න ඕනේ.මේ උවදුර දුරුවෙලා රටට ඉක්මනින් යහපත උදාවෙන්න කියල අපි ප්‍රර්ථනා කරමු .ඒ වෙනුවෙන් වෙහෙසෙන රජය,සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට සහය වෙමු.ඒ අනුව ක්‍රියාකරමු .
 

බියවීමට වඩා අවශ්‍ය වන්නේ ආරක්‍ෂිත ක්‍රමවේද අනුව ජීවත් වීමයි.
චන්න පෙරේරා

මේ තත්වය අපි අසුබවාදීව දකින්න හොද නැහැ. මෙය අපිට පාලනය කළ හැකියි .නැවත අපේ එදිනෙදා ජීවිතය යථාතත්වයට පත්කරගත හැකියි. බියවීමට වඩා අවශ්‍යවන්නේ ආරක්‍ෂිත ක්‍රමවේදයන් තුල අපේ ජිවන රටාව පවත්වාගෙන යාම. ඒ නිසා අපි වගකීමෙන් කටයුතු කිරීම තුළ තමයි අපේ ආරක්ෂාව තහවුරුවෙන්නේ. අපේ මානසිකත්වය ධනාත්මක අයුරින් සකස් කරගැනීම තමයි මේ අවස්ථාවේ වඩා වැදගත් වන්නේ.
අපේ චාර්යාරටාවන් සකස් කරගත යුත්තේ මෙයින් අත්මිදිය හැකියි යන මානසිකත්වය තුළ හිදිමින්මයි .ඒ නිසා රටේ නීතියට ගරුකරමින් වගකීමෙන් මේ අවස්ථාවට ධනාත්මකව මුහුණදීම වැදගත් කියල මම හිතනවා .එමගින් අපේ යුතුකම වගකීම වගේම අන් අය කෙරෙහිත් යහපතක් සිදුවෙනව කියලයි මම විශ්වාස කරන්නේ .
 

මේ මොහොතේ වඩා වැදගත් වෙන්නේ ආරක්ෂාව
ලතා වල්පොළ

මුළු ලෝකයටම අභියෝගයක් වෙලා තියන කොරෝනා වයිරසය අපේ රටටත් ඇවිත්.එය සිදුවුණෙත් වගකීමක් නොමැති හැසිරීම් නිසා. නමුත් මේ තියන තත්ත්වය තුළ අප කල්පනාකරිව කටයුතු කළ යුතුයි .මේ මොහොතේ වඩා වැදගත් වෙන්නේ ආරක්ෂාව.ඒ නිසා රජයෙන් සෞඛ්‍ය අංශ වලින් සහ ආරක්ෂක අංශවලින් ලබාදෙන උපදෙස් නිසි අයුරින් පිළිපැදීමයි වැදගත් වෙන්නේ.ඒ වගේම මේ රෝගය සගවාගෙන සිටීම මහා දරුණු විනාශයකට මගපාදනවා .ඒ නිසා මේ මොහොතේ අපේ යුතුකම බවට පත්වෙන්නේ වගකීමෙන් ආරක්ෂා සහිතව ක්‍රියාකිරීම සහ සියලුදෙනාගේම යහපත වෙනුවෙන් නිවසේ රැඳීසිටීම.ඒ වගේම යහපත ප්‍රාර්ථනා කිරීම.
 

දරුවන් වෙනුවෙන් අන්තිම කැමති පත්‍රය ලියන්න හොඳ කාලයක්
චරිතා ප්‍රියදර්ශනී

ගෝලීය වශයෙන් අප මුහුණ දුන් අනපේක්ෂිත තත්ත්වයක් මේ ව්‍යසනය. අවුරුදු 30 ක යුද්ධයක් අත්විදි අපි,දරුණු සුනාමියක් දරාගත්ත අපි පාස්කු ප්‍රහාරය පිළිබ කම්පා වුණු අපි මේ අභියෝගයත් ජයග්‍රහණය කරන්න පුළුවන්.මෙහිදී වැදගත් වෙන්නේ එකිනෙකා කෙරෙහි දක්වන ආදරය.අපි මේ තත්වය ඇතුලේ සියල්ලම කළමනාකරණය කරගෙන අපි වෙනුවෙන් සමබරව ජීවත්වීම වැදගත්.මේ කාලය තුල නිර්මාණකරණයට මානසිකත්වයක් නැතත් මගහැරුණු හිත්වලට ආදරයෙන් අමතන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්.මරණය ගැන පාඩමක් අපිට මේ තත්වය කියල දෙනවා.එය අපි සියලු දෙනා යන නියත ගමනක්.ඒ නිසා අපි ගතකරන මැදි වයසේ දරුවන් වෙනුවෙන් අන්තිම කැමති පත්‍රය එහෙම ලියන්න හොද කාලයක් කියල මට හිතෙනවා.හොඳට කල්පනාකරන්න පුළුවන් ජිවිතේ ගැන.ආයේ නැවත හැරිලා බලන්න පුළුවන්.අපේ සංගීත වැඩකටයුතුවලට සැලසුම් සකස් කරනවා මේ වෙද්දී. මේ කාලය ඵලදායිව ගතකරන්න පුළුවන්.
 

ලෝකයේ බලවත් රටවල් තුළවත් නොමැති ඉතා අනර්ඝ පාලනයක්
එඩ්වඩ් ජයකොඩි

ලෝකයේ බලවත් රටවල් තුළවත් නොමැති ඉතා අනර්ඝ පාලන ක්‍රියාදාමයක් මේ වෙද්දී අපේ රටේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වෙනව. .ජනාධිපතිතුමා ,අගමැතිතුමා ,සෞඛ්‍ය ඇමතිතුමිය ,යුධහමුදාපතිතුමා,සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා ,නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු සියලුම දෙනා මේ වෙනුවෙන් අතිශය විසල් කැපකිරීමක් සිදුකරනවා .

ඒ නිසා මේ මොහොතේ වැදගත් වන්නේ එයට සහය දැක්වීමයි.රටක් ජාතියක් විදිහට අපේ ශක්තියෙන් මෙයින් මිදීමට අපට හැකියාවක් තියෙනව . සුබවාදී මානසිකත්වයකින් ආරක්ෂාව තහවුරු කරගනිමින් මේ මොහොතේ වගකීම් සහගත පුරවැසියන් ලෙස ක්‍රියාකිරීම වැදගත්.මේ කාලය තුල නිර්මාණකරණය පිළිබද හැදෑරීම් සිදුකරනවා.ඒ වගේම අප්‍රේල් 5 වනදා පැවැත්වීමට තිබු මාරම්බරී ප්‍රසංගයත් මේ තත්වය තුළ කල්දැමුවා. ඒ ප්‍රසංගය නැවත පවත්වව වගේම ඒ ප්‍රවේශ පත්‍ර වලංගුබවත් කියන්න ඕනේ. අපි මෙයට සුබවාදීව වගකීමෙන් සාමුහිකව මුහුණදී අපේ පුංචි රට නැවත යථාතත්වයට පත්කරමු .

 

Comments